Showing posts with label උපන්දින සටහන්. Show all posts
Showing posts with label උපන්දින සටහන්. Show all posts

Friday, January 5, 2018

වෙරලස (2018)




පොලා පනියි හිතිවිලි රැලි හිනාවෙන සුදු
බලා හිඳිමි වෙරලස හිඳ සුමුදු සුදු මුදු
සලා දියඹ කිති කවනා මාරුතේ රුදු
ගලා බිඳෙන දිය රැලි අග සිනා බිඳු රැඳූ

වසන්තයට පාර හොයන ලපැටි නිල් දළු
දිගන්තයක සැඟවෙනවා පිරුණු මේ කුළු
පියාඹන්න තටු මොකටද සිතකි සිත් කළු
කලා වැවට දිය දෙන්නෙත් වැහි වලා කුළු

සිලි සිලියක මද සුවඳක පාවෙනා අහස්
ගඟක තරඟ පොඩි මුතුකැට තාරකා දහස්
හීන් හඬින් කියන සිංදු ස්වර දස දහස්
වැලි කැටයක දිය බිඳුවක සැඟවෙනා රහස්

කතා නැතිව හීන ගෙනෙන රැයක මැදියමේ
ලතාවකට පිණි ඇවිණෙන සීත මීදුමේ
වතාවතකි දුරුතු හඳේ එළිය මායිමේ
දියත් ගොඩත් මුණ ගැහෙනා සයුරු කඩයිමේ

එදා මෙදා නොවෙනා මුත් මෙදා එදා වෙයි
සදා ළඟින් ඉන්නා අය සදා හරිත මයි‍
කොහේ කොහොම වුනත් හිතේ සුවඳ මල් පිපෙයි
එහේ මෙහේ කොහේ වුනත් ගලන ගඟ ගලයි

[ජනවාරි 5, 2018]

Continue Reading...

Thursday, January 5, 2017

හේමන්ත දං පොකුරු (2017)



රතෙන් රත් පෑ වූ
නෙතින් නෙත නෙක දෑ ලිවූ
හේමන්ත දං පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....

වසන්තය පුරාවට
අතු පතර සඟවාන
පිපුණු මල් පෙති රකින
හේමන්ත සීතලට
පත් හලන ඵල දරන

පත් නොමැති රිකිලි අග
රත් පොකුරු දිලෙන සඳ
උණු හිමෙන් වැසුණු බිම
සැඟව නිදි වසන්තය

මල් පිපුණි දැයි නොදැන
ඈත ගිය විහඟුනට
එන්න එන්නැයි කියා
දුරුත්තේ මොරගසන

විහඟ තුඩගක නොරැඳි
වස්සාන වැස්සට හැලෙන
රත් පෑය ඉගිල ගොස්
නිල් කළුව මැලව යන

ඒත් හිම මල් පැළඳ
රත් වනින් සිනා‍සෙන
අඳුරු හේමන්තයට
හාදු දෙන රත් අදර

හේමන්ත දං පොකුරු
හිම කතර තනි වූ
හිමෙන් හිස
මල් ඔටුණු රැඳවූ....

[ ජනවාරි 5, 2017]

Continue Reading...

Wednesday, January 6, 2016

වළලු (2016)


ජීවිතය ගලායන ෆ්ලෝයමය
මියැදෙමින් උපද්දන
කොරස් කටු පොත්ත හංගන 
බඳ බැඳුණු සලකුණුය
ගල්වු අරටුව වටා
ප්‍රාණ පිරි කැම්බියම
වසින් වස ලකුණු කළ

වසන්තය අකුරු කළ 
මුදු සෛල සෛලමය
ගිම්හානයේ අග 
සරත් කල ඝනව ගිය
අඳුරු රේඛා අතර
සුව සිහින සටහන්ය
ඉකුත් වූ ජීවිතය

අසෙනි සර වැස්ස යට
අහස් හිස සිසාරා
වලාකුළු තල්ලු කළ
අහඹු සුළි සුලං මැද
හිස නගා සිටි පවින්
දැදුරු වූ අරටුවය

මුලින් උදුරා වැටී
දැති කියත් දම්වැලෙන්
කඩින් කඩ කොටන් කර
කපා සීරූ රිදුම්
පිරිමදින්නට නැතිය
පතක් වත් ගිලිහ ගිය
කැපෙද්දී ඉහළ අතු...!

*ෆ්ලෝයමය (Phloem) - ගසක කඳේ පිට පොත්ත අැතුලතින් පිහිටා අැති අාහාර ප්‍රවාහනය කරන්නාවූ පටක
කැම්බියම (Cambium) - ෆ්ලෝයමයත් දැවමය සෙෙලමයත් අතර පිහිටි සෙෙල විභේදනය වී ගසෙහි වැඩීම සිදුවන තුනී පටක ස්ථරය
සෙෙලමය (Xylem) - කැම්බියම් සෙෙල විභේදනය වී සෑදෙන දැවමය කොටස. වාර්ෂික වළලු සටහන් වන්නේ මෙහිය. සෙෙලමයේ මධ්‍යම කොටස වඩාත් ඝනවී අරටුව සෑදේ.


2016 ජනවාරි 5

http://www.boondi.lk/article.php?ArtID=4875
Continue Reading...

Tuesday, January 6, 2015

අට ගැසීම (2015)

අඬන වැලි පාගමින්
තව තවත් හඬවනා
බයිසිකල් රෝද දෙක
නැවත නැවතත් ඇවිත්
එකම කතිරය ගසයි

කතිරයේ උඩ යටින්
අඩ හඳේ හැඩ ඇඳී
හීන් කොටු ඉරිවලින්
වැලි මිදුල පිරවිලා
මුලින් මුල අලවාපු
කඳුළු බිඳු දෙකක් මෙන්
අටේ ඉලක්කම ඇඳෙයි...

“අඩේ උඹ දැන් හුඟ සැරයක් ගියා...
ඊළඟට මගෙ වාරෙ...”

“තව දහපාරකින් දෙන්නං...
බයිසිකලේ මගෙ...”

ජනවාරි 5, 2015
Continue Reading...

Sunday, January 5, 2014

පනස් හත...!(2014)



කිරි පිරුණු පිඟානක් වලා කුළු මත නැගී
පාවයයි පාවයයි නොනැවතී නොම රැඳී
සයුරු රළ ලතාවට හිස සලා යයි ඇදී
දබරැඟිලි තුඩින් ඇඳ තෙමුණු වැලි තලාවේ
මා ලියූ අකුරු වැල් පිස දමා සිනාසී

කඳු හිසක ඇස් වැසුව දුහුල් මීදුම් පටල
සිඳ බින්ද සුළි සුළඟ මද නලක් වී ඇදෙයි
මකරන් ද අතින් ගෙන බඹරිඳු ට සිනාසී
ඉඟිමැරූ තඹුරු පෙති සසලවා විසුරුවා
විලේ නැගෙනා තරඟ අතර සඟවා රඳා

ගීතයකි ජීවිතය විලඹ ලයකින් ගැයෙන
සිහිනයක්මයි නමුත් සිතුවමක් වී රැ‍ඳෙන
තුරුල්ලෙහි හිස හොවා නෙත් පියා ගනිමි මම
උණුහුම්ය ආදරය ගලාවිත් හිත තෙමා
පියාපත් පළඳවා පියාසර කරවනා…!



5 ජනවාරි 2014



Continue Reading...

Sunday, January 6, 2013

කළු රෝස (2013)



ජීවිතය අත දරා

මා වටා කරකැවෙන
හිරු සඳු ද තරු බිඳු ද
කරකැවී තවත් වටයක්
නතරවී ඉසිඹුවක්
ආදරය පුරාගත්
අත් ඇඟිලි දිගුකර
කපොලු තල පිරිමදිති

සිසිරයේ සීත සුසුමට
ගල් ගැසී මිදුන දිය මත
නතරවනු නොහැකිව දුවන
අවපැහැව රත සිඳුණු
වියලි මේපල් කොළයක
මුතුවක්ව මිදුනු දිය බිඳක්
විසුරුවයි උදා හිරු රළ
දේදුනු වණින් පැහැකර

ඵලකයෙහි තැන තැන
අඳුරු පැල්ලම් බිඳුය
බොරපැහැය දිය බඳුන
තෙලි කූර පොඟවන
කහ ගැහුණු පත් මත
පාට නැති දිය උලා
අඳිමි මම අඳිමි මම
තෙත රඳා පෙති විදා
සිනාසෙන මල් පොකුරු
කළු රෝස සුවඳ ඇති...!

2013 ජනවාරි 5

http://www.boondi.lk/article.php?ArtID=3144
Continue Reading...

Saturday, January 1, 2011

ජනවාරි 5, 2011

 (35)


කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...

නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

හීන මානස පවුරු බැමි බිඳ
සත්‍යයයේ දිය බුබුළ පතුලත
ඉපිද විසිරෙන වදන් දිය බිඳු
රඳා දෙතොලත නැවුම් ගී සේ
සුසුදු පිරිපුන් මනුෂ්‍යත්වය
දෝත් විහිදා වැලඳගන්නා
මගේ නිවහල් දේශයයි

සම්ප්‍රදායේ කතර වැලිතල
නොසඟවන බුද්ධියේ සිහිලඹ
සිතැඟි සේ සිතුවිලිව පුබු දා
නැගි නැගී එන දිරිය දරුකැල
පෘථුල තැනිබිම සිසාරා
ජීවයේ සිසිලස පතුරුවන
මගේ නිවහල් දේශයයි

‍නෙත් යොමා මම සොයන්නේ
සිතිජ කෙලවර සිහිනයේ...

කැකුළු පෙති විහිදුවා පිබිදෙන
චින්තාව නිවහල්
සුවඳ විහිදන නැගී නොබියව
උදාරව නැණ පහන් සුදිලෙන
නිදහසේ තුඟු ස්වර්ගයයි...!
-.-

Where the mind is without fear and the head is held high;

Where knowledge is free;

Where the world has not been broken up into fragments by narrow domestic walls;

Where words come out from the depth of truth;

Where tireless striving stretches its arms towards perfection;

Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;

Where the mind is led forward by thee into ever-widening thought and action---
Into that heaven of freedom, my Father, let my country awake.
.
Continue Reading...

Blogroll

About