Tuesday, July 30, 2024

නෙළුම් මලේ පෙති කඩලා ....

 


කරු අයියා බොහෝ කාලයකට පෙර ලියා, බයිලා චක්‍රවර්තී, ඇම්. ඇස්. හා ඇන්ජලින් ගැයූ ගීයක් අද මේ වෙද්දී සිදුවෙමින් තියෙන දේවල් බලාගෙන ලිව්වා කිව්වා වගේ කියා හිතෙයි.

කවුරු ‌කොහොම කිව්වත් කලා කාරයෝ නම් අනාගතය දකින්නෝය කියා මේ වගේ වෙලාවල් වල හොඳටම හිතෙයි. හිතෙනවාටත් වඩා හිතට දැනෙයි.

රනිල් මයාට අටවන ජනාධිපති කියා නක්කලේට කියූ කියුම් කෙරුම්, අටුව කඩා පුටුව හදා ගන්නා ජනාධිපතිය කියා වෙනස් කරන්නට වෙන තරමටම ඒ මහත්තයා දියුණු වී සිටී.

ඇම්. ඇස්.ට තිබුණු බයිලා චක්‍රවර්තී සම්මානයට අභියෝග කරමින්, පහු ගිය දා අති අනර්ඝ බයිලා ගායනයක් කල අපේ ජනාධිපති තුමා කියන කරන දේ විශ්වාස කරන්නට අදහන්නට විතරක් නොව දෝත් බැඳ හිස මත  තබා වැඳ නමස්කාර කරන්නට තරම් එම්ප්ටි බ්රේන් කාරයින්ගෙන් නිදහස් වෙන්නට මේක කාලයයි කියා පොහොට්ටුවට හිතුණා ද කියා නම් සහ සුද්දෙන් කියන්නට බැරිය.

එසේ මෙසේ කෙසේ වෙතත්, මේ ලබ්බේ තොයිලය නටන්නේ ගං වතුරේ පාවෙන ලබ්බක් ඇතුලේ බව කාට කාටත් දැනෙනවා ඇතිය කියා නම් හිතෙයි.














නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා වලාකුළෙන් රුවල් දමාලා... 
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා පෙම් ගඟුලේ රැල්ල නඟාලා...
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා සුරංගනා ලෝකෙ සොයාලා...
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා සුරංගනා ලෝකෙ සොයාලා... 

සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා ඔබ නළවමි පවන් ගසාලා
පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා සුවඳ එවමි සුළඟෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුං ගාලා සමනලයෙකු වාගේ සැරසිලා...
සොඳුරු සමනලා එන කල ළඟට පියඹලා පිළිගන්නෙමි පෙති විහිදාලා...  

මැණික් කැට අරන් පෙරළන පහළ ගල ගලා මම නිල් දියපාරක් වෙනවා
මමත් ඒ දියේ රන් වන් පාටින් දිලෙනා මාළුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා රිදී දැලක් වාගේ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා පෙම් ගීයක් කියා නටනවා...  





Continue Reading...

Sunday, July 28, 2024

ගෲෂාගේ රූපාන්තරණය

 


දළඹුවා කෝෂගත වෙන්නේ රූපාන්තරණයටය. මයිකල් කුමාරයා වඩාගෙන වැල් පාලමේ ගිය ගෲෂා දැන් මයිකල් බේබිටත් කඳුළු හැලෙන ගාණට හඬවා තිබේ. 

එගොඩ කිරිල්ල කෙසේ වෙතත් ගෲෂා තුමා වැල් පාලම උඩ සරකස් පෙන්නන ගානට චූන් වී නෑකං කියාන ගාල්ලේ අපුච්චාගේ අහ ඉඳ ජාතිය අමතා වැඩ්ඩා මමයි කියාන හුණු වටේ හුරා විට කන්න චැලේන්ජ් කර සිටී.

පෝට්ටු මඩවලේ තනි කකුලෙන් හිටං හිටි කණ කොකා ඉගිල්ලෙන්නට තටු ගසමින් සිටී. 

සුද දැක්කය.....?..






Continue Reading...

Wednesday, July 24, 2024

අසූ - තුන....!




මේ ජුලි විසිතුන්වෙනිදා  පාර්ලිමේන්තුවේදී ‌රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා බන්ධනාගාරවල සිරකරුවන්ගේ ශාරිරික පරීක්ෂාවන් ගැන කල ප්‍රකාශයකින් කැළඹුණු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, සිය කතාව අතරතුර මෙසේ දෝෂාරෝපණයක් කලේය,

"මට තේරෙන්නෙ නෑ එතුමට බන්ධනාගාරය කියන වචනෙ තේරුම දන්නවද කියල. මේක රටක් විදිහට අපි බලන්නෝන. දේශපාලනික වශයෙන් අන්ධ වෙලා පටු වාසි ගන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න හොඳ නෑ. වගකීමෙන් කටයුතු කරන්න. මේ ප්‍රකාශය තුල ගරු සභාපති තුමනි, සමස්ත බන්ධනාගාරයෙ ඉන්න සියළුම ජනතාවට විශාල අපහාසයක් අවමානයක් කරන්නෙ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙ සියළුම නිලධාරින්ට විශාල අපහාසයක් අවමානයක් කරන්නෙ. සමස්ථයක් විදිහට ගත්තම රටක් විදිහට මහා ම්ලේච්ඡ මිනිස්සු ජීවත්වෙන සමාජයක් තියන රටක් කියල ශ්‍රී ලංකාව මේ මුළු ලෝකෙටම අඬගහල කියනව...."

අවුරුදු හතලිස් එකකට පෙර අද දවස ගැනත් ඒ ලෙසින්ම විජයදාස රාජපක්ෂ අමාත්‍ය වරයාගේ මුවින් පැවසේවිදැයි සිතනු වටී.




මේ කතාවන් අතරතුරේ බොරැල්ලේ කනත්ත ඉදිරිපිට නුග ගස යට පහන් දැල්වීමක් සිදු විය. ඒ අසූ තුනේ ජූලි විසිතුනෙන් ඇරඹුනු, ‌මුළු මහත් ලෝකයටම අපේ ජන සමාජයේ නොව, අපේ පාලක පෙලැන්තියේ මලේච්ඡත්වය හා කෲරත්වය හඬගා හුවා දැක්වූ ද, තිස් අවුරුදු යුද්ධයේ ආරම්භය සනිටුහන් කලා වූ ද සිද්ධින් සමුදාය සිහිපත් කරවන්නට ය.





මෑත ඉතිහාසයේ දී, අපේ රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් හා නොමසුරු සහභාගිත්වයෙන් සිදු කල මලේච්ඡ හා කෲර මිනිමැරුම් හා අපරාධයන් ගේ සංවිධානාත්මක ආරම්භයක් සටහන් කල කළු ජූලිය ඇත්තෙන්ම ඉතිහාස කතාවක් නොවිය යුත්තේ ය. එය අප නැවත නැවතත් ගෙවදින හදාරන හා අපේ අනාගතයට නොකල යුතු හා නොවිය යුතු දෑද, අප කිසිදිනක අවතීර්ණ නොවිය යුතු මාර්ගයන් ද පැහැදිලි කර මග පෙන්වන මං සලකුණක්ම විය යුත්තේ ය.

ඉතින් මේ සිදුවීම් පිළිබඳව මෑත යුගයේ දී ලියැවුනු කියවුනු දේ පහත ගොනු කරමි.















මේ අවසාන වීඩියෝව ගිය අවුරුද්දේ අපේ දේශප්‍රේමී ජනතාව කළු ජූලිය සැමරූ ආකාරය පෙන්වයි.












Continue Reading...

Saturday, July 20, 2024

චන්ද්‍රග්‍රහණය


 

චන්ද්‍රග්‍රහණයය කියන්නේ වචනාර්ථයෙන් ගත්තොත් ඉතින්, හඳ ඇල්ලීමය. මනුස්ස සංහතියම නියෝජනය කරමින්ය කියා කියන්නට පුළුවන් නමුත් ඇමරිකන් ජාතිකයෙක් වූ නීල් ආම්ස්ට්‍රෝන්ග් (ආම් ස්ට්‍රෝන්ග් කියනෙකේ සිංහල තේරුම ඉතින් පරාක්‍රම බාහු හින්දා එයාටත් යම්මාකාරයක සම්බන්ධයක් මේ දූපත එක්කත් නැතුවාම වෙන්නට බැරිය) හඳ පාගලා සපත්තු අඩියෙන් කණ අස්සන ගහලා හඳ ඇල්ලුවේ නවසිය හැට නවයේ ජූලි මාසේ විසිවෙනිදා විතරය.

ඔයින් අවුරුදු දහයකට පස්සේ හඳට යාමේ වාසනාව උදාවූ මම ඒ කතා බහ මින් පෙර ලියූ ලියවිල්ලක් මේන් ‌මෙතන, නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...! නමින් අවුණා තිබෙයි.

මේ පහත ලියවිල්ලත් පරණ ලියවිල්ලක්ම වුණත්, ඒක කාලෙකට පෙර මුහුණු පොතට ලියූවකි. ඒත් ඉතින් හඳ නම් හඳමය. පොසොන් වුනත්, වෙසක් වුනත්, ඇසල වුනත්.... ඔය මොන මොන ප‌ෝයට වුනත් පායන්නේත්, සමාරදාට බාගෙට බුම්මාගෙන හෝ බාගෙට හිනාව දාන ඉන්නේත්, නිය පොත්තක් වී පාත්වී කොනිත්ත කන්නේත් වාගේම, පැත්ත වැටී ගො‌ර ඇද ඇද නිදාගන්නා වෙලාවට වුනත්, නිසංසලේ පායා ජනේලෙන් එබී බලන්නේත් ඉතින් ඔය එකම හඳමය.


'සඳ ඇබින්දක්' කියන වචන දෙක ඇහිලුනේ මට මතක හැටියට කූඹියාගේ සටහනකින්. ඒක පැල්ලමක් වගේ හිතේ වැදුන වචන දෙකක්.... සඳ ඇබින්දක්... කොච්චර ඈත තිවුණත් කොච්චර චූටියට පෙණුනත් හිත දන්නවා සඳ දෝත බදා අල්ලගන්න බැරි දෙයක් බව. ලබන්න වාසනාව ඇත්නම් ඇබින්දක් ගැනම මිස සඳම අයිති කරගන්න හීන දකින්නවත් පුළුවන් ද?


හිතිවිලි එහෙමයි...

ඔය දවස්වල වැඩකලේ කැනඩාවෙ සස්කචවාන් ප්‍රාන්තයේ උතුරුම කෙළවර කිට්ටුව 'රැබිට් ලේක්' කියන යුරේනියම් පතලයක... උදෙන් ඇහැරෙනව. පාන්දර තුනට හතරට... ජිම් එකට යනව, ට්රෙඩ් මිල් එකේ ඇවිදින්න... ඒ වෙලාවට හිත නිදහස්... වචන එනව පාවෙලා... හිත යනව පියාඹලා...

මේ වචන ලියවුනේ එහෙමයි. බලාපොරොත්තු කියන්නෙ සතුටු සිතිවිලි. ජීවිතේ ඇදගෙන අපිවත් ඇදගෙන ඉස්සරහට දුවන තල්ලු කරන සිතිවිලි....

කාලෙකට පස්සෙ මානෙල්ට ගයන්න මේ වචන ටික දර්ශන අතින් පෙල ගැහුණෙ කැලිප්සෝ ආරෙ තනුවකට. ඒ නැටුමත් එක විදිහක හඳ ඇල්ලීමක් ම තමයි නෙ.

හඳක් ගැන මට අනාවැකියක් කිව්වෙ වික්‍රමාරච්චි... කොළඹ සරසවියෙ තර්ස්ටන් කැන්ටිමේ ඉස්තෝප්පු කෑල්ලෙ මේසෙක වාඩිවෙලා මගෙ කේන්දරේ බලාල...

"කවද හරි හම්බුවෙන්නෙ හඳක් වගේ සහකාරියක්..."
" ඒ කියන්නෙ වල ගොඩැලි තියන මූණක් තියන..."
" නෑ... ඕයි.... සඳ වාගෙ සෞම්‍ය ගතිගුණ තියන...."

ගීතය තවම ගූගල් ඩ්‍රයිව් එකේ. මෙන්න සබැඳිය.
https://drive.google.com/open?id=0B2LwtYaBjaKiazJiWVhjdkZkT1VBRkRqOVBYTEF0WGJ4bFYw
තනුව/සංගීතය - දර්ශන වික්‍රමතුංග
නාද සංකලනය - සඳරු ගමගේ (Sage Studioz)

සඳ ඇබින්දක් එබෙයි
මුතු කැකුළු පෙති සලා
හිත ඉපිලිලා නටයි කවි සිංදු ලියවිලා
පුර පෝ දාට කල් තියේ සඳ රැස් ගලන ඉහිරිලා
ඇයි මොකද කලබලේ හිත ඉඳින් ඉවසලා

දොල පාර පිරෙන්නේ වැහි බිංදු එක්වෙලා
නිල් සයුර නටන්නේ ඇල දොලින් පිරවිලා
මහ ගසුත් උපන්නේ පෙති දෙකක හැංගිලා
වන උයන් මැවෙන්නේ ගස් ගොඩක් රොක්වෙලා

පෙති පිපෙන්නට නෙළුම් දිය විලක පීදීලා
මල් කැකුළු කෙමි නැගෙයි විල් පතුලෙ ඉපදිලා
හැම දේම ඔය වගෙයි පුර පෝය එළඹිලා
හිත ඉවසලා ඉඳින් සඳ ඒවි පායලා
මේක ආයෙත් බෙදාගන්න හිතුණා අද. වචන ටික ආයෙ ආයෙත් මතක් වුනු නිසා. මේ පෝස්ට් එක කලින් දාපු වෙලේ, මුතු පබා මතක් කරල එවල තිබුණා, බූන්දියට සඳ ඇබින්දක් ලිව්වෙ මුතු බව. ඒ වගෙම ඒ වචන ටික ආරියවංශ රණවීරගේ කවි පොතක් බවත් කියවුනා. ඒක එහෙම වුණත් මේ හඳ මගෙයි.

යූ ටියුබ් අප්ලෝඩ් එකේ ලින්ක් එක මෙන්න:
Updated Jan 18, 2016, 4:58 PM






Continue Reading...

Thursday, July 4, 2024

සම්පන්තන් ගේ නෙළුම් පොහොට්ටුව

 


රාජවරෝතියම් සම්පන්තන් අවුරුදු අනූ ගණනකට පසුව හුස්ම ගැනීම නතරකර තිබේ. දැන් ඉතින් ගුණ කථන වලට මෙන්ම, ගුණ කථන කරන්නට වලිකා ගැනීම් වලට කාලයයි. මැරුණාට පස්සේ මිනිසුන් ජීවත් වෙන්න පටන් ගන්නවාය කියන බොරුව මම ඇති තරම් අසා ඇත්තෙමි.

වෙඩි කා මියගිය සොලමන් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක පහන් පූජා පවත්වා දේවත්වයෙන් පුදන්නට තරම් අපේ රටේ කට්ටිය ගුණවත් වූ සමයකුත් මට මතකය. සම්පන්තන් මහත්මයාටත් බොහෝවිට ඒ වාගේ ඉරණමක් ලැබෙන්නට අවස්ථාව තියෙන්නට පුළුවන. මේකේ රහස තියෙන්නේ, කෙනෙක් මළාට පසුව ඒ පුද්ගලයාට ආයේ කට හොල්ලන්නට ඉඩක් නොතිබීම තුලය. ඔයා ඔය මං කලාය කිිියා, මං කිව්වාය කියා පට්ට ගහන එක ප්‍රලාපයක් කියා හෝ, මං ඔය කිව්ව දෙයින් අදහස් කලේ ඕක නෙවේය කියා හෝ කියන්නටවත්.... අයිසේ තමුන්ලා එදා මං ඔය අදහස් කියන කොට  කොහේද හිටියේ මොනවාද කිව්වේ කියා අහන්නටවත් මළ ගිය පරාණ කාරයාට හැකියාවක් නැත.

ඉතින් මට නම් එතුමාට මොනම සුවයක්වත් පතන්නට හිත හදාගන්නට බැරිය.

ඒ වෙනුවෙන්, සම්පන්තන් මයා ගැන 2018 මා ලියු ‌සටහනේ  සබැඳිය මෙතන අවුණමි.

කියවන්නැයි ආරාධනා කරමි.

සම්පන්තන්ගේ නෙළුම් පොහොට්ටුව

Continue Reading...

Blogroll

About