පිච්ච මල් පෙති පිරුණු
බන්දේසියකි දොරකඩ
උදේ හිරු රැස් ඉසී
සීතලට හිනාවෙන... !
හිතේ දුක් වල කහට
සුසානයෙ සොහොන් මෙන්
සුදු හිමෙන් වහන්නට
හිම වැටුණ මේ මොහොත
හැම මොහොතක්ම මෙන්
ගෙවෙනු ඇත මොහොතකින්
වියෝවෙන සුසුමක්
පෙති හැළුණු පියුමක්
මැකීයන පා සළකුණක් වී
සිහිනයක් කර සඟවා
අද දකින සිහිනය...
ඉතිරි කර මතකය...
සොඳුරු යැයි සිතේ නම්
සොඳුරු වේමැයි හෙටත්
අඳුරු මොහොතක
අඳුරු සිතිවිලි
සෙවනැලිව ගැවසෙයි යලිත්
එහෙත් නොනිවෙයි ගින්න
පරපුරක දුක් දන්න
ජ්වලනාලෝකයෙන්
විශ්වයම එකළු කර
සුදු හිමත් දියවෙන්න
කවි හිතක් ගිනිගන්න...
දැන් ඉතින් පත් හැළුණු රිකිලි මත හිම කුසුම් රැඳෙන සමයයි. උතුරු සුළඟෙන් ගෙනෙන සීතල වලාකුළු ඝනීභවනය කර පෙති අඹා මල් හදා මහ පොළව මත ඉසින සිසිරයේ ඇරඹුමයි. මෙවැනිම සිසිරයක මුල, වසර ගණනකට පෙර ලියවුණු මේ පද ටික ලියවුණේ වෙඩ්ඩාගේ, මංජුල වෙඩිවර්ධන ගේ කවියකින් කම්පිතව බව මතකය.
No comments:
Post a Comment