Showing posts with label අපිත් උන්නා. Show all posts
Showing posts with label අපිත් උන්නා. Show all posts

Sunday, January 12, 2020

අයියා සමග රැයක්...!

ජීවිතය ගෙවෙන්නාවූ දෙයකි. සූර්යයා වටේ බැමෙන පෘතුවිය ගමන් කරන්නාවූ වට රවුම් ගණනින් ජීවිතය මැ‍ණෙන අතර, ධනාත්මක ගණනයක් වූවත් ඒ ගැණෙන්නේ ක්ෂය වීමක්ය යන්න පසක් කරගන්නා තරමට මෝරා පදම්වීමට අපට යම් කාලයක් ගතවෙයි.

නවසිය හැටේදී පමණ බිරිඳත් පුතුන් දෙන්නාත් රැගෙන අළුතෙන් හැදූ නිවසේ පදිංචියට ගිය අපේ තාත්තා, අසූ අ‍ටේ දී ජීවිතය අවසන් කරන විට, අළුත් ගෙදර උපන් දෝණියන් දෙන්නාත්, ලේලියන් දෙන්නෙක් හා බෑනෙකුත්, මුනුපුරන් හතර‍ දෙනෙකුත් ඇතුළුව ඒ ගෙදරට ගෙදරය කියූ ගණන දහතුනක් වී තිබුණි. නවසිය අනූහත අවසන් වෙද්දී, අම්මාත් ලොකු නංගීත් දෙන්නාම අප අතැර ගොස් සිටි අතර, මේ ගෙවුනු දශකය ඇරඹි දෙදහස් ‍දහයේ ජනේරුවේ, ඒ පැත්තට එකතු වුනු අපේ අයියාගේ ‍වියෝවට අද වෙද්දී දසවසක් ගෙවෙයි.

අම්මාත්. තාත්තාත්. අයියාත්, මමත්, නංගිලා දෙන්නාත් වශයෙන් හය දෙනෙක් වූ පවුල දෙන්නෙකුට පහත හෙළු‍නු එදා අපේ අයියා අපේ ගෙදර සාලයේ නිදා හිටි අන්තිම දවස වූ‍යේය. අයියා එක්ක තනියට ඉන්නට එදා රෑ අට දහය වෙද්දී ඉතුරු වූයේ පොඩි නංගීත්, අයියාගේ ලොකු පුතාත්, එයාගේ මිත්‍රයෙකුත් මමත් පමණකි. එයිනුත් රෑ ‍එකොලහ දොලහ වෙද්දී, දවස තිස්සේම එහා මෙහා දුව පැන මහන්සි වී සිටි පුතාත්, යාළුවාත් දෙන්නාටම නින්ද ගොස් තිබූ අතර, දෙක විතර වෙනතුරු, සාලය පිල අතුගගා නොනිදා ඉන්නට තැතනු පොඩි නංගී සිටියේ නින්දත් නොනින්දත් අතරේය. දරුවන්ව දුව පැන ගහ මරාගත් ගෙදර, බොහෝ කාලයකට පසුව අයියාත් මමත් තනිවී සිටි මුත්, අප අතර කිසි කතා බහකට නම් ඉඩක් නොවීය.

එක ගෙදර එකට ඉස්කෝල‍ේ ගිය දරුවන් වූ අපි, පවුල් පන්සල් වී ගෙදරින් දුරස් වී ගොස්, වසර දෙදහස් ගණන් වෙද්දී, නාඳුනන්නන් තරමට ඈත් වී සිටියෙමු. මේ විරසක වීම් වලට බොහ‍ෝ හේතු කාරණා කිව හැකිව තිබුණු නමුදු, ඒ කිසිවක් වෙනස් කරන්නට නොහැකි තැනකට පැමිණ සිටි එදා, මට කලහැකිව තිබූ එකම දෙය, රැය පහන් වන තුරු අවදියෙන් සිටීම පමණක්ම වී තිබිණි.

ලොකු නංගී ලැබෙන්නට ඉඳිද්දී අම්මාගේ ඇවටිල්ලට හවස ඔරසම් කියද්දී, දණ ගසා නංගියෙක්  දෙන්නැයි කියා අප දෙන්නා ඔරසම් කියූ හරි‍ය‍ේ පුටු දෙකක දිගාවී අයියාගේ පුතාත්, ඔහුගේ යාළුවාත් නිදා සිටී.

ඉන් කාලයකට පසුව, මගේ ළමා ජීවිතයේ මා අගය කල එකම එක තෑග්ග වූ, ජෝන් බාප්පා ගෙනැවිත් දුන් මවුත් ඕගනය, අපේ අයියා මොකක් හෝ කෝන්තරයකට බිම දිග‍ේ රූටවා එවා හප්පා කීතු කීතු කල බිත්තිය ද එතැනම වෙයි.

අප දෙන්නා එකතු වී, නත්තලට ගවලෙන හැදුවේත් ඒ බිත්ති කණ්ඩිය උඩ ජනෙල් උළු ‍වස්සේය. ඒ කාලේ 'විම්' සබන් කුඩු අසුරා ආ, සිලින්ඩර පෙට්ටියේ මතුපිට ඊයම් කොලයේ හැඩ කපා, මෝටරයකට යා කර කැරකවෙන්නට සලසා හැදූ ෆ්ලෑෂරයට වයර් අවුණා, වල්ග තරුවේ විදුලි බුබුළු රවුමට දිගට නිවි නිවී දැල්වෙන්නට හැදුවේත්, රඹසෙවනෙන් කළු කොල ගෙනැවිත්, ඇත්තම ඇත්ත තණ පිඩෙලි ඇල්ලූ නිම්නයකට ඉහලින් ගල්ලෙනක් අඹවා, ගවහලක් මැවුවේත් එතනය.

තාත්තාග‍ේ පේර කෝටු පහරවල් කා, අප දෙන්නා දණ ගසා සිටි සුරුවම යට දැල්වෙන ඉටි පහන් දෙකක් මැද අයියා තනියෙන් වැතිර සිටී.



මද සුළඟට සෙලවෙන ගස් කොලන් හැරෙන්නට ගෙදරට එන පාරේවත්, අහල දෙවටේවත් පණැති කිසිවෙක් නැත. වැහි දවසට, ගුල් අතරින් ගෝනුස්සන් මතුවන හැටි බලා හුන් ගෙදර මහදොර පඩිය යට මිදුලපුරාවට අද සිමෙන්ති පලසක් අතුරා තිබේ. මහපාර අයිනේ අයියාට මොක් සුව පතා එල්ලා ඇති බැනර් සොලවන සුළඟ, වත්ත පුරා වැටී ඇති ඒවායේ විසල් සෙවනැලි ද සොලවයි. මගක් දුර පාර පැත්තට ගොස් නැවතුණු මම, ඉස්සරහ ජනේලය ලඟ තාත්තා බලා ඉන්නවා දැයි ආපසු හැරී බලමි. කිසිවෙක් නැත. මිදුලේ තබා ඇති හිස් පුටු හදිසියේ අවදිවී මා දෙස බලා සිටිති.



අප දෙන්නා අතර වයස් පරතරය වසර එකහමාරකට නොවැඩි වූව ද, අපේ පාසල් පංති අතර වෙනස වසරක් ව තිබිණි. වසරකට ඉහල පංතියක අක්කෙක් අයියෙක් හිටි හැමෝටම මෙන්ම, මටත් බොහ‍ෝවිට ලැබුණේ අයියාගේ පාඩම් පොත් ය. මේ කාරණයේ නරක පැත්ත මෙන්ම හොඳ පැත්තද ‍වූයේ, වසරකට පස්සේ ලැබිය යුතු පාඩම් පොත්, විශේෂයෙන්ම සිංහල පොත, අවුරුද්දක් පුරාම අත පත ගාන්නට අවස්ථාව ලැබීමයි. එසේ වුවත් ඒ අවස්ථාව ස්ථාන‍ෝචිත ප්‍රඥාව යොදවා කල් යල් බලා ලබා නොගැනීමේ අවාසනාව ද එයට ලැබෙන අච්චු කිරීම් ද විඳින්නට සිදුවෙයි.

ඒ ලපැටි සමයේ, මාස දෙක තුනකට සැරයක්, වත්ත පිටියේ කුණු දමන්නට තරමක වලක් කැප්පවෙන හැටිත්, සතියක් හමාරක්, ඒ විසල් වල‍ අප‍ේ නිවහන වන හැටිත් මට සිහිපත් වෙයි. රතට රතු පසේ අළුතෙන් කැපුණු වල ඇතුලත නැවුම් සුවඳක් තිබෙයි. අපේ නොවැසුනු උඩුකය, හවස ගෙදර එද්දී, රතුපසින් රතුවී තිබෙයි. ඒ  අයියාත් මමත් වත්ත කෙළවරට වෙන්නට කැපූ කුණු වල ඇතුලේ පොල්කටු අඟුරු ගිනිමැලයක් ද සහිත කම්ම‍ලේ යකඩ කම්බි රත්කර තලා ඉස්කුරුප්පු නියන් හදනාකාරය මට පෙනෙයි.

වසරක පරතරයක සිටියත්, ළමා කල ගෙවා තුරුණු විය වැළඳගන්නා උසස්පෙල සමයේ දී අප දෙන්නාම උගත්තේ එක පන්තියේ ය. බයිසිකලයේ ර‍ෝද වලට පෑගෙන වැලිකැට සිරි සිරි ගානා හඬත්, බයිසිකලය පදින අයියාග‍ේ හුස්ම වැටෙන හඬත් මට ඇසෙයි. යම් පමණක දුරස් වීමක් තිබුණ ද, එකම පන්තියේ එකම යාළුවන් සමග උගත් ඒ වසර දෙක එක්තරා අයුරකින්, අප දෙන්නා සමීපවම සිටි කාලයය කියාත් මට සිතෙයි.

කිසිම දවසක හරි විස්තරය හරියාකාර කියන්නට නොහැකි වූ, අයියා අයියාගේ පෙම්වතිය සමග හවස්යාමේ ඇගේ නෑ ගෙදරක හමුවන බව තාත්තාට ආරංචි වූ දා වූ සිද්ධිය කියන්නට ඕනෑයි සිතා සාලයට ගියත්, දැන් ඒ කතාබහට පරක්කු වැඩි බව මට හැඟ‍ේ. කෝපයෙන් ගෙදර ආ තාත්තා, අම්මාට බණින්නට පටන් ගත් සැටිත්, අම්මා මට කතා කර ගිහින් බලන්නැයි කිවූ සැටිත්, එදා නෑ ගෙදර මිදුලේ දී, තාත්තා පාරේ ඉන්නවායි කියා කැන්දාගෙන ආවත්, අම්මාටත් තාත්තාටත් කිව්වේ අයියාව පාරේදී හමුවුනාය කියා බවත් කියන්නට ආයේත් ඉතින් වෙලාවක් එන්නේ නැති බව මට මතක් වෙයි.

අපේ ජීවිත වල අප මුහුණ දෙන්නාවූ බොහ‍ෝ ප්‍රශ්න ගැටළු එකට එකතු කර වර්ග කලහොත් ඉතාමත් සරලව විග්‍රහ කල හැකි ගොඩවල් කීපයකට ගොඩ ගසන්නට පුළුවන් වේ යැයි මට සිතේ. ඒවාට සරිලන සාධාරණ හා තර්කානුකූල විසඳුම් ද එවැනිම සරල ගොඩවල් කිහිපයක එකතු කරන්නට පුළුවන් විය යුතුයැයි හඟිමි. ඒ එසේ වූවත්, කිසිම දෙදෙනෙක්, ඒ ‍එක් එක් ගොඩට එකම නමක් නොදෙනු ඇත. එකම විග්‍රහය හෝ එකම විසඳුම නොතෝරනු ඇත. බලාපොරොත්තු හා අප‍ේක්ෂාවන් අවසානයේ එකම ලක්ෂ්‍යයක් වෙත යොමු වූව ද, එතැනට යන්නට අපේ අපේම වූ ස්වාධීන මාර්ග හොයන්නේත්, ඒ නිසාම, තරඟයක් ඇතිකරගෙන රේස් දුවන්නට අප පෙළැඹෙන්නේත්, මේ නොදැක්ම නිසාමයැයි මට සිතෙයි.

යාන්තම් උදා ඉර මෝදු වී එද්දී, අවදිවූ පොඩි නංගී, මා වෙත එයි. එක්තරා අයුරකින්, අප දෙදෙනා තනිවී ඇතැයි හැඟුනත්, මගේ සිතට තනිකමක්වත් පාළුවක් වත් නොදැනෙයි. ඇයටත් එසේම යැයි මට ‍සිතේ.


Continue Reading...

Sunday, January 5, 2020

ජනවාරි පහ දෙදාස් විස්ස

අතේ මිටි කරන් ආ කිසි දෙයක් නැත
කෙතේ පීදෙනා ගොයමට හෙටක් නැත
නෙතේ උපදිනා කඳුලක හැඩක් නැත
හිතේ තරමටම ලොකුවුනු පතක් නැත
දියේ උපන් දිය නොරඳන නෙළුම් පත
ගියේ කොතැනකද නොදනිමි ලපැටි සිත
මියේ යලි යලිත් දළුලන සිතුම් කෙත
ලයේ හංගලා සුරකිමි මතක පොත
ඉරේ දැල්වෙනා ගින්දර ඉරු ගිනි සේමා
කැලේ ඇවිලෙනා ගින්දර ලැව් ගිනි සේමා
හදේ උපදිනා ගින්දර හද ගිනි සේමා
වෙස්සන්තරේ ගින්දර දරු දුක සේමා

ජනවාරි 5, 2020



Continue Reading...

Sunday, July 21, 2019

නීල් ආම්ස්ට්‍රෝන්ග් නොදන්නා හැත්තෑ නවයේ චන්ද්‍ර සංචාරය...!




අපේ යෞවනයේ ගායකයා වූයේ මිල්ටන්ය.
අපේ මිල්ටන් නම්, ජේ. ඒ ය. ජේ. ඒ. මිල්ටන් පෙරේරාය.
මිල්ටන්ගේ සිහින දෙව් දුවට පෙම් බැන්ද අපට වෙන කිසිවකුට ආදරය කරන්නට හිතන්නටවත් කාලයක් තිබුණේ නැත. ඇයගේ නාමය නම් ඉතින් ආදරයම විය.

ලපැති සඳත් කටු රැඳි මලුත් අතරින්, වන වදුලු, ගිරි කඳුරු, රුදු කතර පීරා හඹා ගොස් නලලත අත තබා ලෙයින් ලියා පවරා දිවි බඳුන පුද කරන්නා වූද, ඕ දෙපා අබියසම ගිනි නැතිව දැවී හළුවී ජීවිතයෙන් සමුගන්නා වූද, අමරණීය ප්‍රේම කළ්‍යාණියක් පිළිබඳව සිහින දකින්නට අපට ඉගැන්නුවේ කරු අයියාගේ පදමාලා වලට සිය හෘදයාංගම කටහඬ මුසු කල මිල්ටන් ය. 

සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ
එකම නමයි මා දන්නේ  ඒ නම ආදරේ...

සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ

උපමා නෑ සසඳන්නේ ඔබේ නම ආදරේ
චන්දන දියෙන් දොවාලා ඔය නළලෙ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා දෙමි ලේ වලින් ලියාලා

කල්යාණි නමට අම පෙම් දිවි බඳුන පුදකරන්නම්
ඉපදුනිද බවෙක කිසියම් මුලු සසරෙදිම ඔබෙයි මම්
අවසාන මොහොත වේවා ඔබ ලඟදි ලඟා වේවා
ගිනි නෑතීව මා දෑවේවා සිහිවටන එහි මෑවේවා





https://www.youtube.com/watch?v=Xi78nR8QrRA
හීන දෙවොල්වල දේවතාවියන් පිදීම එකකි, දන්නා කියන කතා නොඇසූ කල්යාණියන් සොයා ගැනීම නම් ඒ තරම් ලේසි පහසු නොවෙයි. ඒකත් සිහිනයක්ම වීමේත් රසයක් තිබෙයි.

කල්යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා හිසේ දෑත් තියන්නම්

මතු කවර දිනකදී හෝ මට ඔබව අහිමි වේ යැයි...
ගැන භීතිය සැක මාගෙ හිතේ තිබුණි දිගා කල්
හිමි වී ඇත අද ඒ දුක ගැන සෝක සුසුම් වැල්

මගෙ හිතට එකඟවයි මේ මා කියන දෙය කියන්නේ...
ඔබෙ ආදරබර මහිමයටයි ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත සසළ කරන්නේ



https://www.youtube.com/watch?v=gRGCKLIhNSg


ඉල්ලීමත්, සොයා යෑමත් කෙසේ වෙතත්, මේ පුදුමාකාර ජීවිතයේ දී නොඉල්ලන දේ නොහිතූ ලෙසින් ලැබීමට වෙලාවක් කලාවක් නැත. කතාවේ හැටියට පතාගෙන ආ  ආදරය නෑඹුල් සිනාවක ආදරයෙන් ඔතා අතට ගෙනැවිත් දුන් එදා දවසේ සිදුවූ වික්ෂිප්ත වීමත් මිල්ටන්ගේ සිංදුවකටම කරු අයියා ලියා තිබුණත්, 

ඔබ කවුද ප්‍රියේ මන්ද මෙසේ
රන් රස සේ ඉන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

ඔබ මා වෙනුවෙන්මද ලොව දිණුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිදුවේ
මගෙ ගීත නිධානය ඔබම තමා
පෙරලා දෙනු මැන මුව ගලන අමා

අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම සුව සහනය රැඟෙන එමි
ඔබ අමතනවිට මම සිනාසෙමී 
ගෙමිඳුල ළඟ වැටි වැටි සිඟා කමී



https://www.youtube.com/watch?v=AfAPX7a-Hbk

ඒක නම් ඉස්සෙල්ලාම කියා තියෙන්නේ මොහමඩ් රාෆිය....


https://www.youtube.com/watch?v=2-hTvBEAOpk 
සිංදු කීමේ කලාව බිංදුවක්වත් ඇඟේ ගෑවී නොතිබීමේ හේතුවෙනුත්, අවුරුදු හතරක දහදිය මහන්සියෙන් අස්වැද්දූ කෙත් වතුවල බැත කපා පාගා හුලංකර ගන්නා අවසාන විභාග සමය හොම්බ ලඟම දිව දික්කරමින් සිටි බැවිනුත් අර විහාරමහා දේවියේ සිමෙන්ති බංකුවක දී හමුවූ සිහින දෙව්දුවත් සමග ඔවැනි සීරියල් දර්ශනයක් රඟපෑමේ වාසනාවක් තිබුණේ නැත.

ඒ වෙනුවට සිදුවූයේ නවකතා පොතේ වෙනවා වගේම, ඒ අදහස අතහැර දමන්නට දෙන්නාම තීරණය කිරීමකි.
ඉතින් මිල්ටන් ඒ ගැනත් කියා තිබූණි. සිද්ධ වූ දේ සිද්ධ වූ හැටියෙන්ම කරු අයියා ලියා මිල්ටන් ලවා කියවා තිබුණි.

ඇස රැඳුණ  රැඳුණ  තැන්වල 
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට 
මට මතක නැති වුණා ..//

දුක්‌ පැදුර දිගැර අලසව ඇත - හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි - මුලු රැය පහන් කලේ ..//

රෑ කවුද හෙමින් එළැඹී - මගේ කනට මුව තියා
මින්දදගෙ දුන්නෙ මල් හී - පහකැයි කියා ගියා ..//

වැසු විමන් පියන් පියවා - රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන - විමසන්නේ යටි හිතයි ..//




ඒ ආදරය උතුරා අපේ හිත් වලට හඳ පෑව්වේ, කළුවර පෝයට දවස් තුනක් වූ මුත්, හැත්තෑ නවයේ ජූලි මාසේ විසිඑක්වෙනිදා, හවස හතට හතාමාරට විතර, කැප්පෙටිපොල පාරේ, ඉන් පස්සේ කවමදාකවත් අපට හරියාකාරව අඳුනාගන්නට නොහැකි වූ ගහක් යට දීය. ඒ ඔය නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳේ පැල්ලමක් තැබූ අවුරුද්දට හරියටම අවුරුදු දහයකට පසුවය. අදය අපි කියන අද දවසට අවුරුදු හතලිහකට කලින් ය...!

මට ගයන්නට බැරි නමුත්, කරු අයියා ලියා මිල්ටන් ගැයුවේ කා ගැනදැයි අද නම් මට ඇස් පියාගෙන වුවද පෙන්වන්නට පුළුවන.

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

මගෙ ජීවය ගල් ලෙනකී එහි පහන ඔබ තමා - එය දල්වනු මැන හිනැහී හද පෙම් ගිතෙල් දමා
වැලපීමට හෝ සැනසීමට මතු සැරින්සැරේ - එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ - පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ
පිටුපෑමට ලං වීමට භවයේ වරින්වරේ - එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අද හෝ හෙට කරුණාකොට වියැළුනු දෙතොල් තෙමා  - දිවගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කඳුළැලි මත පාවෙන තරම් ප්‍රියේ - දරුණූ නැත මගෙ හදවත හොඳ සිහිය මට තියේ

සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ - එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එකකී මට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

ආදරෙයි අම්මා....!





Continue Reading...

Sunday, January 6, 2019

දොර ඇරපන් අමල් බිසෝ..... (2019)

නිවුණු ගිණි අඟුරුය
තැන තැන තවම දැල්වෙන
අඳුරු අහසේ විසිර
දිදුළු දෙන තරු කැට
අවර්ණය ලෝකයම
පාට කරනා තුරු
ඇතිල්ලී හිරු රළ

සුගති උයනේ ඇපල් ගස මුල
දිරායයි හැව සර්පයා ඉතිරි කල
බිම හෙවුණු තුරු බඳක ඇණ තියා
සුසුම් ලයි විටින් විට
සූරා නහය
වීසීකර සෙම් සොටු

පිසදා ලේන්සුවකින්
බලාගත් අත බලා ඉන්නා
කකුල් ඉදිමුණු දෙවියෝ

දිරා ගිය යකඩ ගේට්ටුව ලඟ මුරය
කුදු ගැහුණු ගබිරියෙල්
ඉඳ හිටක මිරිකයි කඩු මිට
ගිනි දළුව විද දවා
පන්නා දමන්නට
මැස්සෙක් මදුරුවෙක්...

පහල පාරේ වංගුවෙන් එපිට
ආදං ගේ කඩේ වයර්ලැස් එක
පාව එයි 
උඩු හුළඟ දිග
කම්මැලි කමට 
ගාට ගාටා හමන

"කවාලා විළඳ ජාතී...
ඇති කලා...ත් රන්...
කූ...ඩු වේ ගිරවා

දමාලා... 
යන්නෙ ඉගිලී
රැව් දි දී ලබ...
නාසෙ වන සැපතා....."


ජනවාරි 5, 2019



Continue Reading...

Sunday, June 24, 2018

විශ්වය කාලය හා ඒකාත්මිකතාවය

අද වෙද්දී ප්‍රචලිත විද්‍යාත්මක මති මතාන්තර වලට අනුව, මුළු මහත් විශ්වයේ පැතිරී විසිරී දිදුලන නොදිදුලන පෙනෙන නොපෙනෙන සියල්ල ඇරඹුනේ සියල්ල කැටිකොට සම්පීඩනය කොට දරා සිටි ගැලපෙන වෙනත් වචනයක් නොමැති කමින්ම ඒකාත්මිකතාවක් යැයි මා සිතන, ඉංග්‍රිසියෙන් singularity යැයි ලියැවෙන යමක මහා පිපුරුමකිනි.

එසේ ඇරඹුණු විශ්වය, තවමත් තවදුරටත් ප්‍රසාරණය වෙමින් පවත්නා බවත්, ඒ ප්‍රසාරණ කාර්යාවලිය අතර තුරත්, බිලියන ගණන් තාරකා මියෙමින් උපදිමින් පවත්නා බවත් විද්‍යාඥයෝ උපකල්පනය කරති.

එහෙම බැළුවාම විශ්වය කියන්නේ, එක විදිහකින් නොනවතින ගිණිකෙලි සංදර්ශනයක් මෙන් යැයි මට සිතෙයි. එක් අහස් වෙඩිල්ලකින් විසිරෙන ගින්දර මල් පිපී නිවී යන්නාහාම තවත් අහස් වෙඩිල්ලක් අහසට නැග පුපුරා අලුත් මල් පුබුදුවයි. මේ ගිණි කෙළිය අවසන් වන්නේ, විශ්වයේ ප්‍රසාරණය අන්තයකට ගොස් නැවත සංකෝචනය වීමට පටන් ගැනීමෙනියි කියති. ඒ සංකෝචනය අවසානයේ නැවත මුළු මහත් විශ්වයම, කතාවට කියන්නා සේ අල්පෙනිති හිසක් තරමේ ඒකාත්මිකතාවයකට ගොනු වෙයි. ඒත් ආයෙත් නැවත පිපිරෙන්නටම විය යුතුමය. එනයින්, අර සැලියේ කකුළුවාත් අපත් පමණක් නොව මේ මහත් විශ්වයේ පැතිර ඇති සියළු ග්‍රහ තාරකාත්, දිය පැසෙන තුරු දිය කෙලින්නෝම වෙති.

මේ මොහොත අතිශයින් වැදගත් වන්නේ ඒ නිසාය. මන්දයත් මේ මොහොත ආපසු කවරාකාරයකින්වත් කොහේ කොතැනකදීවත් නැවත ප්‍රතිනිර්මාණය නොවන නිසාය. එසේ නිර්මාණය කරන්නට කවරෙකුට හෝ හැකිවන දවසක් පැමිණියද, ඒ මේ මොහොත නම් නොවන්නේමය.

එසේ ප්‍රතිනිර්මාණය කරනු තබා, සිතේ සිතුවිලිවත් නැවත එලෙසින්ම මවා ගත නොහැකි මොහොතවල් අටෝ රාසියකට අපි ජීවිතය යැයි කියමු. අර විශ්වය අැරඹුණාක් මෙන්ම අපේ ජීවිතවලටද ඇරඹුමක් තිබේ. විශ්වය මෙන්ම අපේ ජීවිතත්, හැදී වැඩී නොනවත්වා ප්‍රසාරණය වෙයි. ඒවායේත් අහස පුරා, නොනවැතීම, අහස් වෙඩි පුපුරා එළිය වෙයි.

පුංචි දරුවන්ට හැමදාම පුංචිවුන් වාගේම ඉන්නට පුළුවන් නම් යැයි අපට හිතුණු හිතෙන වාර ගණන නිමක් නැති මුත් උන් කවදාවත් එසේම සිටින්නේ නැත. එසේ සිටිනවා නම් මෙසේ මෙවැනි සටහන් ලියවෙන්නේත් නැත. සෑම මොහොතකම වටිනාකම රැඳී ඇත්තේ නොනැවතී වෙනස් වීම නම් වූ මේ පුංචි රහසේ ය.  මේ ගලායාම තුල වසරකට වරක් අපි අපේ සිත්වලට බලකර සංකෝචනය වී නැවතත් අපේ විශ්වයේ උපතට හැරී බලමු.

ඉතින් අද දවස, අද මේ මොහොතේ මගේ සිතේ මතුවන්නාක් මෙන්ම, එදා මෙදාතුර ඔබේ විශ්වයේ අහස පුරා පිපුණු දිලිසුණු සියලුම ආලෝක බිඳිති වල ආලෝකය විඳින්නටත්, ඒ සතුට මැද සැනසෙන්නටත් තරම් වාසනාවන්ත දවසක් වේවා.

අම්මා, සුබ උපන්දිනයක්.
Continue Reading...

Sunday, January 14, 2018

ඊ. එන්. එකසිය අසූ හත



ඉස්සරම ඉස්සර ලංකාවේ වාහන අංක පටන් ගෙන තියෙන්නේ ඉංග්‍රිසි කිව් අකුරත් අංකයකුත් යොදාය. ඉන් පස්සේ ඒ, බී, සී, ඩී, අංක තහඩු කාලයක් තිබී ඇති අතර ඊළඟ රවුම සිලෝන් කියන ඉංග්‍රිසි අකුරු වලින් ජෝඩුව බැගින් ගෙන අංකයක් අවුණා තහඩු නිකුත් කල කාලයයි. සී.ඊ, සී.එල්, සී.එන්. ආදි වශයෙන් ගිය මේ ක්‍රමය, ඊ.එන්. කිට්ටුකර තියෙද්දී, ඉංග්‍රිසිය හැලී ශ්‍රී උදාවිය.

ශ්‍රී ගෙනාවේ ශ්‍රී ලංකාකාරයා වූ බණ්ඩාරනායක නමුත් එක ශ්‍රී එකේ තහඩුව ජෝන් කොතලාවල ගේය. මේ කාලයේම ටකර් කොම්පැණියේ කාර් සේල්ස්මන් කෙනෙකු වූ අපේ තාත්තා මිලදී අරගත් අළුත්ම ශ්‍රී වාහනයේ තහඩුව එක ශ්‍රී එකසිය පහලවය. ඒක ඒ් කාලේ නම් කිරිපාට ඕපල් රෙකාඩ් වාහනයකි. අළුත් කාර් එකක් ගත්තත් ඒ වෙද්දී හද හදා හිටි ගෙදර වැඩ කටයුතු ඉවරකරන්නට, මුදල් උවමනා වූ හින්දා ඒ එක ශ්‍රී වාහනය, ඊ. එන්. වාහනයක් සමග අතපිට මුදලකට හුවමාරු කරන්නට තාත්තාට සිද්ධ වී තිබේ. මේ හේතුව නිසා ආ ගමන් ගත්තා වුනත් වැඩි කාලයක් ‘ශ්‍රී‘ කාරයක් පදින්නට තාත්තාට ලැබුණේ නැත. එ් කාලයේ යූ අැන්ඩ් පී කාරයකු වූ එයා හරියටම ශ්‍රී ලංකාවට අාවේ නම් හැත්තෑවේ දීය. එව්වා ගැන වෙන වෙන තැන්වල ලියා තිබේ.

ගමන් බිමන් යද්දී, අතර මගදී, අර එක ශ්‍රී එකසිය පහලව ඇඟිල්ල දික්කර පෙන්නූ නමුත් අපේ තාත්තා වූ, බේබි මහත්තයාගේ වාහනය, ඊ. එන්. එකසිය අසූහත අංක තහඩුව දරණ දොර හතරේ කළු පාට වොක්ෂෝල් වයිවන් මෝටර් රථය වුනේ එහෙමය. ඒ නවසිය පණස් හත, පණස් අටේ දී විතරය.

ඒ දවස්වල ගම්පලාතක්ම වූ අපේ පැත්තේ බොහෝ දෙනා ගමේ ගොඩේ කාර් සේරගෙම පාහේ අංක තහඩු දැන සිටියෝය. අයිතිකාරයාගේ නම නොකියා වාහනයේ අංකයෙන්,

“දවසටම පණස් හතයි විස්ස දැක්කෙ නෑ නේහ්“

“අද කොළඹ යන දවසනේ.... හවහ එයි“

වැනි කතා බහ අපේ පැත්තේ හන්දියක කඩපිලක සිද්ධවෙන සාමාන්‍ය කතා බහ විය. අපේ තාත්තා, පොතේ ලියා ඇති හැටියට නම්, ඉඩම් හිම් වැවිලිකාරයෙක් වුණත්, කෝකටත් තෛලය වාගේ කාගෙ කාගේත් උවමනා එපා කම් වල දී, කාට කාටත් උවමනා එපා හැමදේම කරන කරදෙන, දැන් කාලයට සුදුසු භාෂාවෙන් කියනවා නම් ග්‍රාමීය සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස හඳුන්වන්නට පුළුවන් වූ, චුට්ටක් අමුතු තාලේ මනුස්සයෙකි. ඒක නිසාම බොහෝ විට ඊ. එන්. එකසිය අසූහතේ ගමන් බිමන් ගියේත්, අපේ ගෙදර අයට වඩා, ගමේ ගොඩේ කට්ටියය කිව්වොත්  එ් හැටි වරදක් නැත.

කාර් පදිනවා නොව කාර් එළවන කාලයක් වු ඒ කාලයේ කාර් එලවූ බොහෝ අය මෙන්ම, අපේ තාත්තාත්, කාර් එකේ සරුවාංගයම පාහේ අත පතගා, තෙල් පත්තු බැඳ, පිලිසකර කරන්නට හැකියාවක් තිබුණු, යතුරු අඬු බඬු, අතට පයට හුරු පුරුදු, පුද්ගලයෙක් වීය.

කාර් එක ස්ටාට් නොවෙනවා නං, කරන මූලික අත් වෙදකම වූ තල්ලු ස්ටාට් එකක් දැමීම, අපේ ගෙදර කවුරුත්, අම්මා නංගිලා ඇතුළු හැමෝම ඇතුළුව මනා ලෙස ප්‍රගුණ කල ගොඩ වෙද කමකි. අහලක අත් උදව්වට කවුරුවත් නැතත්, දොර කවුළුවෙන් අත දමා සුක්කානම කරකවන ගමන් තනියෙන්ම කාර් එක තල්ලු කරලා, යාන්තං පල්ලමකට වට්ටා, දුවන කාර් එකේ දුවලා එල්ලී නැගලා, කල්ච් එක පාගා ගියර් එක දාලා ස්ටාට් කරගන්න සෙල්ලම පවා අපේ තාත්තා කරනවා මට දැක පුරුදු තිබේ.

අපේ ගෙදර හිට හලාවත පාරට දිවෙන යාර දෙතුන් සීයක බොරළු පාරේ ඉහලට පහලට මේ වාහනය තල්ලු කරන එක, විශේෂයෙන් මගුල් ගෙදරක හෝ පල්ලියක මංගල්ලයට යන්නට ඇඳුම් කැඩුම් අැඳගෙන, අම්මලා නංගිලා අයියා අපි හැමෝම මේ වාහනය පස්සේ හායි හූයි කිය කියා තෙරපෙන එක, එක දවසක් දෙකක් විතරක් වුනු දේකුත් නොවේ. එවැනි වෙලාවට, උත්සාහය හා විශ්වාසය පළුදු වන්නට නොදී, හරියටම ස්ටාට් වුනේ නැතත්, එහෙන් මෙහෙන් පුටු පුටුවක්, යාන්තං දුම්පාරක් හෙම දමා, මේ තල්ලු සප්පායම තව තවත් දිග්ගස්සගන්නට ඊ. එන්. එකසිය අසූහතත්, හොඳාකාරවම දැන සිටියේය.

වොක්ෂෝල් වයිවන් වාහනය ඉස්සරහ ආසනයේ තුන් දෙනෙකුත් පිටුපස ආසනයේ තුන් දෙනෙකුත් වශයෙන් උපරිමයෙන් හය දෙනෙකුට ගමන් කරන්නට හදාපු වාහනයකි. ඊ. එන්. එකසිය අසූහතට ඔය සුද්දාගේ මගී සීමාවල් තිබුණේ නැත. අනෙක් අතට තල්ලු ස්ටාට් එකකින් පහුව, වාහනේ ස්ටාට් කල ඈයින්ව පයින් ගෙදර යැවීමේ සිරිතක් අපේ තාත්තාට තිබුණේත් නැත. සමිති සමාගම් වල රැස්වීම් ඉවර වී සාමාජික සාමාජිකාවන් ගෙවල් වලට අැරලන්නට වූ වෙලාවල් වල දහ දොලොස් දෙනෙකුට වැඩි මහ මිනිසුන් පිරිසක් මේ මෝටර් රථයේ සීට් වල මෙන්ම, බිම ද වාඩිවී, එල්ලී දිගාවී ගමන් ගිය දවස් මට මතක තිබේ. එක්තරා කාලයක ආණමඩුවේ අතුරු මැතිවරණයකට අත් උදව්වට ගිහින් යාළු මිතුරු වූ, පවුල් තුන හතරක කාණ්ඩයකුත් පටවාගෙන අනුරාධපුරයේ වට වන්දනාවට ගිය කතාවක විස්තරය අපේ අම්මා කියනවාත් මා අසා තිබේ.

ඒත් ඒක තාත්තාගේ වාහනේ හින් දා අපේත් වාහනේ විය. අපේ අම්මා 'ඕල්ඩ් ග්ර්ල්' කියා හැඳින්වූ එකසිය අසූහතේ මට මතකම ගමන, එක් අවුරුද්දක මඩු පල්ලි ගිය ගමනයි. අපේ තාත්තලාගේ කාණ්ඩය මඩු පල්ලි යන්නේ අගෝස්තු මංගල්ලයටය. ඒක නයිනාමඩමේ කාණ්ඩයකගේම සිරිත වී තිබුණි. අවුරුද්දකට සැරයක් යන මේ ගමනට කාර් එක පිලිසකර කර ගැනීම ප්‍රධාන කාර්යයක් වෙයි.

වාර්ෂික ගමනක් වූ මේ ගමනේ දී, ඉස්සරහ ආසනයේ අම්මාත් තාත්තාත්, නංගිලා එක්කෙනෙක් හෝ දෙන්නාම වාඩිවී ගියා වූව ද, පිටිපස්සේ නම් අයියාටත් මටත් ඇලිස් අක්කාටත්, ඇලිස් අක්කාගේ පුත්‍රයා වූ හයසින්ටත් බොහෝවිට ගමනට එකතුවන දයාරත්න වැනි පිරිමි පරාණයකටත්, එයිට අමතරව ගෙදර අත් උදව්වට හිටි සුනිල්ටත් වශයෙන් හය දෙනෙකුට පමණ ඉඩ තිබේ. යන්නේ මඩුපල්ලි වුවද, කවදා කොහේ ගිහින් කවදා ගෙදර ඒ දැයි හරියටම කියන්නට බැරි මේ ගමනේ හැකි තැනක නැවතී ඇලකින් දොලකින් නාලා උයාගෙන කාලා නිදාගන ගිමන් ඇරලා නිදහසේ යන්නට උවමනා අඩු වැඩිය අඩුම කුඩුම සියල්ලමත් රැගෙන යා යුතු වෙයි. මේ දේවල් අහුරන ගෙන යන පිළිවෙලක් ද තියේ. හැමෝගේම පැදුරු එක උඩ එක එලා, ඒ මැදට කොට්ට පොරවන සියල්ල අඩුක් කර ඔතා බඳින පැදුරු මිටිය, මඩු පල්ලි යන්නට සතියකට දෙකකට කලින් කාගෙන් හෝ ඉල්ලාගෙන ඇවිත් කාර් එකේ වහල මැද සවිකරන හුඩ් රැක් එකේ තැන්පත්වන ප්‍රධානම භාණ්ඩයය. එයින් අමතරව, පෙට්ටි සූට්කේස් ආදියත් වහලය උඩ රැඳවෙන අතර, ඩිකියේ ඉඩකඩ ඉවර වූ පසු ඉතිරිවන බාල්දිය, හට්ටි මුට්ටි, අතර මගදී මගට කන අළුවා, අග්ගලා, විස්කෝතු පාර්සල ආදිය නතරවෙන්නේ, කාගෙ කාගේත් කකුල් අතරය. මේ බඩු භාණ්ඩාදිය එකතු වූ විට, එන්ජිමේ බර බැලන්ස් වී, ඊ. එන්. එකසිය අසූහත, යාන්තමට වාගේ අහස දිහාවට ඇස් උස්සා හිනා වෙනවා වගේ පෙනෙයි.

හැම දේකම වගේ මේ වාහනයේත් මර්මස්ථානයක්, එනම් චුට්ටක් දුර්වල නිලයක් තිබේ. ඒක තියෙන්නේ ගියර් පෙට්ටිය ඇතුලේ, ගියර් රෝද එහා මෙහා කරන ප්‍රධාන යකඩ පට්ටම කෙළවර ය.
මෙන්න මේ පින්තූරයේ රතු පාට රවුම ඇතුලේ ය.



බැළූ බැල්මට කට්ටයක් කැපූ තරමක යකඩ ඇණයක් වගේ පෙනුනත්, ගියර් පෙට්ටියේ නායක දැති රෝද එහා මෙහා වුනේ මේ පුංචි කට්ටය කැපූ ඇන කෑල්ලේ පිහිටෙනි. කරදරය තිබුණේ නිතරම මාන්සිවෙන මේ කට්ට ඇන හිසේ, එක පළුවක් දෙදරා වෙන්වී කැඩී යාමයි. ප්‍රතිඵල දෙකකි. ගියර් මාරුව අබලන් වීම ප්‍රධාන එකය. අර දැතිරෝද පෙට්ටිය ඇතුලට වැටුනු චුට්ටං යකඩ කෑල්ල, එහෙ මෙහෙ ගිහින් දඟ කිරීම නිසා, රෝදවල දත් ගැලවීමට පුළුවන් කම අනිකය.
ඔය කියන ඇණ කෑල්ල මේං මේ වාගේ එකකි.



මේ ලෙඩේට කළ යුතු ශල්‍යකර්ම සාත්තුව සැරයක් දෙසැරයක් නොව හත් අට වතාවක්ම කරලා අපි කවුරුත්, ඒ කියන්නේ අයියාත් මමත් දයාරත්නත් අම්මාත් තාත්තාත් හොඳින් දැන සිටි එකකි.

පියවර කීපයකි.
(1) වාහනේ යටට රිංගා ගියර් පෙට්ටිය ගලවා පහත් කර එළියට ගැනීම
(2) උඩ පියන ගලවා ගියර් ලීවර් ගලවා, පැත්තක් සොච්චං වු ඇණය ගලවා ගැනීම
(3) ගියර් ඔයිල් භාජනයකට අයින් කරලා ටෝච් අල්ලා, කම්බි කූරු අඬු කතුරු කාන්දං කෑලි ඔය මොනවා හෝ යොදාගෙන අර කැඩී වැටිච්ච තව් කෑල්ල තෝරා බේරා එළියට ගැනීම
(4) සොත්ති වූ ඇණ කෑල්ල ලියවන පට්ටලයකට ගෙන ගොස් අළුත් ඇණ කෑල්ලක් ලියවාගන ඒම
(5) අළුත් කෑල්ල අවුණා, ගියර් ලීවර හයිකරලා ගියර් පෙට්ටිය එකලස් කිරීම
(6) වාහනේ යටට රිංගා ආයේත් ගියර් පෙට්ටිය හරියට සෙට් කරලා ඇණ මුරිච්චි දාලා සවි කිරීම
(7) තෙල් දාලා ලීක් හොයලා ගියර් චෙක් කරලා ට්‍රයල් යාම

මෙව්වා සිද්ධවෙන අතරින් පතර නොහොබිනා වැඩද කරන්නට මේ වාහනය අති සමර්ථය. ගියර් පෙට්ටිය පස්සේ ඩිපරැන්ෂල් වලට සම්බන්ධ වෙන හරියේ අනවශ්‍යය වෙලාවට ලෙඩදෙන ඔයිල් සීල් එකක් තිබේ. ගියර් පෙට්ටි පියනත් පෙට්ටියත් අතර ගෑස්කට් එකක් තිබේ. ගෑස්කට් නම් පරණ ෂර්ට් පෙට්ටි පට්ටයකින් වුනත් කපා හයි කරන්නට පුළුවන් නමුත් අර ඔයිල් සීල් එක කොච්චර ටේප් දාලා පොටි ගාලා හැදුවත් ලේසියෙන් රෙපයාර් කල හැක්කක් නොවේ.

ඉතින් මේ කියන මඩු පල්ලි ගමනේ දී, ඊ.එන්. එකසිය අසූහතට මේ ලෙඩේ හදා ගන්නට මතක් වූයේ, පුත්තලමත් පහුකරලා දහය හෝ පහලව කණුවට විතර කිට්ටුවය. ගූගල් සමාගමේ සිතියමට අනුව මගේ නිච්චිය නම් ඉහල පුලියන්කුලම හරියේ විය යුතුය. ඒ දවාලට උයාලා කාලා එදා දවස ගතකල පාර අයිනේ වැව් පිට්ටනියේ මතකයෙනි. ඒ වැව අයිනේ දිගටම තිබුණේ දං ගස්ය.

අතේ ගෙනියන තියා ගෙදර මේසය උඩ තියන ටැලිපෝන් එකක්වත් නොතිබුණු, එක්ස්චේන්ජ් එකෙන් පිටට කතා කරනවා නං, බිංදුව කරකවලා නොම්මරය කියලා කෝල් එක සම්බන්ධ කරවා ගත් ඒ කාලයේ, කැඩිච්ච වාහනයක් පාර අයිනේ කෑලි කරන එක සාමාන්‍ය සිද්ධියක් වූ අතර, වැඩේට අවශ්‍ය යතුරු අඬු මන්න පිහියා කතුරු පිහි මෙන්ම, අඩ තියන ලී කොට වලින් ද සන්නද්ධ නොවී ගමන් බිමන් යෑමේ පුරුද්දක් අපේ තාත්තාට තිබුණේ ද නැත.

ජැක් ගසා වාහනය උස්සා අඩ තියා, යට රිංගාගන ඇණ මුරිච්චි ගලවන තාත්තාට අර යතුර මේ අඬුව ආදී වශයෙන් අත් උදව් දීමත්, ගලවා අතට දෙන ඇණ මුරිච්චි පිළිවලට පරිස්සමට තැබීමත් පවුලේ පිරිමි ළමයින් වූ මගේත් අයියාගේත් කාර්යයන් වූ අතර, අපට අත් උදව් දීමට දයාරත්නත් හයසිනුත් වූහ.

ගලවාපු කරදරකාර ඇණ කෑල්ල පුත්තලමට ගොස් ලියවාගන ආයේ නම් දයාරත්නය කියා මතක තියේ. එයා ගිහින් එනතුරු අපි දවාලට කාලා වැව් පිට්ටනියේ දං ගස් යට පැදුරු එලාන නිදාගත් අතර, එදා හවස් වෙද්දී කලා ඔය පල්ලියටත්, ඉන් පහුවදා දවාලේ අනුරාධපුරයටත් ගොස් අනුරාධපුරයේ දී, අර කාන්දුවෙන ඔයිල් සීල් එක හදාගන්නට, ගැරේජ් බාස් කෙනෙක් සමග අපේ තාත්තාට සෑහෙන හෙට්ටුවක් හෙට්ටු වෙන්නට සිද්ධ වූ බවත් මගේ මතකයේ තිබේ.

මේ ඊ.එන්. එකසිය අසූහත අපේ තාත්තා පිටත්වී ගිහිනුත් අවුරුදු විසි පහක් පමණ අපේ ගෙදර නැවතී හිඳ අන්තිමේ යන්නට ගියේ දෙදාස් දාහතර අවුරුද්දේ ජනවාරි මාසයේ දීය.









එයා ගැන ලියන්නට තවත් නොයෙකුත් කතා තිබෙන නමුත් ඒවා වෙන වෙන වෙන වෙන කතා හැටියටම හැකි හැකි හැටියට ලියන එක වඩාත් හොඳය හිතේ.

ආරංචිවල හැටියට නම් වොක්ෂෝල් කොම්පැණිය තවමත් වාහන බිස්නස් එක නවතා නැත. එයාලා ගැන බොහෝ කරුණු කාරනා මේ සබැඳි ජාල අඩවියේ තියේ.


http://www.vauxpedia.net/

ඔය ඉහල තියන පින්තූර වලට අනුව ශතවර්ෂ කාලක් විතර අන්ධකාර කාමරයක වහංවී සිට ජරාජීර්ණ වුනත්, නාලා කාලා සැන් පවුඩර් දා ඇඳලා ජේත්තුවට හිටි කාලයේ අපේ ඕල්ඩ් ග්ර්ලුත් පහල පින්තූරයේ වගේමයි කියා මට අදවාගේ මතකය. මෙයා නම් සැපට සුකුරුත්තමට හදා වඩා ගත් නිසා අදටත් කෙල්ල වාගේ ඉන්නා එංගලන්තයේ වාහනයකි. ඒ වාහනයේ අංක තහඩුවේ අපේ මානෙල් කැම්පස් කාලේ අැඳපු චීත්ත මෝස්තරයක් සටහන් වී ඇතිය හිතෙන හේතුව නම් මට හිතාගන්නට බැරිම එකකි.



  

ගෙතූ කතාවල හැංගී ඇති තේරුම් පාඩම් හොයන්නට අප පෙළඹෙන නමුත්, ජීවිතය අප වටා ගොතන කතා දෙස ඒම තමයි ඉතින් ජීවිතය කියා අහක බලාගන්නට හිතෙන අය වෙනුවෙන් මේ පුංචි පසු සටහන තබමි. ඒ මේ සටහන අපේ තාත්තාගේ වාහන හැදිල්ල හා පැදිල්ල ගැන හුදු මතක සටහනක්ම නොවන නිසාය. .

ඉතින් ටිකක් ලංවී කියවා බැළුවොත්
(1) ඕනෑම අළුත් වාහනයක්, හරියාකාරව බලා කියා නොගත්තොත් ජරා ජීර්ණ වන බවත්
(2) මාතලී පදවන වෛජ්‍යන්තයේ වුනත් කොහේ හෝ තැනක මර්මස්ථානයක් ඇති බවත් ඒ ගැන දැන කියාගෙන සූදානමින් සිටීම වැදගත් බවත්
(3) කොයියම්ම හස්ති රාජයා වුනත් චූට්ටං යකඩ අැණ කෑල්ලක් දෙදරා ගොස් දණින් වැටිය හැකි බවත්
(4) එවැනි වෙලාවල කළයුතු නොකල යුතු දෑ අනු දැන, ඒ ඒ පැලැස්තර වලට වුවමනා ඒ ඒ වෙළුම් පටි අතේ තියාගැනීම දුර ගමනක් හිතේ කහටක් නැතිව යාමට ඉතා වැදගත් වන බවත්
(5) ඔය සේරටම වඩා, අපේ තාත්තලා සීයලා අත්තලා ගේ කියුම් කෙරුම් දිහා බලා යමක් අවබෝධ කරගන්නට ටක්කෙටම පුළුවන් වෙන්නේ බොහෝවිට අපේත් දණිස් වෙවුලන වයසට ලඟා වෙද්දී බවත්
මෙතෙක් කියවාපු ඔබට පසක් වනවා ඇත.

Continue Reading...

Friday, January 5, 2018

වෙරලස (2018)




පොලා පනියි හිතිවිලි රැලි හිනාවෙන සුදු
බලා හිඳිමි වෙරලස හිඳ සුමුදු සුදු මුදු
සලා දියඹ කිති කවනා මාරුතේ රුදු
ගලා බිඳෙන දිය රැලි අග සිනා බිඳු රැඳූ

වසන්තයට පාර හොයන ලපැටි නිල් දළු
දිගන්තයක සැඟවෙනවා පිරුණු මේ කුළු
පියාඹන්න තටු මොකටද සිතකි සිත් කළු
කලා වැවට දිය දෙන්නෙත් වැහි වලා කුළු

සිලි සිලියක මද සුවඳක පාවෙනා අහස්
ගඟක තරඟ පොඩි මුතුකැට තාරකා දහස්
හීන් හඬින් කියන සිංදු ස්වර දස දහස්
වැලි කැටයක දිය බිඳුවක සැඟවෙනා රහස්

කතා නැතිව හීන ගෙනෙන රැයක මැදියමේ
ලතාවකට පිණි ඇවිණෙන සීත මීදුමේ
වතාවතකි දුරුතු හඳේ එළිය මායිමේ
දියත් ගොඩත් මුණ ගැහෙනා සයුරු කඩයිමේ

එදා මෙදා නොවෙනා මුත් මෙදා එදා වෙයි
සදා ළඟින් ඉන්නා අය සදා හරිත මයි‍
කොහේ කොහොම වුනත් හිතේ සුවඳ මල් පිපෙයි
එහේ මෙහේ කොහේ වුනත් ගලන ගඟ ගලයි

[ජනවාරි 5, 2018]

Continue Reading...

Blogroll

About