චිරාත් කාලයකට පෙර හවස්වරුවල බස් එකක එල්ලෙන්නට තුන්මුල්ලේ තැප්පෙන වෙලාවල, එතැන රතු එළියට නැවතෙන අළුත් පහේ මෝටර් රථවල රෝද දෙස නැවී පහත්වී දෑස් දල්වා බලා ඉන්නා සෙල්ලමක් කරන්නට අපි පුරුදු වී සිටියෙමු. එසේ හිඳිමින් ලඟ ඉන්නා එකෙකුටත් අත දික්කර පෙන්නා මවිත වූ බවක් පලකර රිය පදවන්නා දිහාත් මවිතයෙන් බැලීම ඊලඟ තලය වෙයි. ඉලක්කය රථයේ රෝදවල මොකක්දෝ අභව්‍යයක් පවතින්නේ යැයි රියදුරාට ඉඟියක් දීම යි.
මේ සෙල්ලමට අහුවන කවුරුවත් රථය නවතා බහින්නේ නැත. එහෙත් හිතේ ඇතිවන සැකය අපට උන්ගේ මුහුණු වලින් පෙනෙයි.
ගමනක් යන අතරතුරක කෙනෙක් හෝ පිරිසක් පාර අයිනේ නැවතී එකම දිශාවක් බලා ඉන්නවා දැක්කොත් අපේ සිත් වල ඇතිවන්නේ ද එවැනිම වූ විපිලිසර බවකි. අපටත් නැවතී බලන්නට ආශා සිතෙයි. බොහෝවිට අපි එසේම කරමු.
වෙසක් සඳ
නිවෙන දැල්වෙන
විදුලි එළි මැද
වෙසක් සඳ
නිහඬවම ගගනත
නිවෙන දැල්වෙන
විදුලි එළි මැද
වෙසක් සඳ
නිහඬවම ගගනත
(පළිඟු කැට - 29)
උපේක්ෂා ඉමාලි මේ කෙටි කවිවලින් කරන්නේත් පාඨක සිත අරවාගේම කුතුහලයකින් පිරවීමකි. ඕ, අමුතුදේ මවා පෙන්වා අප වසඟ නොකරන්නීය. නානා විධ උපමා රූපක වර්ණ වලින් කඩ ඉරි තිත් බෝල පාටකර අප මවිත නොකරන්නීය. නිවෙන දැල්වෙන විදුලි බුබුලින් රටා මවන වෙසක් තොරණ දෙස බලාහිඳිනා ඇය සෙමෙන් නෙත් හරවා අහස මැද නොසැලී දිලෙන වෙසක් සඳවත අපේ නෙත් මායිමට හසුකරවන්නී ය.
මේ සරල කම තුල රැඳුණු ගැඹුර විඳින්නට නම් අපත් ඈ සමගම නැවතී බැලිය යුත්තෝ වෙමු.
උපේක්ෂාගේ ඒ මුල් කවි එකතුවේ පළිඟු කැට තුලින් පෙරී ආ දේදුනු සිතුවම් මුලින්ම මා කියවූයේ මුහුණු පොතේ ඇගේ සටහන් හරහා යි. එතැනට ගොඩවෙන හැම විටකම පාහේ අළුත් යමක් ලියා ඇද්දැයි හොයා පෙරලා කියවන සිරිතකට මගේ සිත යොමුවන්නට තරම් ඒ පබැඳුම් මිහිරි වූයේ ය.
උපේක්ෂාගේ රචනයන් තුල මා දකින මේ නිසලව නෙත් කොණින් යමක් පෙන්වීමේ ගුණය ඇගේ කෙටි කවිවලටම සීමා නොවෙයි. පේලි තුන හතරේ කෙටි කවියක් නුවූවත්, පහත සබඳියේ ඈ "අපේ තාත්තා" ගැන ලියන්නේ ද ඒ නිහඬ සංයමයෙන්ම යැයි මම හඟිමි.
https://lokuakuru.blogspot.ca/2017/04/blog-post_5.html
උපේක්ෂාගේ දෙවැනි පොත 'සුසුම් නාඳුනන අප දෙදෙන' වූයේ ඇයිදැයි ඇසූ විට ඕ ඒ නම් තැබිල්ලට පාදක වූ පද දෙකක කෙටි කවියක් ලියා එව්වා ය.
"මේකට මේ නම තිබ්බෙ ඇයි? පොතේ එන කවි පෙලක නමක් ද? කවිය එවනවා ද මට?"
"ඉන්න අයියෙ එවන්නම්"
සුසුම් දෙක තුනක දුර
නාඳුනන අප අතර
"මේ කවියෙන් තමයි නම හැදුනෙ. කාංචනයි නිලන්ත අයියයි තමා නම හැදුවෙ. නමත් කවියක් වගේ"
"ඔව්..."
මෙවැනි දේ විඳීමට වාසනාව තිබෙන්නටත් වාසනාවක් තිබිය යුතුයැයි මම සිතමි.
සුබ ගමන් උපේක්ෂා... ඔබේ ගමන ඇරඹී අවසන්. මේ දෙවෙනි පියවරයි.
niyamayi
ReplyDeleteකියෙව්වාට තුති. හැකියාවක් ඇත්නම් හෙට සුසුම් අඳුනාගන්නට යන්න.
ReplyDeleteඅගෙයි
ReplyDelete