චන්ද්‍රග්‍රහණයය කියන්නේ වචනාර්ථයෙන් ගත්තොත් ඉතින්, හඳ ඇල්ලීමය. මනුස්ස සංහතියම නියෝජනය කරමින්ය කියා කියන්නට පුළුවන් නමුත් ඇමරිකන් ජාතිකයෙක් වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් (ආම් ස්ට්‍රෝන්ග් කියනෙකේ සිංහල තේරුම ඉතින් පරාක්‍රම බාහු හින්දා එයාටත් යම්මාකාරයක සම්බන්ධයක් මේ දූපත එක්කත් නැතුවාම වෙන්නට බැරිය) හඳ පාගලා සපත්තු අඩියෙන් කණ අස්සන ගහලා හඳ ඇල්ලුවේ නවසිය හැට නවයේ ජූලි මාසේ විසිවෙනිදා විතරය.
ඔයින් අවුරුදු දහයකට පස්සේ හඳට යාමේ වාසනාව උදාවූ මම ඒ කතා බහ මින් පෙර ලියූ ලියවිල්ලක් මේන් මෙතන, නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...! නමින් අවුණා තිබෙයි.
මේ පහත ලියවිල්ලත් පරණ ලියවිල්ලක්ම වුණත්, ඒක කාලෙකට පෙර මුහුණු පොතට ලියූවකි. ඒත් ඉතින් හඳ නම් හඳමය. පොසොන් වුනත්, වෙසක් වුනත්, ඇසල වුනත්.... ඔය මොන මොන පෝයට වුනත් පායන්නේත්, සමාරදාට බාගෙට බුම්මාගෙන හෝ බාගෙට හිනාව දාන ඉන්නේත්, නිය පොත්තක් වී පාත්වී කොනිත්ත කන්නේත් වාගේම, පැත්ත වැටී ගොර ඇද ඇද නිදාගන්නා වෙලාවට වුනත්, නිසංසලේ පායා ජනේලෙන් එබී බලන්නේත් ඉතින් ඔය එකම හඳමය.
'සඳ ඇබින්දක්' කියන වචන දෙක ඇහිලුනේ මට මතක හැටියට කූඹියාගේ සටහනකින්. ඒක පැල්ලමක් වගේ හිතේ වැදුන වචන දෙකක්.... සඳ ඇබින්දක්... කොච්චර ඈත තිවුණත් කොච්චර චූටියට පෙණුනත් හිත දන්නවා සඳ දෝත බදා අල්ලගන්න බැරි දෙයක් බව. ලබන්න වාසනාව ඇත්නම් ඇබින්දක් ගැනම මිස සඳම අයිති කරගන්න හීන දකින්නවත් පුළුවන් ද?
හිතිවිලි එහෙමයි...
ඔය දවස්වල වැඩකලේ කැනඩාවෙ සස්කචවාන් ප්‍රාන්තයේ උතුරුම කෙළවර කිට්ටුව 'රැබිට් ලේක්' කියන යුරේනියම් පතලයක... උදෙන් ඇහැරෙනව. පාන්දර තුනට හතරට... ජිම් එකට යනව, ට්රෙඩ් මිල් එකේ ඇවිදින්න... ඒ වෙලාවට හිත නිදහස්... වචන එනව පාවෙලා... හිත යනව පියාඹලා...
මේ වචන ලියවුනේ එහෙමයි. බලාපොරොත්තු කියන්නෙ සතුටු සිතිවිලි. ජීවිතේ ඇදගෙන අපිවත් ඇදගෙන ඉස්සරහට දුවන තල්ලු කරන සිතිවිලි....
කාලෙකට පස්සෙ මානෙල්ට ගයන්න මේ වචන ටික දර්ශන අතින් පෙල ගැහුණෙ කැලිප්සෝ ආරෙ තනුවකට. ඒ නැටුමත් එක විදිහක හඳ ඇල්ලීමක් ම තමයි නෙ.
හඳක් ගැන මට අනාවැකියක් කිව්වෙ වික්‍රමාරච්චි... කොළඹ සරසවියෙ තර්ස්ටන් කැන්ටිමේ ඉස්තෝප්පු කෑල්ලෙ මේසෙක වාඩිවෙලා මගෙ කේන්දරේ බලාල...
"කවද හරි හම්බුවෙන්නෙ හඳක් වගේ සහකාරියක්..."
" ඒ කියන්නෙ වල ගොඩැලි තියන මූණක් තියන..."
" නෑ... ඕයි.... සඳ වාගෙ සෞම්‍ය ගතිගුණ තියන...."
ගීතය තවම ගූගල් ඩ්‍රයිව් එකේ. මෙන්න සබැඳිය.
https://drive.google.com/open?id=0B2LwtYaBjaKiazJiWVhjdkZkT1VBRkRqOVBYTEF0WGJ4bFYw
තනුව/සංගීතය - දර්ශන වික්‍රමතුංග
නාද සංකලනය - සඳරු ගමගේ (Sage Studioz)
සඳ ඇබින්දක් එබෙයි
මුතු කැකුළු පෙති සලා
හිත ඉපිලිලා නටයි කවි සිංදු ලියවිලා
පුර පෝ දාට කල් තියේ සඳ රැස් ගලන ඉහිරිලා
ඇයි මොකද කලබලේ හිත ඉඳින් ඉවසලා
දොල පාර පිරෙන්නේ වැහි බිංදු එක්වෙලා
නිල් සයුර නටන්නේ ඇල දොලින් පිරවිලා
මහ ගසුත් උපන්නේ පෙති දෙකක හැංගිලා
වන උයන් මැවෙන්නේ ගස් ගොඩක් රොක්වෙලා
පෙති පිපෙන්නට නෙළුම් දිය විලක පීදීලා
මල් කැකුළු කෙමි නැගෙයි විල් පතුලෙ ඉපදිලා
හැම දේම ඔය වගෙයි පුර පෝය එළඹිලා
හිත ඉවසලා ඉඳින් සඳ ඒවි පායලා
මේක ආයෙත් බෙදාගන්න හිතුණා අද. වචන ටික ආයෙ ආයෙත් මතක් වුනු නිසා. මේ පෝස්ට් එක කලින් දාපු වෙලේ, මුතු පබා මතක් කරල එවල තිබුණා, බූන්දියට සඳ ඇබින්දක් ලිව්වෙ මුතු බව. ඒ වගෙම ඒ වචන ටික ආරියවංශ රණවීරගේ කවි පොතක් බවත් කියවුනා. ඒක එහෙම වුණත් මේ හඳ මගෙයි.
යූ ටියුබ් අප්ලෝඩ් එකේ ලින්ක් එක මෙන්න:
යූ ටියුබ් අප්ලෝඩ් එකේ ලින්ක් එක මෙන්න:
Updated Jan 18, 2016, 4:58 PM
ලංකාවේ දැන් ජනප්‍රිය වෙන ගීත ගොඩක් සරලයි. ලොකු සාහිත්‍යමය දෙයක් නෑ , හැබැයි සමාජ මාද්‍ය වල මිලියන් ගණන් විව්ස් තියෙනවා. ඉස්සර වගේ ගීත විචාර නෑ , එහෙම අවශ්‍යත් නෑ , ගොඩක් ගීත සරලයි, ව්‍යන්ගයක් ඇත්තෙම නෑ ... ඉස්සර නම් ගීතයකට අපි කිසිදා නොහිතන රචකයවත් පුදුම වෙන විචාර ලියන අය හිටියා ...( රචකයා පුදුම වෙනවා කියන්නේ , කිහිම ගලපීමක් නැති දේවල් තමා විචාරකයෝ ලියන්නේ, අමරදේව මාස්ටර්ගේ සින්දුවකටත් මොකද්ද කුනුහරුපයක් ලියල තිබුනේ)
ReplyDeleteහැමදේම වගේ සමාජයේ 'රසය'ත් කාලයත් එක්ක වෙනස් වෙනවා නේ ද?
Delete