මං හිතන්නේ වළගම්බා රජ්ජුරුවන්ගෙන් පස්සේ, මේ විදිහේ වික්‍රමයකින් ලෝක ඉතිහාසයේ සටහනක් තියනවා දකින්න, අපේ ජීවිත කාලවලදීම පුළුවන් වීම කොයි තරම් දෙයක් ද?
Thursday, November 17, 2022
අනාගැනීමේ අනාගැනීම... ජෙයෝග්‍රා ෆ්ලී....!
Saturday, September 17, 2022
සිල්ලර අරගල
පහත ලියවෙන්නේ, කළු හමක් ඇති, 'සිල්ලර' ජාතියකට අයත් වූ හේතුවෙන් සිය සංගීතමය හැකියාවන්හි ඵල නෙලාගැනීමේ අයිතිය අහිමි වූ, ඇමරිකානු ජාතික නීනා සිමෝන් නිදහස ගැන කිවූ වචන වලින් ආභාෂය ලැබ සෙනගාලි සම්භවයක් ඇති අනයිස් ගයන ගී පද ටික සිංහලට නගන්නට ගත් මගේ දුප්පත් වෑයමයි.
සිංහ ගර්ජනාවක් වගේ
ඔබට පෙන්වන්න මග
හඬ නගා කියන්නට
අද ඔබ ඔබේ හිත
දැනටමත් අහිමි වී ඇති දෙය
[Intro: Nina Simone]
Sunday, September 11, 2022
සමනලියන්ට ගල් ගැසීම.. - වසන්ත සිරි වටගොඩ
සුද්දා මෙහේ ඉන්නකලුයි ..ගිහිං සෑහෙන කාලයක් යනකලුයි, ලංකාවේ වැඩිම අරක්කු රේන්දය දිනා ගත්තේ සිංහල බෞද්ධ - කතෝලික කුල කාන්තාවන් ය.
බාර් අයිති කර ගත්තට, ඕනෑ තැනක ගිහිං හක්ක පයින්ඩ බීවට, බාර් වල වැඩ කරන එක හෝ අරක්කු විකිනීම/ මිල දී ගැනීම ගැහැනුන්ට තහනම් ය.
සුරා බදු ආඥා පනතේ 32 වගන්තියට අනුව විෂය භාර අමාත්‍යවරයාට කලින් කලට බලපවත්නා තත්වයන් සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධ නීති පැනවීමේ බලය ඇති අතර එකී නීති පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කල යුතු ය.
කෙසේ වුවද පනතේ 32 (1) වගන්තියට අනුව එකී නීති එදින සිට බල පැවැත්විය යුතු නමුත් දින 40 කට නොවැඩි කාලයක් ඇතුලත එකී නීති හෝ ඉන් යම් කොටසක් අවලංගු කිරීමේ බලය ද විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට කල හැක.
ඒ අනුව මංගල සමරවීර ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරි පත් කර සම්මත කර ගෙන 2017-12-11 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද සුරා බදු පනතට අනුව කාන්තාවන් ට මත් පැන් මිල දී ගැනීම , විකිනීම, හා බාර් වල සේවය කිරීම තහනම් කරමින් පනතේ 32 ( 3 ) සහ 32 ( 4 ) වගන්ති යටතේ පනවා තිබූ අවුරුදු සීයකට අධික ගතානුගතික සීමා කිරීම ඉවත් කරන ලද මුත් සාරධර්ම පිරි සමාජයක් ගොඩ නැගීම පිනිස උදේ රෑ කැප වෙලා ඉන්න ජනාධිපතිතුමාගේ උපදෙස් මත නැවත අංක 03/2018 සහ අංක 04/2018 දරන අති විශේෂ ගැසට් පත්‍ර මගින් උක්ත ගැසට් නිවේදනය බල රහිත කිරීමට මංගල සමරවීර ඇමතිවරයාටම සිදු විය.
පනතේ 32 ( 3 ) වගන්තිය.
බලපත් හිමියකු විසින් ඔහුගේ වෙලදාමට සහාය ලබා ගැනීම සදහා රැකියාවේ යොදා ගන්නා කුමන හෝ තරාතිරමක පුද්ගලයින් කොටසක් තහනම් කිරීම.
පනතේ 32 (4) වගන්තිය.
සුරා බද්දට යටත් කිනම් හෝ භාන්ඩයක් විකිනිය යුතු හෝ නොවිකිනිය යුතු පුද්ගලයින් නම් කිරීම.
සදහා විෂය භාර ඇමතිවරයාට බලතල ඇත.
..........................................................................................
විෂය භාර අමාත්‍යවරයා විසින්ම නිකුත් කල ප්‍රගතිශීලී පනතක් ඊනියා සදාචාරවාදීන් විසින් අර
පොලොන්නරුවේ ග්‍රාමසේවක ඉස්සරහාට දාලා යටපත් කර දැම්මේ එලෙසින් ය.
අවුරුදු දෙදාස් පන්සීයක උරුමයක් කර තියං එන මේ අම්බරුවන්ගෙන් එයිට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.!
.......................................................................................................
දැං සමනලී පොන්සේකා ඇතුලු බේබදු පිරිසක් මේ අලුගුත්තේරු පනත අභියෝගයට ලක් කරමින් නඩු පවරා ඇති අතර හතර පෝයට පෙහෙවස් සමාදන් වෙන හීනෙන්වත් වෙන අනං මනං නොපෙනෙන..රහසිංවත් පවු නොකරන සෙට් එකක් තමංගේ කන්‍යා පටලය නොබිදී ඇති බවට වෙද්‍ය වාර්තා ද, තමංගේ සුවාමි පුරුරුෂයා එක්ක මිස වෙන එකෙක් එක්ක හැමනුන් නෑයි කියන ග්‍රාම සේවක වාර්තා ද, අපේ මනුස්සයා බීවත් අපිනං ඔය වේසියෝ වගේ අරක්කු ටිකක් කටේවත් තියන් නෑ .. කියලා පන්සලේ හාදුරුවන්ගෙං ගත් වාර්තා ද අතැතිව සමනලීලාට විරුද්ධව යුධ ප්‍රකාශ කර තිබේ.
..........................................................................................................
අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ( 2) වගන්තිය.
කිසිම පුර වැසියකු වර්ගය,ආගම,භාෂාවකුලය, ස්ත්‍රී පුරුෂභාවය ...මත හෝ ඉන් කවර හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුත්තේ ය.
ලොකුවට ඕම කීවාට ඔලුව කහ කහා සමාව අයදින දීන නිවට හිගන්නෙක් වගේ ඒ වගන්තියටම මේම එකකුත් එකතු කරලා තියෙනවා..
අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ( 4 ) වගන්තිය.
කාන්තාවන්ගේ හෝ ලමයින්ගේ හෝ අබල දුබල තැනැත්තන් සම්බන්ධයෙන් විශේෂ විධි විධාන සැලැස්වීම මේ ව්‍යවස්ථාවෙක් කිසිසේත් අවහිර නොවන්නේ ය.
අර කවුද වයිට් රම් වගේ තියෙන එක්කෙනෙක් ඇවිදිං මයෙං ගේම ඉල්ලුවේ මේ වගන්තිය හරහා ගියොත් වැඩේ ගොඩ යන්ඩ පුලුවං වගේ ...
ඒක හරි යන් නෑ..
මොක ද මංගලගේ ගැසට් එකෙං කරන්නේ විශේෂ විධි විධාන සැලැස්වීමක් නෙවෙයි.. තිබුනු විශේෂ විධි විධාන ඉල්ලා අස් කර ගැනීමක් විතරයි..
හැබැයි ජනාධිපති මැදිහත් වෙලා ඒකත් හාපු නිසා දැං ඒම පනතක් හෝ විශේෂ විධි විධානයක් නෑ..
.................................................
අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ( 7) වගන්තිය.
12 ව්‍යවස්ථාවෙන්ද ...පිලි ගෙන ඇති මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක විය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද,රටේ යහ පැවැත්ම ද, තහවුරු කිරීම පිනිසත් ,මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිනිසත්..... නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම් වලට යටත්ව ය.
.......................................................................
01. සමනලී ඇතුලු සියලු දෙනා පවරා ඇති නඩුවේ විරුද්ධ පාර්ශවය විසින් එල්ල කරනු ලැබිය හැකි ප්‍රබලම විත්ති වාචකය ඉහත 15 ( 7 ) වගන්තිය වනු ඇත.
ලංකාවේම එක්තරා පන්තියක පිරිසක් රාත්‍රී සමාජශාලා වල ටැග් ගැහෙමින් එලි වෙනකල් බොනවනං...තවත් පිරිසක් ජීවත් වෙන්ඩ විදියක් නැතුව ගං වල කැලෑ මැද කසිප්පු පෙරමින් නොයෙක් අතවරයන්ට ලක් වෙමින් ජීවිත ගෙවනවනං මේක ලංකාවේ සදාචාරයට බලපාන්නේ කෙසේදැයි සහ ලංකාවේ ඔය කියන සදාචාරය මොකක් දැයි ප්‍රශ්න කිරීම සමනලීගේ පාර්ශ්වයෙන් එල්ල කල යුතු ප්‍රති තර්කය වන්නේ ය.
02. කාන්තාවන්ට බාර් වල වැඩ කරන්ඩ බැරි සහ මත් පැන් මිලදී ගන්ඩ බැරි නීතිය ලංකාවට ඇවිත් තියෙන්නේ එක්දාස් අටසිය ගනං වල දී ය.. ඒ කියන්නේ කාන්තාවන් සම්බන්ධ ඒ මූලික අයිතිවාසිකම කඩ වී දැනට අවුරුදු 200 ත් පැනලා ය.ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 ( 2) වගන්තිය ප්‍රකාරව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරි පත් කල යුතු වන්නේ අවම වශයෙන් තම අයිතිවාසිකම කඩ වීමෙන් මාසයක්වත් ඉක්ම යාමට මත්තෙන් ය.
ඒ හින්දා ඒක හරි යන්නේත් නැත.
03.මොනවා වුනත් මංගල සමරවීර ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව 2017-12-11 දරන ගැසට් නිවේදනය නිකුත් කලේ ය..එය ද නීතියක් ය. ඒ නීතිය මගින් ලබා දුන් අයිතිවාසිකම හිතුවක්කාරි ලෙස නැවත උදුරා ගත නොහැකි බව ත්, එසේ උදුරා ගතහොත් තම මූලික අයිතිවාසිකම් කඩ වෙන බවටත් පෙත්සම්කරුවන් විසින් ඔප්පු කල යුත අතර ශ්‍රේෂ්ඨාධිකරනය මෙම තර්කය කෙසේ පිලි ගනු ඇත්දැයි යන්න මට පූර්ව නිගමනය කල නොහැක.
04.ඔය මොන තර්ක ගෙනාවත් පාර්ලිමේන්තුවට අලුත් නීතියක් ගෙන ආ යුතු යැයි නියෝග කිරීමේ බලයක් ශ්‍රෙෂ්ඨාධිකරනයට නොමැත.
අන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වෙනි පරිච්ඡේදයට අනුව රාජ්‍ය ප්‍රතිපත්ති හා මූල ධර්ම මෙහෙයවීම පිලිබද පූර්ව නියාමනයක් ඇත.
ඒ අනුව එහි 27 (2) ( ඈ) වගන්තියට අනුව සියලු තැනැත්තන්ගේ මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරා දීම සදහා පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අමාත්‍ය මන්ඩලය විසින් මූලිලිකත්වය දී ගරු කොට ගෙන නීති පැනවිය යුතු ය...
එනමුත් එසේය කියා අර අර නීතිය පැනවිය යුතුයැයි කියා පාර්ලිමේන්තුවට හෝ විධායකයට බලපෑම් කිරීමේ අයිතිය ශ්‍රෙෂ්ඨාධිකරනයට නැත.
ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය..
මේ පරිඡ්ඡේදයේ විධි විධාන හේතු කොට ගෙන නීතියෙන් කිසිම අයිතිවාසිකමක් නොපැවරෙන්නේ ය.නීතියෙන් කිසිම බැදීමක් ඇති නොවන්නේ ය.තවද මේ පරිච්ඡේදය යටතේ යටතේ වන විධි විධාන අධිකරනයක් හෝ විනිශ්චය අදිකාරයක් මගින් ක්‍රියාත්මක කරවා ගත නොහැක්කේ ය..
..................................................................
බේබද්දියංගේ නඩුවේ තීන්දුව දුන්න දවසේ අපිට කතා කරපල්ලකෝ කියා මොකෙක් ද එකෙක් අපෙං ගේම ඉල්ලා තිබුනි. අපි දුර්වල නොවුනත් අප මේ මොහොතේ පෙනී සිටින්නේ බලහත්කාරයෙන් දුර්වල කරන්නට හදන මේ මනුස්ස වර්ගයා වෙනුවෙන් ය..
අපි දුර්වලයාගේ පැත්ත ගන්න විට ඔබට ප්‍රභලයාගේ පැත්ත ගෙන අහසේ කරනම් ගැසීම අපි තහනම් කර නැත.
ඉස් මුදුනේ සිට පය පාමුලට යනකල් ඊයම් බරුවං එල්ලගෙන අමාරුවෙං මේ මහ පොලවේ ඇවිද යන ඔබට නිදහසේ පියාඹන සමනලියකට ගල් ගැසීම අමාරු නැත.
ඒ වුනාට මහ පොලවේව්වත් හරියට පා තියා ඇවිදින්නට බැරි ඔබට හිස් අහසේ සමනලියක සේ ඉගිල යන එකනං කවදාවත් කරන්නට බැරිය.
වසන්ත සිරි වටගොඩ ලියූ මුහුණු පොත් සටහනකි.
https://www.facebook.com/watagoda/posts/1609081489182485
Saturday, September 3, 2022
බටර් බෝංචි සහ මුරුංගා බෝංචි.....!
අටවෙනියෙන් නවවෙනියට සමත් වීම කොහොමත් කඩයිමකි. ඒ කාලේ නවය හා දහය වනාහී, අ.පො.ස. සාමාන්‍ය පෙල පංති විය. අට වදින තුරු එකටම එකම පංතියක හිටිය කට්ටිය කලා, වාණිජ, විද්‍යා, පෙට්ටිවලට අහුරන්නේ අටෙන් නවයට යද්දීය. දැන් කාලේ සුළු සුළු වෙනස්කම් වෙතත්, ඔය සිස්ටම් එක අඩු වැඩි වශයෙන් තාම තියේයැයි සිතමි.
එක්දාස් නවසිය හැට නවයේ දී අටවෙනියෙන් නව වෙනියට යාමට බලාන ඉද්දී, ඒ කියන්නේ වාර විභාග ලියලා ලකුණු කියන කාලය වෙනතුරු පොරොත්තු වෙද්දී, මගේ හිතිවලි වලින් හොඳටම මතක තියෙන්නේ, විද්‍යා පංතියට නොතේරුනොත් කලා පංතියට යනවාමය කියා හිතා හිටි හිතිවිල්ලය. මොනවා ඉගෙනගෙන ලොකු මහත්වී මොකෙක් වෙනවාද කියා අබමල් රේණුවක අදහසක් කවමදාකවත් හිතේ නොතිබුනත්, අධ්‍යාපනය පැත්තෙන් ආසාම දේවල් හැටියට ඒ කාලේ හිතේ තිබුණේ, අමුතු අළුත්, නවීන විද්‍යාවය හැඳින්නූ දේවල් ගැන ඉගෙන ගන්න එකත් පුස්තකාලයේත්, සිංහල පොතේත්, පොත් පත්තර හැටියට හෝ, සීනි පිටි ඔතාන එන ගොටු හැටියට හෝ, ගෙදරට එන අච්චු අකුරු ඇති කඩදාසි වල හැංගුණු කවි කතාන්දර රචනා කියවීමත්ය. ඔයිනුත්, හයේ හතේ හිඳම, සිංහල රචනා ක්ෂේත්‍රයේ යම් නමක් දිනාන ඉඳීම නිසා යම් විදිහක ලියන්නෙක් යැයි හිතා හිටි මට, කොමර්ස්ය කියූ වාණිජ ධාරාවට යාම හා එමගින් සල්ලි අතපත ගාන මුදලාලියෙක් වීමට පුරුදු පුහුණු වීම, අප්‍රිය දෙයක් ලෙස පෙණුනි. වාණිජ පැත්තේ විෂයයකට යම් ආසාවක් තිබුණා නම්, ඒ ලඝුලේඛන යතුරු ලියන වලට පමණි. ඒකත් ලියන දේවල් අච්චු අකුරින් මුද්‍රණය කිරීමේ ආසාවමය.
අන්තිමේ, තේරීම ආයේ නවය විද්‍යා A පංතියටය. හයවෙනියේ සිට එක බංකුවේ සිටි නිරන්ජනුත් මමත් ජෝශප් වාස් විද්‍යාලයේ උඩ තට්ටුවේ පඩිපෙලින් එහා පැත්තේ ඇති එකම එක පංතිකාමරයේ වාඩි වුනේත් එක බංකුවේමය. පඩිපෙල උඩ තට්ටුවට යාවෙන තැන, පීරියඩ් වෙන් කරන්නට ගුණරත්න ගහන බෙල් එක එල්ලූ කණුවට එහා පැත්තේ තියන මේ පංති කාමරයට එපිටින් තිබුණේ බ්රදර්ස්ලාගේ ක්වාටස්ය.
අපේ හැත්තෑව ඇරඹුණේ ඒ පංති කාමරයේය. විද්‍යාව උගන්වන්නට පැමිණි, පුටුවේම වාඩි වී, උඩුකය කරකවා කළු ලෑල්ලේ ලියන ෆ්රැන්සිස් ජෝශප් සර්, කොටන් ගහේ කතන්දරය රඟ දක්වා පෙන්නූ, සිංහල පාඩමට ආ, බ්‍රදර් සයිමන්, ගණන් කාරයා වූ සිම්ප්ලීසියස් සර්, ජීව විද්‍යාව උගන්නන්නට ආ, ජයමහ මිස් ආදීනුුුත් සමග ය.
එකදාස් නවසිය හැත්තෑවේ අවුරුද්ද, රටේ එතෙක් සිදුවූ ලොකුම දේශපාලන විපර්යාසය වූ, සිරිමාවෝ, ඇන්. ඇම්., කෙනමන්, සංධානයේ තුන්හවුල, ඒ වෙද්දී, ඉස් ඉස්සෙල්ලාම, අවුරුදු පහේ ආණ්ඩු කාලය සපිරූ, ඩඩ්ලිගේ එජාප ප්‍රමුුඛ හත් හවුල් ආණ්ඩුව ගෙදර යවා, මැති සබයේ තුනෙන් දෙකක බලය ඇල්ලීම සිද්ධ වූ අවුරුද්ද ය. ඒක හැත්තෑ හතේ දී, ජාතික කියන වචනයෙන් ප්‍රතිස්ථාපනය වූ ජනතා යෙදුම කරලියට ආ අවුරුද්ද ය. නිදහස් ලාංකීය ඉතිහාසයේ පළමුවරට, ප්‍රධාන වාමාංශික දේශපාලන ධාරාවන් ද්වයම, ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන්ගත් අවුරුද්ද ය. මැතිණිය, තම සැමියා නොමරා මැරූ, ඇන්. ඇම්. පෙරේරාට, තම ඇමති මණ්ඩලයේ මුදල් ඇමති කම දුන් අවුරුද්ද ය.
එවන් ජනතාවාදී විපර්යාසයන් වූ අවුරුද්දක අග භාගයේ, අපේ ඉස්කෝලේ ද ඒ හා සමානම විපර්යාසයක් සිදුවෙමින් තිබුණි. ඒ වැඩේ මල්ඵල ගැන්වුනේ, මීට පෙර අතීත සටහනක, මේ සටහන් ජාලයේම ලියා ඇති පරිද්දෙන්, හැත්තෑ එකේ ආරම්භයේ දීම, අපේ ඉස්කෝලය වූ වෙන්නප්පුවේ ශාන්ත ජෝශප් වාස් විදුහල, උපැවදි වීමෙනි. එනම්, එතෙක් මාරිස්ට් නිකායේ සහෝදරවරුන් හෙබවූ, ඉස්කෝලේ විදුහල්පති තනතුරට, ගිහියෙක් වූ පැන්ටලියන් කුරුකුලආරච්චි මයා ගේ ආගමනයෙනි.
ඔය කාලය වෙද්දී, විද්‍යා පංති සියල්ලේ එකතුවෙන් සැකසුණු ඉස්කෝලේ විද්‍යා සංගමය, අපේ ඉස්කෝලයටම පාහේ තිබුණු, ක්‍රියාකාරීම සංගමයක්ව තිබුණි. විද්‍යාවටත් ඔබ්බට ගිය මේ ක්‍රියාකාරීත්වය, එවකට දේශපාලන වශයෙනුත් ආන්දෝලනාත්මක කලා නිර්මාණ වූ, හොරණ විද්‍යාරත්නයෙන් පාසල් නාට්‍ය ලෙස බිහිවූ, චන්ද්‍රසේන දසනායකගේ, 'ආඬි ටිකයි අම්බලමයි' හා හේමසිරි ලියනගේ ගේ, 'සුදු ඇතා ආවට පස්සේ' වැනි නාට්‍ය වෙන්නප්පුවට ගෙනැවිත් රඟදක්වන්නට කටයුතු කරන්නට තරම් දියුණු වී තිබුණේ ය. ඔය කාලයේ නවය විද්‍යා පන්තියේ, විද්‍යා සංගම් නියෝජිතයා වීමේ වරමින්, මේ වැඩ කටයුතු වලට සම්මාදම් වන්නට, විශේෂයෙන්ම, නාට්‍ය දර්ශන වල ප්‍රවේශ පත්‍ර අලෙවියේ වගකීම් දරන්නට මටත් වාසනාව ලැබී තිබිණි.
පලාතේ ලොකු ඉස්කෝලයක් වුනත්, මහජන ප්‍රදර්ශනයකට නාට්‍යයක් පෙන්වන්නට තරම් වූ ශාලාවක් අපේ ඉස්කෝලේ තිබුණේ නැත. එවැනි දේ කෙරුනේ, පල්ලිය ලඟ සිංහල ඉස්කෝලේ වූ ශාන්ත ජෝශප් පිරිමි පාසල් ශාලාවේ ය. ආඬි ටිකයි අම්බලමයි මෙන්ම සුදු ඇතා ද ආවේ එතනට ය. සුදු ඇතා ගෙන්වූ කාලයේ, විද්‍යා සංගමයේ ලේඛම් වූ කළු ලිවේරා, ලඟ පාත නැති වෙලාවට අපි අපි අතර නම් හැඳින්වුනේ, කළු ඇතා කියලා ය. වැල්ල පාරේ, ලිවේරලාගේ ගෙදරට හැරෙන තැන පොල් ගස් දෙකක් හරහා, බැඳ තිබූ සුදු ඇතා ආවට පස්සේ බැනර් එක නාට්‍යය පෙන්වා කලක් යනතුරුත් එහෙමම තිබුණාත් මට මතක ය. දෙදාස් දහයේ දී අපේ අයියාගේ භූමදානය වෙලේ අන්තිමට හමුවූ ලිවේරා අද වෙද්දී අපෙන් සමුගෙන ගොසිනි.
කලා කාරයෙක් හා නාට්‍ය කාරයෙක් වූ, පැන්ටලියන් සර්, ශිෂ්‍ය ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සංගම්, ක්‍රීඩා ආදි කටයුතු, පොතේ පතේ අධ්‍යාපනය මෙන්ම ඉහලින් තබා ඇගයූ පුද්ගලයෙක් වූයේ ය. මේ වෙනස පාසල පුරාම යම් නැවුම් වෙනසකට තුඩු දුන්නේයි ආපහු හැරී බලද්දී අදටත් මම දකිමි. පාසලේ පොදු නීති රීතිවල වෙනස්කම් කරන්නට පෙර, සෑම පංතියකම පංති නායකයින් ගෙන්වා ඒ ගැන සාකච්ඡා කරන්නට සතියකට දෙකකට වරක් හමුවක් ඇරඹුණි. අපේ පංතියේ පංති නායකයා නොහොත් මොනිටර් වූ මාත් සහභාගි වූ මේ රැස්වීමට, විදුහල්පති තුමා, සපත්තු මේස් අනිවාර්ය කිරීමට යෝජනා කල හැටිත්, ශිෂ්‍ය නායකයින්ගේ ප්‍රති විරෝධී අදහස් දැක්වීම් මැද ඒ යෝජනාව අකුලාගත් හැටිත් අදටත් මතකය. අපි කවුරුත් පැළඳි බාටා ජෝඩුව ඒ නිසාම තවත් කලක් අපේ ඉස්කෝලේ නිල පාවහන් ලෙස පැවතුනේය.
මේ වෙනස්කම් මැද්දේ, අළුත් විදුහල්පතිතුමා පාසලේ විද්‍යා සංගමය අමතා දේශනයක් පැවැත්වීම, එතෙක් පැවති චර්යාවන් හා සසඳන විට, තවත් නැවුම් ක්‍රියාවක් විය. විද්‍යා සංගමයේ මහා සභා රැස්වීම් පැවැත්වුනේ, භෙෘතික විද්‍යාගාරයේය. දිග මේස අතරට, පංති කාමරවලින් පුටු ගෙනැවිත් තබා, විද්‍යා පංති හත අටේ සිසුන් සියළු දෙනාම හා ගුරුවරුන් සියළු දෙනාම වාගේ වාඩිවී, හිටගෙන, දොරවල් වලින් එබීගෙන ආදි වශයෙන් එක් රැස් කරන්නට මේ කාමරයේ ඉඩකඩ සෑහුණි. පහලම පංතිවල සිසුන් වීමේ වරමින්, ඉස්සරහම මේසයේ වාඩි වී සිටින්නට අපේ පංතියට අවස්ථාව ලැබුණු අතර, ඒ මේසයේ මැද්දෑවට වෙන්නට, මමත් නිරංජනුත්, ශාන්තිත්, ජයේත්, වාඩි වී සිටියෙමු.
අළුත් පාර්ලිමේන්තූවේ රාජාසන කතාව කරන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ආ දවසේ මෙන්, හමුදා මුරාචාර ආදිය නොතිබුණත්, තැනට ගැලපෙන උත්සව ශ්‍රීයක් එදා අපේ විද්‍යා සංගම් රැස්වීමේත් තිබුණු අතර, අළුත් ප්‍රින්සිපල් සර් ට එකඑල්ලේ වාඩිවී, මූණ බලා සිටින්නට වීමේ යම් ආකාර චකිතයකුත් අප හැම කෙනෙකුටම දැණුනාය කියාත් මතකය. ඒ එසේ වුනත්, මේ අළුත් පිනා ගැන යම් ආකාරයක කුතුහලයකුත්, ආපු දවසේම සිද්ධවූ සිඟාල සංග්‍රහය හින්දා දෝ, යම් පමණක 'ඩෝන්ට් කෙයා' ආකල්පයකුත් අපේ හිත්වල නොතිබුණාම නොවේ යැයි කියාත් හිතෙයි.
විද්‍යා සංගමයේ සභාපති ලේකම්ලා ගේත් සර්ලා, මිස්ලාගේත් ආලවට්ටම් හැඳින්වීම්, පිළිගැනීම් හා හඳුන්වා දීම් වලින් පස්සේ, දවසේ උධෘතංකය වු, පැන්ටලියන් සර් ගේ කතාව ආරම්භ විය. එදා එතුමාගේ කතාවේ හරය වූයේ, පාසලක විද්‍යා ශිෂ්‍යයින්, ගුරුවරුන් හට වුව ද, යම් තරමකින්, විද්‍යාත්මක පර්යේෂණ වල යෙදීමේ හැකියාවත්, එමගින්, පොත පතේ න්‍යාය ධර්මයන් හැදෑරීමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික මෙන්ම ඵලදායි හා බොහෝවිට නවමු සොයාගැනීම් කරා වුව යොමුවෙන්නට තරම් සාර්ථක විය හැකි අධ්‍යයනයන් කිරිමේ අවස්ථාවත් තිබෙන බවය. මේ තර්කය ගොඩ නගන්නට පාදක කර ගනු ලැබුුුයේ, එතුමා ඉහතින් විදුහල්පති ධූරය හෙබ වූ පාසලක විද්‍යා ගුරුවරියක්, සිසුන් හා එක්ව කරනු ලැබූ එවැනි පර්යේෂණ දාමයක ක්‍රියාකාරකම් හා ප්‍රතිඵල විය. මේ පාසැල කිසියම් උඩරට ප්‍රදේශයක පාසලක් වූ අතර, එම පර්යේෂණය පලාතට වැදගත් වූ බෝගයක් යැයි සිතිය හැකි, බෝංචි සම්බන්ධව කෙරුනක් බව ද සඳහන් විය. එකම ගැටළුව වූයේ කහපාට බෝංචිවල ප්‍රචලිත නාමය 'බටර් බෝංචි' බව විදුහල්පති තුමාගේ මතකයේ පැහැදිලිව සටහන් වී තිබුණත්, කොළපාට බෝංචි වර්ගයේ, ප්‍රචලිත නාමය නම්, දෙතුන් වරක් උත්සාහ කලත් මතකයට නගා ගැනීමට නොහැකි වීම යි.
එවැනි ප්‍රශ්නවලට උත්තර දැනගෙන හිටියත් මැදින් පැන අත්වැල් ගායනය අපේ ඉස්කෝල වල ඒ දවස්වල පැවති චර්යා ධර්ම පද්ධතියට තරම් නොවන දෙයක් බැවින් ද, එයිටත් වඩා එහෙම ඉලිප්පීම, නවයේ දහයේ සොක්කන් වූ අපට නම් තරම් නොවනම දෙයක් වූ බැවින් ද, ලඟ සිටි නිරංජන්ගේ කනට කර 'මුරුංගා බෝංචි' කියනවාට වඩා ක්‍රියාවක් කරන්නට මට පුළුවන් වූයේ ද නැත. නොදැනම හිටියා ද මන් දා, නැත්නම්, වැඩ පෙන්නන්න ගොස් වච්චල් වෙන්නට බයේ ද මන් දා, එදා ගුරු මේසයේ එහා පැත්තේ, ප්‍රින්සිපල් සර් දෙපැත්තේ වාඩි වී සිටි, අපේ විද්‍යා සර්ලා මිස්ලා ටත් මුරුංගා බෝංචි නාමය පසක් වූයේ ද, නැත.
පැන්ටලියන් සර්ගේ වේවැලේ සුමට ස්පර්ශය මා පසක් කෙරුවේ ඔයි රැස්වීමෙන් දවස් කීපයකට පස්සේ ය. ඉස්කෝලේ උඩ තට්ටුවේ අපේ පංතියේ සිට, පහල තට්ටුවේ විද්‍යාගාරයට යන්නට, දෙන්න දෙන්නා පෝලිමට හැදී, පඩිපෙල බහින අපේ පංතියේ කොල්ලන්ගේ සතුටු සාමිචි කතා බහේ, සංඛ්‍යාත පරාසය, සාමාන්‍ය මිනිස් ශ්‍රව්‍ය පථයෙන් ඔබ්බට විහිදීමේ ප්‍රතිඵලය වූයේ, පඩිපෙල පාමුල එහා කාමරයේ කාර්යාලය පවත්වාගෙන ගිය විදුහල්පති තුමාව නිරායාසයෙන්ම, ඉස්තෝප්පුවට ලඟා කර වීමය. නිකම්ම අත්දෙක වන වනා ගමන්යෑම, තරම් නොවූ බැවින්, එයා ආවේ, වේවැලත් වඩම්මවා ගෙනමය.
එසේ සැදී පැහැදී සිටියත්, මෙවැනි අවස්ථාවල නිරනුමානයෙන්ම සිද්ධවනාකාරයට, ආයුධ සන්නද්දවූ එවන් අයෝමය පුරුෂකායක් යාන්තමට නෙත ගැටුනු වහාම, අපේ කොල්ලන්ගේ සියළු එෆ්. එම්. නාලිකා වල විදුලිය කප්පාදු වීම හේතුවෙන්, වාචාල කමට කටමැත දොඩව දොඩවා පඩිපෙල බැස්ස එකදු කොල්ලෙක්වත් අල්ලා ගන්නට එතුමාට අවස්ථාවක් ලැබුනේ නම් නැත.
මූණ විතරක් පෙන්නා පසුබැසීම නුපුරුදු දෙයක් වූ නිසාදෝ මන්දා, කොලු පේලිය ඉස්තෝප්පුවේ නැවැත්වූ විදුහල්පති තුමා, පංති නායකයාට ඉස්සරහට එන්නැයි අණ කල අතර, අළුත් පංතියේ මොනිටර් විදිහට, ඒ ආරාධනය පිළිගෙන, ඉදිරියට පැමිණ, "මේ තරම් සියුමැලි ද වේවැල්..." පාඩම ඉගෙන ගන්නට සිදුවුනේ පංතියේ සියළු දෙනාම පේලියට ගිය පසු, පස්සෙන්ම ආ මටය.
පැන්ටලියන් සර්ගේ වේවැල් පාරවල් හතර පහ, මට දරාගන්නට බැරි වේදනාවක් නොවූ නමුත්, ඒ හැමේකක්ම, පන්තියේ කොල්ලන් බොහෝ දෙනෙකුගේ හිත් හරහා ද වැදුනු බව නම් හැමෝගේම මුහුණු වල සටහන් වී තිබුණා අදටත් මතකය. පසු වේලාවල පසුතැවිලි කතා කියූ බොහෝ දෙනෙකු අතරින්, කඳුළු පිරි දෙනෙතින්, "මං කිව්වා මුන්ට... මං කිව්වා මුන්ට... ඇහුවෙ නෑ නේ" කියූ පුල්ලේ ගේ මුහුණ කවදාවත් මට අමතක වන්නේ නැත.
ඉස්කෝලේ ඉස් ඉස්සෙල්ලාම පැන්ටලියන් සර්ගෙන් වේවැල් පාරක් ලද එකා මමයැයි සිතන එක චුට්ටං ආඩම්බරයක් නොවෙනවාම නොවෙන නමුත්, එයින් වැඩි කාලයක් යන්නට කලින්, දැනුම මිනුම තරඟ, සිංහල දින, ඉංග්‍රීසි දින තරඟාදියත්, සාමාන්‍ය පෙල ප්‍රතිඵලත් නිසා, එතුමාත් යම් තරමක ආඩම්බරයකින් කතා කරන ශිෂ්‍යයෙක් වෙන්නට පුළුවන් වීම ගැන නම් එයිටත් වඩා ආඩම්බරයක් හිතේ තිබෙයි.
ඔය සිදුවීම් වලින් පස්සේ දවසක, මොකක් හෝ කරුණකට විදුහල්පති කාර්යාලයට ගිය අවස්ථාවක, චුට්ටක් ඉන්නය කියා, කට්ටියෙන් වෙන්කරලා, "අර විද්‍යා සංගමේ රැස්වීම දවසේ, තමුසේ මගේ කතාව අස්සේ, ලඟ හිටපු ළමයාට 'මූ බොරු කියනවා' යි" කිව්වා නේ දැයි පැන්ටලියන් සර් ඇහූ අවස්ථාවේ "නෑ, එහෙම දෙයක් කිව්වේ නෑ" කියනවාට වඩා අගමුල ගලපා ගැනීමට මට නොහැකි වූ අතර, මේ විශ්ලේෂණයට මුරුංගා බෝංචි වල සම්බන්ධතාවය පසක් වුනේ, එයින් කාලයකට පසුව ය.
කවදාකම හෝ, සර් එක්ක කතාබහ කරන වෙලාවක, මේ කතාවල් කියන්නට හිතේ තියාගන හිටි නමුත්, කටයුතු සිද්ධ වූ හැටියෙන්, ඒකට කවමදාකවත් අවස්ථාවක් ලැබුණේ නම් නැත. ආයේ කිසිම දවසක ලැබෙන්නේත් නැත.
එදා විද්‍යා සංගමය අමතා, පැන්ටලියන් සර් කිවූ, බෝංචි කතාවෙන් යම් ධෛර්යයක් ලැබ, පොතේ පතෙන් බාහිර ක්‍රියාකාරකම් කිරීමට යොමුවූ විද්‍යා ගුරුවරුන් කිහිප දෙනෙක් ගැන මතක අතර, ඒ අංශයෙන් ඉදිරියටම ගිය, පොල් මීරා වලින් සුදු සීනි නිපදවන ක්‍රමවේදය නිර්මාණය කල 'සීනි මිස්' යැයි අපේ කොල්ලන් හැඳින්වූ මිස් තෙරෙස්ගේ නම නම් මෙතන ලියා තැබිය යුතුමය.
Tuesday, August 9, 2022
පනහට දහයයි.....!
එක්දාස් නවසිය හතලිස් නවයේ උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ, හැත්තෑ හතේ දී, තුන් හවුලේ හත් අවුරුදු ශාපය අවසන් කර ජේ. ආර්. ගේ ධර්මිෂ්ඨ යුගයේ උදාව සනිටුහන් කල මහා මැතිවරණයෙන් බියගම ආසනය ජයගෙන, අද ජනාධිපති කාර්යාලය බවට පත්ව තිබෙන, ගාලු මුවදොර කෙළවර, පරණ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ ය.
එදා එයා ගාලුමුවදොරට
ඇරලවන්නට කවුරු කවුරු ආවා ද වැනි විස්තර සහසුද්දෙන් නොදන්නා මුත්, එදා දවස එයාගේ
අම්මාටත් තාත්තාටත් සතුටු දවසක් වෙන්නට ඇතිය කියා නම් සිතාගන්නට පුළුවන. ඔයින්
ඇරඹුණු රනිල්ගේ මාමාගේ ධර්මිෂ්ඨ සමාජය, 1982 දී ජයවද්දන පුර කෝට්ටේ, අළුත් නිවහන
නොහොත් ජෙෆ්රි බාවා ගේ දියවන්නා දූපතේ මාළිගාවට සැපත් වන විට, රනිල් වික්‍රමසිංහ,
අපේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටියේ ය.
ඒ ගෙදර, අවුරුදු හතලිහක්, පනහට දහයක් වෙනතුරුම,
කොයි කොයි තනතුරුවල හෝ රැඳී, ලැගුම් ගෙන සිටි රනිල් ශ්‍රියාන්, කාටවත්ම එපා වූවායි කියන, අගමැතිකමක් ඉල්ලාගෙන, අද වෙද්දී, රටත් අතහැර පිටුවහල්වූ හත්වෙනියා ගේ පුරප්පාඩුව ඉහටත් උඩින් පුරවන්නට, ඉත සිතින් දායක වී, අපේ රටේ
අටවෙනි 'විධායක' ජනාධිපතිවරයා වී සිටී.
ඒ කතාව එසේ වෙද්දී, රනිල් පාර්ලිමේන්තු ගිය නවසිය
හැත්තෑ හතේ දී, තර්ස්ටන් පාරේ සල්ගහ අසලදී අම්මා තාත්තාට වැඳ නමස්කාර කර සමුදී,
කොළඹ සරසවියට ඇතුළු වූ, මානෙල් විද්‍යාරත්න, 1982 දී එනම් රනිල් දියවන්නාවේ
අළුත් ගෙදර ඉඳුල් කල අවුරුද්දේ අගෝස්තු නව වෙනි දා, කොළඹ තිඹිරිගස්යායේ, ශාන්ත තෙරේසා
දෙව්මැදුරේ දී, මගේ මනමාලිය වී, විවාහ දිවියට පිවිසෙන්නී ය. ඒ පිනින් මමත් මනමාලයකු වුණෙමි.
ඉතින් මගේ මේ ගෙවැදිල්ලටත්, අදට හතලිහකි. පනහට
දහයකි.
ආපහු හැරී බලද්දී, සතුටු හිතන්නට නොයෙක් ආකාර හා අපමණවත් දේවල් තියෙන
දවසක් වන අද දවසේ, අපිත් සෑහෙන අරගලයක් කරලා තියනවා නේ දැයි හිතෙන තරම් විස්තර
නිරායාසයෙන්ම හිතට පිරවෙයි. හිතෙන දේ ලියා අවුණන, මේ ජාල අඩවියේ, ඔය පරණ කයි කතන්දර වලින් සෑහෙන කොටසක් ලියවී තියෙන හින්දාම ආය ආයත් ලියන්නට උවමනාවක් නැති නමුත්, මේ පනහට දහයක් වෙන
දවසේත්, ලජ්ජා පාටට නමුත් දඟකාර විදිහට එදා මා ලඟ හිනැහුණු මානෙල් අදත් මට මා ලඟම
දකින්නට පුළුවන් බව නම් ලියා තැබිය යුත්තේම ය.
ඉතින් අම්මා, මේ හතලිස් අවුරුද්ද පුරාම, වැල් පාලම දිගේ පැටවුන් දෙන්නෙකුත් වඩාගෙන, මා ගැනත් ආදරයෙන් බලා කියා ගෙන, අපි තුන්දෙනාටම ගෲෂා වී, ඇවිද
ආවාට තුති. ඉතින් ඒ ගමන ඒ පරිස්සමින් ආ නිසාම, අද දවස අපට ආච්චි සීයා වී, කෙලි පොඩ්ඩියන් දෙන්නෙකුත් දෝතින් අල්ලාන තවත් දුර යන්නට හිතිවිලි පිරෙන දවසක් වී තිබෙයි.
හතලිහක්ය කියන්නේ, අත දරුවෙක් වැඩිහිටි වෙන්නට අවුරුදු විස්සකට කිට්ටු කාලයක් ගතවන්නේය හිතුවොත්, පරම්පරා දෙකකට සමකරන්නට පුළුවන් තරමට දිග කාලයක් යැයි සලකන්නට සිදුවෙයි. තරුණ කම පටන්ගන්නේ හැට පහෙන්ය හිතන අයට නම් එවැනි හිතිවිල්ලක් අභව්‍ය වුනත්, යථාර්ථය ඒකය. ඒ වගේ කාලයකට පස්සේ මෙහෙම හැරී බලද්දී, ඉස්ඉස්සෙල්ලාම හිතට නැගෙන්නේ එදා අපි ලඟින්ම හිටියත් අද දකින්නට නොහැකි අයය. මාතර ආත්තම්මාත්, සීයාත්, සිට අපේ තාත්තාත්, අම්මාත්, මානෙල්ගේ තාත්තාත්, ටෙරී මාමාත්, මාරි ඇන්ටීත්, ජයනි නංගීත්, අයියාත්, ගොතටුවේ ලොකු අම්මාත්, ලොකු තාත්තාත්, ලොකු නංගීත්, බැසිල් බාප්පාත්, ජෝන් බාප්පාත්, රියෙන්සි මාමාත්, නැන්දාත්, ආදි වශයෙන් දිග ලැයිස්තුවක් ඒ සඳහා වෙන්වී තිබේ. ඒ සියළු දෙනාගේ මුහුණු අදටත් මතකයේ මවා ගන්නට තරම් පැහැදිලිව සටහන්ව තිබෙයි.
ඒ සමගම ඇවිණිය යුතු තවත් මුහුණු තුනක් ගැන ලිවිය යුතුම යැයි සිතෙයි. එක්කෙනෙක්, එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ආර්. එස්. රාමක්‍රිෂ්ණා ය. දෙවැන්නා, තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ජෛවරසායන අංශයේ අධිපතිව සිටි ආචාර්ය ජී. රොබට්ස් ය. කසාද සහතිකයේ අපේ අස්සන් දෙක සහතික කලේ ඒ දෙන්නාය. එදා මංගල දිව්‍ය පූජාව තියා, අප දෙන්නාගේ විවාහය ලියා පදිංචි කලේ, එවකට වෙන්නප්පුවේ ශාන්ත ජෝශප් දෙව්මැදුරේ මීසම භාර පියතුමාව කටයුතු කල රෙක්ස් ඩයස් පියතුමා ය. කතෝලික පල්ලියක පියතුමන් ඉදිරිපිට අස්සන් කල නිසා, තෙරුවන් සරණයි කියා අස්සන් කරන්නට නම් උපදෙස් ලැබුණේ නැත.
එසේ මැකී ගිය මුහුණු වල අඩුව නොඅඩුව පුරවන්නට තරම්, අළුත් මුහුණු සිය දහස් ගණනක් අද අපේ ජීවිත වලට සමීපව සිටිති. එදා අප අසලම සිටි අයත්, ඒ අයගේ දූ දරුවනුත් වශයෙන් එකතු වන කට්ටියට අමතරව, එදා මෙදාතුර දැන හැඳිනුම්කම් හරහා මෙන්ම, දන්නා අඳුනන අයගේ දැන හැඳිනුම්කම් හරහාත් අපේ ජීවිත හා එකතු වූ පිරිස කොතරම් දැයි ගණන් කරන්නට වෙනමම පොතක් ලිවිය යුතු වෙයි.
මේ දේවල් මෙසේ සිතද්දී, අපේ වැල් පාලම වැටී තියෙන්නේ පතුල නොපෙනෙන ගැඹුරු හෙලක් මතින් යැයි මට නම් නොසිතෙයි. මේ ගමන මුළුල්ලේම, අත දිග හරියේ අත දිගු කරන්නට සැදී පැහැදී සිටියවුන් අනන්තවත් සිටියහ. අදත් සිටිති. හෙටත් ඉන්නා බව දනිමි.
ඉතින් අම්මා, මේ ගමන නම් තවම ඉවර නැත.
ඉවර වෙන එකකුත් නැතැයි සිතෙයි.
2022 අගෝස්තු 9 දා
Tuesday, August 2, 2022
විලක කඳුළු
සීත සුදු හිම සළුව යට
කඳු හිඳීති නිදි නැතිව
අහස මුදුනෙන් පහත් වී සඳ
සිඹින තුරු ආදරෙන් හිස් මුදුන
දියෙහි දියවූ කඳුළු
එකතු කල මහා ලුණු විල
වෙරළ අග තවරයි
කඳුළු වියැලී පිපුණු ලුණු කැට
-Salt Lake City, Utah (18-02-14)
Monday, July 25, 2022
තාරකා සම්පතී ගේ කෝපි රහට කවියක්...!
අප ජීවිතය හඟින්නේ හිඩැස් තුලයැයි පසක් නොකල හිතක් තියෙන්නට නොහැකියැයි මට
සිතෙයි. වටනේ ය, අනර්ඝය ය, හැමදාම මා අතම රැඳී තිබිය යුත්තේයැ යි, හිතට ගතට දැනුනා
වූ යමක්, මොහොතකට, එකම එක නිමේෂයකට, සිතිවිල්ලකින් හෝ ස්පර්ශ කරවූ ඇසිල්ලක දැනුනු
ආද්ලාහයෙන්, ආයාසයෙන් මෙන්ම බොහෝවිට අනායාසයෙනුත්, නැවත නැවතත් පිරවෙන නමුත්,
සදාකාලිකවම හිඩැස් සේ පවතින බොහෝ තැන් අපේ හිත්වල තිබේ. තරමක් සියුම්ව කල්පනා
කලහොත්, අතීතයය කියන්නේම, සිඳී වියලිව වාලුකාවක් වූ බිමක මනසින් මවාගනු ලබන සයුරක නැගෙන
දියරලම නොවේ ද? පසුකර ආ අතීතය හා සසඳන විට, ඉතිරිව ඇති අනාගතය සොච්චම් මඩ
කඩිත්තක්ව පෙනෙන වයසක සිටින මා වැන්නෙකුට මේ නිස්සාරත්වය වඩාත් තීව්‍රව දැනෙන්නේය
සිතමි.
"මහ ගෙදර පෑළ දොරින්
පිළිකන්නට බැහැපු
කෝපි බදින සුවඳ
අපේ මිදුලටත් ඇවිදින්
කොහොමත් තව ටිකකින්
අම්මා එනවා සිකුරුයි
කෝපි කුඩු මුලත් එක්ක
එක අතක කෙල්ල යි
අනික් අතේ කෝපි යි
කාව ද වඩා ගන්නේ
ඉස්සෙල්ලාම මම
එතකොට ?
හැමදාම හැන්දෑවට
කොහොඹ ගහ යට බංකුවේ
අපි කෝපි බොන කොට
පින් දෙනවා අම්මාට
කවදාහරි දවසක
ඔයාට කලියෙන්හ මම
අහසට ගිය දාට
තරුවක් වෙලා බලන්නම්
තනියම කෝපි බොන හැටි
ඒත් ඒ දවසට
පින්න හරි වැඩි වේවි
බංකුවෙ ඉන්නෙපා
හාන්සි පුටුවට යන්න
“කෝපි රහට කවියක්” - තාරකා සම්පතී අබේසේකර (2021).
ISBN
978-624-99039-0-6 කර්තෘ ප්‍රකාශනයකි
මුද්‍රණය: නුවණ ප්‍රින්ටර්ස්, ලංසිගම, කටුනේරිය 032 20 56 888]
කෝපි කුඩු මුලත් කෙල්ලත් එක්කම ඈ බදා වඩා ගන්නා ඇගේ අම්මා, අපේ මහම්මාගේ ලේලියය. ලලි අයියාගේ බිරිඳය. ඒ අම්මා එක අතක වඩා ඉන්නා කෙල්ල, මා මවාගන්නා තරමින්, තාරකාගේ මල්ලීගේ සිඟිත්තිය ය. තාරකාගේ කවිය තුල හමුවන, මේ මුහුණුත්, කොහොඹ ගහ යට බංකුවත්, කෝපි සුවඳත්, රසයත්, එකතු කෙරෙන්නේ සත්‍යය වූ අත්දැකීම් සමුදායක සටහන්ම මුත්, මොහොතක් නැවතී බැළුවොත්, මේ වචන පසුපස පෙලගැසෙන රූපක පෙල හිතට කියන, ‘පේලි අතර කතාවේ’ ගැඹුර ද ස්පර්ශ කල හැකිය.
රසයක් ය කියන්නේ විඳින්නා විසින්ම නිර්වචනය කරනු ලැබිය යුත්තක් වුව, කෝපි රස, පැණි රසක් නම් නොවන බවත්, ප්‍රණීතය කිව හැකි නමුත්, දෙතොල් අතරේ රැඳවෙන තිත්තක සේයාවක් බවත් නොපිළිගන්නට හේතුවක් මට මෙන්ම ඔබටත් සොයා ගත නොහැකි වනු ඇත. ඉදින් කෝපිවල රසය ඇත්තේ කෝපි වලම නොව, කෝපි රහ මතකයේම බව තාරකාගේ පද පෙල ආයෙ ආයේත් මතක් කරවයි. එහෙත් ඒ මතකය මතකයක්ම වන අනාගතයේ කහට රසයත් මේ කවි පෙල තුල ඉතිරි වී තිබේ.
මහ ගෙවල් කියන්නේ, බොහෝ විට සුවඳම පමණක් ඉතිරි කර පරවී වියැකී යන පුෂ්පයන්ය. එනමුදු, අප කාට වුව, ගෙදර යන්නට, අහම්බෙන් නාස් පුඩු අතර දැවටෙන සුවඳක්, මග තොටක දකිනා, ගහ කොළක, නිවසක, රුවක් පමණටත් වඩා සෑහෙයි. ඉතින් මේ කොහොඹ ගසත්, ඒ යට තනිවන බංකුවත්, කවදා හෝ දවසක අතීතයක් සනිටුහන් කරන කෝපි කුඩු මුලත්, මේ ගැහැණු පරපුරේ අනාගතය වන්, සිඟිත්තියත් අතර හිනැහෙන අම්මාගේ මුහුණ, අහසෙහි තාරකා අතරේ සිහිපත්වන අනාගතයක් ගැනත්, තාරකා අතින් අනායාසයෙන්ම සනිටුහන්වෙයි.
මේ සියල්ල පෙල ගැසී මසිතේ සටහන් කරන රූප පෙල කෙලවරේ, මහම්මාගේත්, මගේම අම්මාගේත් සිනා මුහුණුත්, මතකයට නගාගත හැකි කාලයක දැක නැතත්, අපේ ගෙදර බිත්තියේ එල්ලා තිබූ ඡායාරූපයක උදේ හවා දුටු, අම්මාගේත් මහම්මාගේත් අම්මාගේ මුහුණත්, ඒ මුහුණුවරම උරුම කරගත් මගේ ම නංගීගේ මුහුණත් මම දකිමි. විශ්වීය රටාවන්ය අප හඟින බොහෝ සිද්ධි දාමයන්, කොයි තරමක් නම් එකිනෙකට සම්බන්ධවන අවස්ථාවන් හා භෞතික සාධක තිබුණ ද, ඒ රටාවන්ගේ පැවැත්ම නම් අපේ සිත්වල උපන්නාවූ ද, යළි යළිත් උපදින්නාවූ ද, මතකයන්ම යැයි, මට සිතේ.
එවන් මතකයන්ගේ උරුමක්කාරකම මතම මේ සටහන මෙසේ ඇරඹුණත්, ඒ සියල්ල;
“මේ පද පේළි අතර
මා සොයන්නට වෙහෙස නොවන්න,
එහි හිඳින ඔබව ම සොයන්න.
දැන් වටපිට බලන්න, ඔබ අසල මා ද හිඳිමි” යි
තාරකා ඇගේ කවිපොතට ලියන පෙර සටහනමම නොවේ ද?
“හදවත මැදක පිපුණ ම සුදු වතුසුද්ද
නුඹෙ ඇස් දෙකෙන් ඉස්සෙම මල් පිනි වැස්ස
වනමල් වුණත් පිපුණම නොකරම සද්ද
උස අතුවලත් මල් හී සර පැටලෙද්ද?”
“හීන මහන්නෙමි තරු යට නිදි වරලා
මොනරු සොයන්නෙමි මැදියම කපු කැටලා
ගමේ සුළඟවත් කලකට නෑ විදලා
තැපැල් කරන්නෙමි දහඩිය මිටි බැඳලා
දියක හැඩය කඳු අතරින් ගැලුවාම
මලක සුවඳ එය නටුවේ රැඳුණාම
දුරක වුණත් මගෙ හීනය හැමදාම
සඳක එළිය දුර අහසක දිලුණාම”
එක් පසෙකින්, උස් අත්තක පිපි කැකුළක අයිතිය වෙනුවෙන් ලියැවුනු විරහ සිතිවිල්ලක්ය වර්ග කරන්නට පුළුවන් නමුත් ගීතමය ලතාවකට ඇවිණෙන මේ වචන මල් නටුවල රැඳී ඇති රෝස කටුවල රිදවිල්ල දැනෙනවා ද?
මා කුඩාවෙක් වූ සමයේ, අපේ ගම්වල අටවැන්නෙන් හෝ සාමාන්‍ය පෙලින් පසු අතරමංවන බොහෝ තරුණියන්ගේ රැකියාව වූයේ, බීඩි එතීමයි. එතෙක් රැජිනගේ අණසකට යටත්ව තිබූ, ‘සිලෝන්’ දූපත, ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට වෙනස් කරන්නට තරම් බලගතු ජනවරමක් සහිතව නවසිය හැත්තෑවේ බලයට පැමිණි, මැතිණියගේ ආන්ඩුව යටතේත්, කෙල්ලන්ට ගෙදර ඉඳන් කරන්නට පුළුවන් රැකියාවක් ලෙස ප්‍රවර්ධනය වූයේ බීඩි එතීමයි. හැත්තෑවේ ජනවරම හකුලා, හැත්තෑ හතේ උදාවූ ධර්මිෂ්ඨ යුගය, අපේ ගම්වල, රෑ පාන්දර වෙනතුරු කුප්පි ලාම්පු එළියෙන් බීඩි එතූ තරුණියන්ට පිරිනැමූ අළුත් හීනය වූයේ, කලාපයේ ගාමන්ට් එකය.
මවා පෙන්වූ හීනවල අතරමං වන්නට අපොරොන්දු වූ පරම්පරාවක අරගලය තුලින්, ජාතියේ පිනට උපන් දියසෙන් කුමරුන්ට, ඉරට හොරා මහ පාන්දර දේශයෙන් පලායන්නට සිදුවූ අද වන් යුගයක, හීනයක් යනු හීනයක්ම මිස සැබෑවක් නොවන මිරිඟුවක් බව සාක්ෂාත් වීමේ උත්ප්‍රාසය, ‘සඳක එළිය දුර අහසක දිලුණාම’ ය කියා තාරකා අවුණන අවසාන පදයේ අපූරුවට ගැබ්වී තිබේ. අපේ ජීවිත වල, මේ රටේ දේශපාලනික, ආර්ථික හා සමාජයීය රටාවන්ගෙන් බැහැර වූ පෞද්ගලිකත්වයක් නොමැති බවත්, ජීවිතයේ සෑම අවදියකම අපේ සිත් තුල නැගෙන අපේක්ෂාවන්, සාක්ෂාත් කරගැනීමේ වෑයමින් බොහෝ කොටසක් වැයවන්නේ, මේ ප්‍රවාහයන්ගේ ග්‍රහණයෙන් මිදී පිහිනා යාමට බවත්ය යන්නත්, තාරකාගේ කවිවල සෙවනැල්ල සේ සටහන් වෙයි.
ජීවිතය කෙඩෙත්තුයි
නගින ලෙසට ම ගිරිදඹ
ඒත් රතු මල් පිපෙයි
මුදුනටම නැග්ගම
හරිහමන් අත්වැලක්
ලැබුණාම හයියට
කෙටි වුණත් දිවි ගමන
සුන්දරයි එතකොට
සීතල ම පස් ගොඩක
ආදරේ වැළලුව
වෙලා පයිනස් ගහක්
බලාපන් ඈ දෙස.
[‘සොයුර’ - හතලිස් හයවැනි පැදිපෙල]
තාරකා සම්පතී, මට දියණියකි. සම්පතකි. ඇගේ නිර්මාණ මෙසේ පොතකට ගොනුව අතට ලැබීම, අප්‍රමාණවූ සතුටක් වූ බව ලියා තැබිය යුතුම ය. ජීවිතය සටහන් කර තැබීම, අප විසින් කළයුතුම දෙයකියි මම සිතමි. ඒ සිතිවිල්ල තාරකා දූ ගේ ලියවිලි තුල ද දකින්නට මම වාසනාවන්ත වී සිටිමි. ඉතින් මේ සටහන අවසන් කරන්නට කටුවාපිටියේ එක්තරා පුතෙක් කියා, තාරකා ලියා සටහන් කල සටහන ණයට ගනිමි.
කොපුල් තල සිඹින කල
වසමි මම ජනෙල් පෙළ
බලා සුදු පිච්ච වැල
තවත් හඬනෙමි සිතින්
සුරදුවක වී තොසින්
නැතිව ඇති නුඹ දුකින්
ජීවිතය ලඟ ඉතිං
මරණයත් ඇත ළඟින්
ඒත් නුඹ මැරුණෙ නෑ
මැරුව බව මම දනිම්
සෙනෙහසක් ලැබුණාට
මැකේවි ද නුඹෙ අඩුව
සුරලියනි හැමදාම
බලන් මගෙ අම්මාව”
[‘කටුවාපිටියේ
එක්තරා පුතෙකු කී කතාවක්’, 41 වන පැදිපෙල]



