Tuesday, January 2, 2024

වංකගිරියේ වැල් පාලම බැන්ද ජෝජි අබශ්විල්ලි....






මේ වචන ටික අවුණන්නේ, වෙන කිසිවක් නිසා නොව, කාරිගෙ චැනල් එකේ එකතු වී තියෙන වීඩියෝ කතා ටික කවුරු කවුරුත්, විශේෂයෙන්ම මේ කාලයේ ඡන්ද ලැයිස්තුවක නම තියන කවුරු කවුරුත් අසා නරඹා තියෙන්නට ඕනෑය කියා හිතෙන නිසාය. ඉන් එක වීඩියෝවක දිගුවක් පහත අවුණා තිබෙයි.

1948 ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ‌ස්වයං පාලන උරුමය ඇති ඩොමීනියන් ‌තත්වය ලබාගැනීමෙන් පසු, 1952, 1956, 1960 (මාර්තු), 1960 (ජුලි), ආදී මහ මැතිවරණ වලින් පසුව 1965 පත්වූ ඩඩ්ලිගේ හත්හවුල් ආණ්ඩුව, 1970 දක්වා නොවැටී සිට, ප්‍රථම පංච වර්ෂ පූර්ණ ආණ්ඩුව ලෙස අභිෂේක ලබන්නේ ය.

නවසිය හැත්තෑව, සිය සැමියා නොමරා මැරූ ඇන්. ඇම්. ලා, කොල්වින් ලා හා පීටර් කේනමන්ලා සමග එකතුව තුන්හවුල් සංධානයකින් ඡන්දයට ආ, මැතිණිය ගේ නිල් රතු රතු ආණ්ඩුවේ වසරයි. ඩඩ්ලි ආණ්ඩුවේ මුදල් ඇමති වූ, යැංකි ඩිකී නොහොත්, ජුනියස් රිචඩ් ජයවර්ධන කල කූපන් පොතට දුන් හාල් සේරු දෙකින් එකක් කපා, අනිත් එක නොමිලේම දීම, නිදහසේ පියාගේ පුතාට බත් දුන් පියා වෙන්නට ඉඩ කඩ සැලසුවත්,  හැත්තෑවේ මැතිණිගේ තුන් හවුලේ ජයග්‍රහණයට ප්‍රධාන හේතු ප්‍රත්‍යයක් ද වූයේය.

හැත්තෑ හත වෙනවිට 'හාල් නැතුව බත් කඤ්ඤං' වූ, 'අපේ මැතිණි ලඟ එනවා, හාල් සේරු දෙක දෙනවා' වූ සටන් පාඨය හැත්තෑවේ ඡන්දයේ පෙරමුණට ආයේ එහෙයිනි. සේනානායක, ජයවර්ධන සටන් ඉතිහාසය, පනස් හයේ ආර්. ජී., ජේ. ආර්. කැළණි ඡන්ද සටනේදීත් කරළියට ඇවිත් තිබුණු මුත්, ඒක එක්සත් ජාතික පක්ෂ නායකත්ව සටනකට පෙරළෙන්නේ, හැත්තෑවේ ආසන දාහතේ පරාජයට පසුවය. ශ්‍රීලනිප සමග එහෙම නෝන්ඩි වීම, පනස් හයේ අටට බැස්ස එක්සත් ජාතික පක්ෂයට අලුත්ම දෙයක් නොවුණත්, පිය උරුමයෙන් ඔටුන්න හිමි වූ, ඩඩ්ලිගේ පුටුවට ඉව අල්ලමින් සිටි ‌‌ජේ. ආර්. ප්‍රමුඛ කණ්ඩායමට එය පක්ෂය තුල අළුත් කැරැල්ලක් ගැසීමේ අවස්ථාවක් වූයේය.

උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය වූ යූ.ඇන්.පී ය, ‌බෝතලේ වලව්වෙන් එළියට ඇවිත්, සේනානායකලා හලා ජයවර්ධනලාගේ හිස මත පැළඳෙන්නේ ඇත්තටම 1973 දී ඩඩ්ලි සේනානායක ගේ අභාවයත් සමගය. ඒ වන විට පක්ෂ නායකත්වය සඳහා ‌කෙහෙවලු පටලවා ගන්නට තරම් විරසකව සිටිය ද, ජේ.ආර්., ඩී. එස් ගේ අභාවයෙන් පසු තම මිත්‍රයා වූ ඩඩ්ලිට රටේ අගමැතිකම හිමිකර දීමට කටයුතු කල ප්‍රධාන පුද්ගලයෙක් වූයේය.

හැත්තෑවේ බලයට පත්වී, හැත්තෑ එකේ, කැරැල්ල පසුකර, හැත්තෑ දෙකේ දී, එවකට සිලෝන් වූ මේ කඳුළු බිංදුව, සිරි ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවා දී ජන රජයැයි නම්කර, බ්‍රිතාන්‍ය කිරීටයෙන් දික්කසාද කරවූ සිරිලංකා, සමසමාජ, කොමියුනිස්ට් තුන් හවුලට, හැත්තෑ පහ කිට්ටු වෙද්දී, ආණ්ඩුවේ ධූර කාලය ගණන් කර ගැනීමේ විචිකිච්ඡාවක් ඇතිවූ අතර, හැත්තෑ දෙකේ සිට පහක් ගැන, හැත්තෑ හතේ දී මහ මැතිවරණය තියන්නට බලය ඇත්තන් තීරණය කල අතර, හැත්තෑ පහ වන විට ලසසපය, තුන් හවුල් බුලත් හපයෙන් ගැලවී වැටුණත්, හැත්තෑ හයේ දී, කොළඹ පාරවල් සෝදා සුවඳ පැන් ඉස, තිඹිරිගස්යාය‌ේ සමිට් ෆ්ලැට් හදලා, අහල පහල රට රටවල නොබැඳි නායක කාරකාරාදීන් වැඩමවා පැවැත්වූ නොබැඳි සමුළුව පවත්වන්නටත් සිරිමාවෝ රජයට ආයුෂ තිබිණ. 

ඒ සමුළුවට ආපු අය ගෙන් කඩවසම්ම පිරිමියා වූයේ ලිබියාවේ ගඩාපි ය. මතක හිටිය තව එක්කෙනෙක් වූයේ ඔළුවේ බාල්දියක් නවලා රෙද්දකින් වහලා වගේ තොප්පියක් දාලා, නත්තල් සීයා රැවුළක් එක්ක හිටි සයිප්‍රසයේ පළමු ජනපති, අගරදගුරු මකාරියෝස් ය....!

මේ සියළු සංදර්ශන වලට පස්සේ, ආපු, හැත්තෑ හතේ ඡන්දය, අමුතු ඇටේ, සුළුතර, මහතර හා අතරමැදිතර ෆුට්බෝඩ් ධනපති අයියලා, අක්කලා, අංකල්ලා, ඇන්ටිලා ආදී සියළු හැත්ත බුරුත්තම තම දිව්‍යමය ගැලවුම් කරුවා වූ ජෝර්ජි අබශ්විල්ලි වටා එක් රොක් වූ ඡන්දයක් වූයේය...

ඒ ඡන්දයේ මා දුටු එක්සත් ජාතික පක්ෂ වේදිකාවල, පුටු මේස තිබුණේ නැත. ජේ. ආර්. ආවද වාඩි වූයේ බිම එළා තිබූ පැදුරු මතය. ඉස්සරහ කණු දෙකක, ආහාර මිල ලැයිස්තුවක් ප්රදර්ශනය කර තිබුණේය. එක පැත්තක, එදා මිලය.. අනිත් පැත්තේ, ඡන්දයෙන් පස්සේ අළුත් ආණ්ඩුව යටතේ මිලය. ඒ ඡන්දයට සමගාමිව නිකුත් කර තිබුණු එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව අයදුම් පතේ නම ගම ලිපිනය ආදී විස්තර වලට අමතරව, මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තමුන් බලාපොරොත්තු වන රැකියාව ලියන්නට ද ඉඩකඩ සලසා තිබුණේය. මේ දහං ගැට සියල්ලම ගසා, ‌බලය ඇල්ලූ අබශ්විල්ලි, පත්තිරිප්පුවට නැග "මාගේ ජනතාවෙනියි.... " රටේ වැසියන් අමතා, විධායක ජනපති කිරුළ පැළැන්දේ ය.

එසමයෙහි ඇරඹුණු තවත් නවීන උපක්‍රමයක් වූයේ, පොලිසිය, හමුදාව වෙනුවට, 'ජනතාව', උද්ඝෝෂකයින්ට, අරගල කරුවන්ට, ප්‍රතිවිරුද්ධ දේශපාලකයින්ට මෙන්ම, අධිකරණය හා විනිසුරුවන්ට ද, සිය විරෝධය දැක්වීමය. මේ 'ජනතාව' ආවේ ගියේ රජයේ වාහන වලිනි. කෑවේ බිව්වේ, අර සර්, මේ සර්, ගේ එකවුන්ට් වලිනි. 

අපේ රට වංක ගිරියෙන් එතර කරමියි කියා එක්කෙනෙක් ගෲෂාට ඇඳගෙන ආවත් අද   ජංගියත් නැතුව වැල් පාලමේ අතරමං වී සිටින මයිකල් කුමාරයාට, මේ රටට වැදුණු හෙණය වන්න‌ේ හැත්තෑ හතේ දී ජෝජි අබශ්විල්ලි පප්පා ඇරඹු මේ අසංස්කෘතික විප්ලවය, ධර්ම චක්කරයක මුවාවෙන් මේ රටට ගැසූ  මේ පාරා වලල්ලම බව සිහිපත් කරගන්නටත්, උත්තරය තියෙන්නේ ඒ චක්කරේම  කට පාඩම් කරවීමේ නොවන බව තේරුම් ගන්නටත්, මේ ලැබූ අවුරුද්දේදී වත් වාසනාව ලැබේවා.










 

Continue Reading...

Sunday, September 10, 2023

මේ සටහන ලියවෙන්නේ ඔබටය....



කාල් සගාන් විසින් රචිත එකම ප්‍රබන්ධ කථාව, පසු කලක චිත්‍රපටයක් වූ , "Contact" [මුණගැසීම] හි, අවසාන පරිච්ඡේදයක මෙසේ සටහන් වෙයි.


"‌නොනැවතී හඬන ටෙලිෆැක්ස් යන්ත්‍රය තිබූ මේසයට ඉහලින් කැඩපතක් තිබිණ. එතුලින් මහළුත් නොවූ තරුණත් නොවූ, මවක් හෝ දුවක් හෝත් නොවූ කාන්තාවක් ඈ දෙස බලා සිටිනු ඇය දුටුවාය. සත්‍යය ඇගෙන් වසන් කර තැබීමට ඔවුන් ගත් තීරණය නිවැරදි විය. සංඥාවන් තුල රැඳුණු පණිවිඩය ලැබීමට ‌‌තබා, එය නිවැරදිව පද පෙරලා ගැනීමට තරමටවත් ඇය මුහුකුරා ගොස් නොසිටියාය. ඇය ඇගේ සම්පූර්ණ වෘත්තිමය ජීවිතය පිටසක්වල අමුත්තන් හා සබඳතා ඇති කරගැනීමට වැය කර තිබුණත්, ඇය ඇගේම ජීවිතයේ දී අනෙකකු හා ඇති කරගත් සබඳතාවයක් නොමැති තරම් විය. ‌විශ්වයේ උපත, මැවිල්ල පිළිබඳව අනෙකුන් ගේ දුර්මත සිඳ බිඳ දැමීමට නිර්භීතව වාද කලද, තමාටම කේන්ද්‍රීය වූ මිත්‍යාවට  ඕ අන්ධව සිටියාය. ජීවිත කාලය පුරාම විශ්වය අධ්‍යයනය කල නමුදු, එහි පැහැදිලිම පණිවිඩය, අප වැනි කුඩාවුන් හට මේ සුවිශාලත්වය දරාගත හැකි වනුයේ ප්‍රේමය තුලින්ම පමණි ය යන්න ඇයට මග හැරී තිබිණි.."

page 374, "Contact", Carl Sagan.

ප්‍රේමය වනාහි කේන්ද්‍රීය වින්දනය බව පහදා දෙන්නට, කාල් සගාන් වැන්නකුගේ ලියවිල්ලක්  අත්‍යවශ්‍යය නොවන නමුත්, මනුෂ්‍ය සංහතිය විසින් නිර්මාණය කර ගනු ලැබූ දෙවියන් හා අනෙකුත් බොහෝ සර්ව බලධාරීන් පවා, පරිපූර්ණ ප්‍රේමය සොයා යාමේ ඵලයන් බව වටහා ගැනීමට නොහැකි වීමේ දුර්විපාක දෙස බැළූ කල, සගාන් ඉඟිකරන අපේම අභ්‍යන්තර කේන්ද්‍රීය මිත්‍යාවේ තරම අවබෝධ කරගන්නට යම් රුකුලක් ලැබෙයි.  එමෙන්ම, එදා මෙදා තුර මෙතෙක් ලියැවී ඇති වින්දනීයම ප්‍රේම කාව්‍යයන් ලියැවී ඇත්තේ ද, දෙවියන් ‌කෙරෙහි මනුෂ්‍ය සන්තානයන්හි ඇවිලෙන ප්‍රේම ගින්නේ උණුසුමින් බව නොරහසකි. 

ඉතින් රංගනී මුහුණු පොතේ අවුණන අකුරු අපේ හිත් තුල කිඳා බැසීමේ වාසනාවන්ත සංවේදනයෙහි රහසක් තිබේදැයි ‌අසන්නට කිසිදු ‌හේතුවක් නැත.

රංගනී ලියූ කවි අතර, 'හදවතක හැඩය' යැයි මා නම් කරන මගේ හිතට වඩාත් සමිපය මට දැනෙන මේ වචනද තිබේ.

 "ආදරේ කල යුතුම නම්... හිතවත, හදාගත යුතුයි වැවක ආකෘතියකට හදවත

ප්‍රේමය යැයි නම් කර
බැම්මකින් බැඳි දා සිට
බොහෝ දේ දරාගත යුතු බව
වැව් බැම්ම දන්නවා හොඳටම

දැනෙන විට
දරාගත නොහැකි බර
සොරොව්වකින්
දුක මුදා හරිනා විට
ඒ පීඩනය දරාගන්නට
බිසෝ කොටුවක්
කොයි තරම් දේ කරනවද

නිතර වධ දෙන රළ පහර වැද
සේදී යන්න තනනා වැව් බැම්ම ළඟ
ප්‍රේමය ට හිමි තැවුල් දරාගෙන රකින
සළපනාවක් ඇවැසිමයි,

දැනෙනවා නේද? හදවතට... බාධක දරාගත නොහැකි තැන හැඟුම් සුනු විසුනු වන මොහොතක පිටවාන කඩා බිඳගෙන  පලා යන විට ප්‍රේමය…

විරහවට පෙම් කරනු මිස
හදවත හිස් නොකර ගත යුතු බව
කළිගු බැමි කියා දෙනවා අපූරුවට

ඉතින්! හිතවත..... වැවක ආකෘතියක් අවැසිමයි ආදරය කල යුතුම නම් හදවතට."

පහත සබැඳියේ ඇති සංවාදයේ අතර මග කියවෙන්නා සේම, රංගනීගේ කවි හැමකක්ම ප්‍රේමයම කේන්ද්‍ර කොට ඇතත්, ඒ එකක්වත් ප්‍රේම යාතිකාවන් හෝ විරහ විලාපයන් හෝ නොවෙයි. ඒ හැමෙකම පාහේ ඉහත පද වැලෙහි මෙන්ම, ප්‍රේමයේ ගැඹුර මෙන්ම, යථාර්ථය ද, බලාපොරොත්තුව මෙන්ම, අනපේක්ෂිතත්වය ද, රෝස පෙත්තක සුමට බව මෙන්ම රෝස කටුවක රිදවුමද රැඳවී තිබෙයි.

අපේ හිත් නවතා බලා ඉන්නට මෙන්ම, අපේ හිත්තුලටම කිඳාබැස, ඒවා රිදවන්නට ද, මෙතෙක් අප තුලම සැඟවී තිබුණු නමුදු, එවන් හිතිවිලි අපේ හිත් තුලත් තිබුණාය, තිබෙනවාය යැයි ‌සිතන්නටවත් නොහැකි තරම් අරුම වූ සිතිවිලි අපට සිහිපත් කර දෙන්නට ද ඒවා සමත්ය.

ඉතින් මගේම හිත දෙස බලා සරැලි නැගෙන පිරුණු වැව් තලයක් දකින්නට තරම්, අද රංගනීගේ කුළුඳුල් කවි පොත, "බොහෝ කවි ලියවුනේ ඔබට ය" දොරට වඩනා අද  දවසේ මම වාසනාවන්ත වී සිටිමි. 

ඉතින් රංගනී... මේ සටහන පුතාටයි.  ටිකක් බරපතල වගේ දැනුනත්, මේක ලියන්නේ පුතා, අද දවසේ කවිපොත දොරට වැඩෙන මොහොතේ ඔයාට සුබ පතන්නටත්, අද ඔතන ඉන්නට බැරි වුනු එකේ කණගාටුව වහ ගන්නටත් බව ඔයා දන්නා බව දනිමි.

-රන්සිරිමල්



Continue Reading...

Sunday, August 20, 2023

හිස්තැනක හෙවනැලි

 



හිස්වෙලා පෙනුනාට අඳුරුව
බිත්තියක පෙනෙන ඡායාව
කවුළුවක නතරවුනු බඳුනට
හොරා ගන්නට හැකිද හිරු රළ

ජීවිතේ දුන්නාම නොපැකිල
හදවතේ අග දැනෙන හිස්තැන
ඒ තමයි කිසිදාක නොමැකෙන
ප්රේමයේ රන් රුවන් වත්කම

ලියන්නට එපා අය වැය
ගනින්නට එපා පිරිවැය
පිරෙන්නට හදා ඉඩකඩ
අරන් යනවා අරන් යන අය

#rsmpoems

Continue Reading...

Friday, August 4, 2023

ලාල් සෑම්

 


 

මාත් එක්කම වාගේ 1982 ඔක්තෝම්බර වගේ කැනඩාවේ එඩ්මන්ටන් නගරයට ඇවිත්, ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා ඉගෙන ගන්නට පටන් ගත් රංජිත් මුහන්දිරම්, දවස් දෙකකට කලින් ඔය පින්තූර දෙක එවා තිබේ. මාත් රංජිතුත් නැවතී සිටි එපාර්ට්මන්ට් එකේ 1983 ජනවාරි පලවෙනිදා ගත් පළමු පින්තූරය ලාල් සෑම් කියා අපි කෙටිකර ගත් ලාල් සමරසේකර ඇල්බර්ටා විවියට ඇවිත් දවස් කීපයකින් විය යුතුය. චාන්දනීත් ආරියවංශත් වම් පැත්තෙනුත් රංජිතුත් මමත් දකුණු පැත්තෙනුත් තියාගෙන මැදින් වාඩිවී ඉන්නේ ලාල්ය.

ලාල් 1982 ඇල්බර්ටා එන්නේ, නවසිය හැත්තෑ එකේ ලංකාවේ හොඳම උසස්පෙල ප්‍රතිඵල (ඒ කාලේ වැඩ හතරකි. හැත්තෑ එකේ විද්‍යා ධාරාවෙන් හතරටම ඒ සමාර්ථ ගත්තේ දෙන්නෙකි. එක්කෙනෙක් ලාල් සමරසේකරය. අනෙක් කෙනා එල්. එස් ය.) වාර්තා කල දෙන්නාගෙන් එකකු ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙනීම අවසන් කර, පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට ඇතුළුව මූලික උපාධිය ලබා, බ්‍රිටිෂ් කොළම්බියා විවියේ, විද්‍යාපති උපාධියත් අරන්, ආචාර්ය උපාධිය හදාරන්නට ඔටාවා හි කාල්ටන් විවියට ගිහින් එතන වැඩ ගැන නොසෑහීමට පත්වෙලාය.


යාළු මිත්‍රකම් විශේෂයෙන් දේදුන්නේ අග්ගිස්ස සොයා කාන්තාරගතවූවන් සේ ගෙවෙන මේ දැණුම පසුපස හඹායන්නාවූ කාලයන්හි මුණගැසී අත්වැල් අල්ලා ගන්නවුන් අතර ඇතිවන යාළු මිත්‍රකම්, ලේසියෙන් ගැලවෙන ගැට නොවේ. ලාල් සම්බන්ධයෙන් නම් ඒ සම්බන්ධකම ජීවිත කාලයම පැවතුණායි ලියන්නට සිදුවී තිබේ. “හතලිස් අවුරුද්දකට පෙර“ කියා උධෘතය යොදා, රංජිත් මේ පින්තූර දෙක එව්වේත් ඒ නිසාමය.

එඩ්මන්ටන් හිත්, ඉන් පස්සේ රෙඩ්ඩියර් හිත්, එතනින් පස්සේ සස්කටූන් හිත්, එයිනුත් පස්සේ ටොරොන්ටෝවේ යෝක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙක් වශයෙනුත් වැඩ කල ලාල් සමරසේකර නම්වූ මේ සහෘදයා, මතක්වෙන වාරයක් පාසාම, නොවිය යුතුම යැයි හිතෙන රිය අනතුරකට ලක්ව, පසුගිය ඉරිදා අප හැමගෙන් සමුගෙන ගොස් තිබේ.

ජීවිතය එහෙමය, වෙලාව ආවාම කියන්නට බැරිය, අපි හැමෝම ඔතනට යනවාය මොන කතන්දර කතා තිබුණත්, මේ වැඩේ නොවිය යුත්තක්ම යැයි හැඟෙන එක නම් නවත්තන්නටම බැරි සිතිවිල්ලකි. මිත්‍රයකුට සමුදීම එකකි. මිත්‍රයෙක්, නොඑන සේම පිටත්වී යාම තවෙකකි.

ලාල් දැන හඳුනන, ලාල් ලඟින් ඇසුරු කල බොහෝ අය වෙති. ජීවිත කාලයක් කියන්නේ ලාල් වැනි හිතක් ඇති කෙනෙකුට අස්වැන්න ලෙස ගණන් කරන්නට අපහසු තරම් හොඳ හිත් එකතු කරගන්නට සිද්ධවෙන කාලාන්තරයකි.

මේ පහත සටහන, ලාල් ගැන සහෝදරත්වයේ මනුදම සංවිධානය තැබූ සටහනකි.





ආරම්භයේ සිටම මුල්පුරුකක් ලෙසින් සහෝදරත්වයේ මනුදම ශක්තිමත් කරන්නට අසීමාන්තිකව වෙහෙසෙමින් එහි  අධ්‍යකෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසින්ද කටයුතු සම්පාදනය කරන්නට මෙන්ම  සහෝදරත්වයේ මනුදමේ අපට නොමද ගුරුහරුකම් ලබා දුන් ශ්‍රී ලංකා කැනඩා ශිෂ්‍යත්ව පදනමේ සභාපති, කැනඩාවේ YORK විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගරු. ලාල් සමරසේකර ගුරුපියාණන් හදිසි රිය අනතුරකින් අප අතරින් සමුගෙන ඇති බව දැනුම් දීම ඉතා ශෝකාකූලය. එතුමන් පුරා වසර ගනණනාවක්  ගුරුපියෙකු ලෙසත්, නොයෙකුත් සාමාජීය සුබසාධක ව්‍යාපෘති සදහා මගපෙන්වන්නෙකු ලෙසත්, උත්තරීතර මනුශ්‍යයෙක් ලෙසත් ජීවත්ව සිටියදී සමාජයට කල මෙහෙවර මිල කළ නොහැක්කකි  . 

ඉදින්, එතුමන් අමාමහ නිවනින් සැනසේවා'යි සහෝදරයත්වයේ මනුදමේ අපි එක සිතින් ප්‍රාර්ථනා කර සිටින්නෙමු.
_________________________________

ඉපදුනනානම් දිනෙක මියැදෙනා බව දැනන් 
ජීවිතේ පුරාවට කරා ඔහු පිංදහම්
අපරිමිත ස්නේහයෙන් පුරවලා මනුදනන්
අද නිහඩ වෙලා ඔහු නොකියාම රහසින්

ගුරු පියේ ඔබ අපට ඉගැන්වූ සියලු දේ
මිලක් කල හැකි වේද මේයැයි කිසිදිනේ
දුරින් සිට උවත් ළග වගේ අපි ළංවුනේ
ඔබ අපට පියෙක්මයි හමුවෙමුද ආයේ

මේපුවත අද අපිට දරා ගත නොහැකී
මේතරම් කිව නොහැකි දුකක් හද ගැබ්වී
බරහදත් දරාගෙන ආදරෙන් පතමී
අමාමහ නිවනින්ම සැනසෙන්න එහෙදී

-සහෝදරත්වයේ මනුදම සංවිධානය -



ලෙංගතුකම් උපතින් අරන් ආ හිත් ඇති මිනිසුන් එක්ක ජීවත්වෙන්නට ලැබීම කොතරම් වාසනාවන්ත කමක් දැයි හිතෙන්නේ, එවන් බැම්මක් බිඳී ගිය පසුවය.

අපි බොහෝ දෙනෙකුට ලාල්, ලලා වූයේ ලලා ගේ අම්මා ලලාට ලලා කිවූ නිසායැයි මගේ මතකයයි. අනූ ගණන්වල එඩ්මන්ටන් ආ ලලාගේ අම්මා, සස්කටූන් හි දි  සමුගන්නා තුරුම ඇගේ දුක සැප බලන්නට ලාල් ඈ සමග සිටියේය. ලලාගේ මේ කාර්යය, අන් සෑම දෙයකටත් වඩා අපේ හිත් වලට දැනෙන දෙයකි. ඉතින් මේ වෙලාවේ ලලා ගැන මතකය, බෙදාගන්නට අපට ඇති වටිනාම දේ නම් ලලාගේ අම්මාගේ හිතිවිලි වලින් හිතා, මානෙල් අතින් ලියවුණු මේ පැදිපෙලය.








Continue Reading...

Friday, June 2, 2023

නතාෂා: කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා




පද - උපුල් ශාන්ත සන්නස්ගල සංගීතය - මහින්ද බණ්ඩාර


නතාෂා ඇවිදින් ගියා - පියාඹා වෙරලින් එහා

නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා ආයෙ ආයෙ ආයෙත් එනවා අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා නිල් නිල් නිල් දැහැතේ වෙලෙනවා සිත්සේ දෙතොලේ පහසේ ඔබ මා සිඹිනවා සිහිනෙන් තැවෙනවා පමා වී ඈතට ඇදී - මීදුමේ රැහැනින් මිදී
හදවතේ ගිණි අවුලා මා දෑසේ පිණි අතුරා මා දවා ඈ ගියා නතාෂා කන්දෙ ලන්දෙ දුක් දී දුර ගියා සයුරෙ රළසෙ සිහිනේ මියැදුණා සඳුගෙ තුරුලෙ ගිණිසේ ලිහුණා උකුලේ ළමැදේ සයනේ ඔබ මා සැනසුනා සිහිනේ මැවෙනවා නතාෂා හුස්මක් තියා - නිදැල්ලේ සක්මන් කලා නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා කිරිල්ලී මල් මී තියා - ඉගිල්ලී රෑනේ ගියා
Continue Reading...

Monday, May 15, 2023

මල් පෙත්තක් උඩ රැඳවුණු කඳුලක්

තරුවල කඳුළුද පිණිකැට වෙන්නේ
හිමිදිරි උදයේ තණ නිල්ලේ
මිණිකැට වාගේ අරුණළු රැල්ලේ
දේදුනු පාටට දිලි‌සෙන්නේ
නෑ ඔබ කීවේ මට කවදාවත්
නෑ ඔබ මට කීවේ

කඳුලක් වෙනව ද
සඳ සාවියකගෙ
කොපුලත දැවටුනු පිණි බිඳුවක්
මල් පෙත්තක් උඩ
රැඳවුණු කඳුලත්
සෙව්වන්දියකට
මිණි කැටයක්

කිව්වා ඔබ මට
කිව්වා ඔබ මට හැමදාමත්
තරුවල කඳුළුද හිමිදිරි උදයේ
පිණිකැට වෙන්නේ අරුණල්ලේ
නෑ ඔබ කීවේ...
නෑ ඔබ කීවේ කවදාවත්





Continue Reading...

Blogroll

About