Monday, September 21, 2026

හංසයෝ දෙන්නා.... දෙකයි දෙකයි, විසි දෙකයි!

Share it Please

 



නවසිය හැත්තෑ දෙකේ අවුරුද්ද, සිරිමා-ඇන්. ඇම්/කොල්වින්-පීටර් තුන්හවුල් ජනතා ආණ්ඩුව, හැත්තෑ එකේ චේගුවේරා කාරයින් නොහොත්, විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයේ උණුසුම හා තැන තැන දැවුණු තරුණ මළ කඳන් වල කළු දුම් රොටු බොඳවී ගොස් ජනතා ආණ්ඩුවේ උත්කර්ෂය ආයෙත් දළුලා වැඩෙන්නට පටන් ගත් අවුරුද්දයි. හැත්තෑ දෙකේ මැයි මාසේ, අළුත් ව්‍යවස්ථාව සම්මත කරලා, රැජිණිගේ ඩොමීනියන් එක, ජනරජයක් කරලා ඒ එක්කම ඒ අගෝස්තුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ඇමතිතුමාගේ නායකත්වයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ පණත සම්මත කිරීමාදී, ක්‍රියාකාරකම් මේ උත්කර්ෂයට දුම්මල ගැසූ කාරණා වූයේය.

ඔය කාල වකවානුවේ, ජෝශප් වාස් විද්‍යාල ගුරු දෙගුරු සංගමය, ඉස්කෝලෙට අළුත් පන්ති කාමර පහ හයක ගොඩනැගිල්ලක් හදන්නටත්, ඒක ආණ්ඩුවේ සල්ලිම බලාන ඉන්නේ නැතුව, කානිවල් එකක් කරලා මුදල් එකතු කරලා කරන්නටත් තීරණය කළේය. ඉස්කෝලේ ප්‍රධාන ක්‍රීඩා පිට්ටනියේ මේ වගේ වැඩක් කලොත්, ඒක ආයෙත් පුනරුත්ථාපනය කරන එක තවත් බාරදූර වැඩක් වෙන හින්දා, මේ කානිවල් එක, ඉස්කෝලේ ප්‍රධාන ගොඩනැගිල්ලෙන් ඉස්සරහා බිම් තීරුවේ පවත්වන්නට තීරණය කෙරුණු අතර, මේ ඕපදූප විස්තර වලින් බොහෝ කොටහක් මගේ කනේ කොනේ ගෑවුණේ නම් ඉතින්, ඔයි කාලයේ අපේ තාත්තා නොහොත් බේබි මහත්තයා, අර ගුරු දෙගුරු සංගමයේ සභාපති හෝ උප සභාපති වගේ තනතුරක කටයුතු කල හින්දාමය.

කානිවල් එක කලේ කොළඹ පැත්තේ, මට මතක හැටියට වැල්ලම්පිටිය පැත්තේ, කානිවල් කරන මුදලාලි කෙනෙකි. එයාගේ ක්‍රමය, කානිවල් එක කරවන්න, පන්සලක්, පල්ලියක්, ඉස්කෝලයක් ආදී යම් සංවිධානයක් ආයතනයක් එක්ක, දවසකට හෝ මාසෙකට වගේ ගෙවන ගාන පොරොන්දූ වී ගිවිසුමක් ගහන එකය. භූමිය සැපයීමත්, උවමනා කරන, බලපත්‍රාදිය සකසා දීමත් අර සංවිධානයේ වැඩ වූ අතර, එයාලාගේ නමගමාදිය කානිවල් එකේ ප්‍රචාරක වැඩ වලට යොදා ගන්නා ලදී.

කානිවල් එක නොහොත් ජෝශප් වාස් සැණකෙළිය, පටන් ගන්නේ, බිම් කළුවර වැටෙන වෙලාවටය. ඉවර වෙන්නේ රැ දොළහ පහුවෙද්දීය. අපේ තාත්තා, මේ වැඩේට තවත් අතුරු කෑල්ලක් එකතු කරලා, හැමදාම රෑට කානිවල් එකෙන් ලැබෙන ආදායමෙන්, පහුවදා අළුත් ගොඩනැගිල්ලේ වැඩ කරවන සිස්ටම් එකක් සංවිධානය කර ක්‍රියාත්මක කළේය. රෑ දහය දහයමාර වෙද්දී, සැණකෙලියට එන එයා, රෑ දොළහ පහුවෙලා, කානිවල් මුදලාලි, සල්ලි ගණන් කරලා ගණුදෙනු බේරුවාට පස්සේ, ඉස්කෝලේ කොටස අරන් ගෙදර ඇවිත්, පහුවදා උදේ, ගොඩනැගිල්ල හදන තැන, ගණුදෙනු බේරන්න යන්නේය. මේ බිල්ඩිම හැදුනේ, ඉස්කෝලේ චැපල් එකේ දකුණු පැත්තේ තිබුණු පාර අයිනේ හිඳ ඒ පැත්තේ වැට ලඟට තිබුණු ඉඩ කඩේය. ඊළඟ අවුරුද්දේ, නවසිය හැත්තෑ තුනේ, පටන්ගත්තු, හය හත අට වාගේ පන්තිවල ළමයින්ගේ පන්තිකාමර වූයේ ඒ ගොඩනැගිල්ලේය.

ඔය කානිවල් එකේ වගේම, මොනම කානිවල් එකක වුනත් ආදායම එකතු වෙන ක්‍රම, ප්‍රධාන වශයෙන් තුන් ආකාරයක් වූයේය. එකක්, ගේට්ටුවේ ඇතුළුවීමේ ගාස්තුවය. මේක ගෙවලා ඇතුලට එන අයට නොමිලේ පෙන්නන, එක් එක් ආකාර සංගීත, නැටුම් ගැයුම් හා මැජික් ආදී සංදර්ශන තිබුණේය. අනිත් ආකාරය, කානිවල් භූමියේ කෑම බීම හා නොයෙක් ආකාර අතුරු මිතුරු දේ විකුණන වෙළඳ කුටිය. ඒ කානිවල් එකේ මූලික ආහාර වෙළඳ සැල නොහොත් රෙස්ටුරාන්ට් එක කලේ, ඒ කාලේ අපේ ඉස්කෝලේ කැන්ටිම කරාපු, වෙන්නප්පුව මහිලා සමිතියෙන්ය. එක අතකින්, මේකත් කානිවල් එන්නට තාරුණ්‍යය පෙළඹවූ කාරණාවක් වෙන්නට ඇතිය හිතමි. තුන්වෙනි ආදායම් මාර්ගය, හා විශාලතම ආදායම් මාර්ගය වූයේ නම්, සූදු කුටිය. ඇන්කර් බෝඩ් එක හා එවැනිම වූ වෙනත් සළකුණු යොදාගත්, කැට සෙල්ලම් කරන කුටිත්, බීම බෝතලයට වළලු දැමීම, ඉලක්කයට වෙඩි තැබිල්ල වැනි ගාණක් දීලා තෑග්ගකට තරඟ කරන කුටිත් අටක් දහයක් විතර කානිවල් එකේ තිබුණි. මේ හැමේකම, කානිවල් සංවිධායක පැත්තෙන් කෙනෙක් දෙන්නෙකුත්, ඉස්කෝලේ ඉහල පන්තිවල සිසුන් අතරින් තෝරාගත් ස්වෙච්ඡා සේවක කෙනෙක් දෙන්නෙකුත් සිටියෝය.

මේ අතරින්, ඉස්කෝලේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉස්සරහම වාගේ, ලණු වැටක් ගසා වෙන්කල වෘත්තාකාර ඉඩක් මැද හදාපු තවත් වෘත්තාකාර කූඩුවක හිටි තාරාවන් පස්දෙනෙකුගෙන් එකෙකුගේ බෙල්ලට වැටෙන්න වේවැල් වලල්ලක් විසික් කරන ක්‍රීඩාවේ ඉස්කෝලේ ස්වෙච්ඡා සේවකයා වූයේ ඒ අවුරුද්දේ එකොලොස් වෙනියට සමත්වූ මමය.  මගේම වයසේ, කානිවල් මුදලාලිගේ සේවක ළමයෙක්ද ඒ සෙල්ලම බාරව සිටි අතර, අර තාරාවුන් ගෙනැත් කූඩුවට දානෙක, එයාලාගේ කෑම බීමා දී සුවදුක් බලන එක මෙන්ම, රෑට එයාලා එකතු කරගෙන ගිහින් කූඩුවක දාලා වහන එකාදී, වැඩ භාරව සිටි එයාගෙන්, ඒ වැඩ ටික ටික ඉගෙන ගන්නා එකත්, වළලු විකිණිල්ල හා, බෙල්ලකට වළල්ලක් දැම්මොත්, ඇහැ ගහගෙන හිඳ එයාට හිමි තෑග්ග ලබාදීමත් මගේ කාරිය වී තිබුණේය. මේ තෑග්ග වනාහි, කාටත් පේන්න, ස්පොට් ලයිට් එකකුත් එල්ල කරලා, තාරා කොටුව මැද්දෑවේ හිටවාපු රිටක නූලකින් එල්ලා තිබුණු රුපියල් පණහක (මට මතක හැටියට) මුදල් නෝට්ටුවකි. වළල්ලක් විකිණුනේ රුපියලකට හෝ ශත පණහකට විය යුතුය.

කානිවල් මුදලාලිගේ පැත්තෙන්, වැඩේ සංවිධානය කරපු කට්ටිය, එක් එක් දවස්වල අලුත් අලුත් සංදර්ශන, අලුත් අලුත් ක්‍රීඩා අඳුන්වා දීමත්, ඒ වගේ දේවල්, දවල් වරුව තිස්සේ, වෙන්නප්පුව පලාතේ වීදි සංචාරය කල ලවුඩ්ස්පීකර යුගලයක් බැඳගත් වාහනයකින්, සජීවීව ප්‍රචාරය කිරීම හා මුද්‍රිත පත්‍රිකා බෙදීමත් කලෝය. 

මෙහෙම කරපු එක වැඩක් වූයේ, එක සිකුරාදාවක හවස, ජෝශප් වාස් කානිවල් භූමියේ දී, මොකක්ද මන්දා මට හරියට මතක නැති චිත්‍රපටියක රූගත කිරීම් සිදුකරන බවත්, ඒ රූගත කිරීමට, අහවල් අහවල් නළු නිළියන් පැමිණෙන බවත් කියා දින කීපයක් තිස්සේ කරන ලද ප්‍රචාරණයය. ඔය දවස වෙද්දී, කානිවල් භූමිය වටේට අහුරා තිබූ ටකරන් තාප්පයට උඩින් හා ගේට්ටු, කුටිවල වහලවල් දිගේ එල්ලා තිබු පාට පාට ලයිට් වැල් වලට අමතරව, අලුත් ආකාරයේ හැඩ රුවැති බල්බ් වැල් සමූහයකුත් සැණකෙලි භූමිය මැද්දෑවේ මොකද්දෝ ලේසියෙන් තේරුම් ගත නොහැකි රටාවකට එල්ලී තිබුණේය. එහෙම ප්‍රචාරය කිරිල්ල හින්දා, ඒ සති අන්තයේ සැණකෙලි භූමිය, කොළු කෙල්ලන්ගෙන් පිරීතිරී ගියාමුත්, මොකද්දෝ නොවැලැක්විය හැකි හේතුවක් හින්දා, අර චිත්‍රපටිය රූගත කරන්න එන්න හිටි කට්ටියට නම් එන්න වුනේ නැත.

ඔය වගේම පටන්ගත්තු අනිත් කානිවල් සෙල්ලම වූයේ ටොම්බෝලා කැපිල්ලය. උතුරු ඇමරිකාවේ මේ සූදුව ප්‍රචලිත බින්ගෝ කියලාය. ගාණ ගෙවලා ටොම්බෝලා කාඩ් එකක් අරන් කුටියක් ඇතුලේ මේස දිගට වාඩිවී, ඉන්නා ‘ක්‍රීඩක‘ යින්ට ප්‍රධාන මේසයේ කැරකෙන බෝල කූඩුවෙන් බෝලයක් අරන් ඒකේ සඳහන් ඉලක්කම කියන්නට හිටියේ අපට ඉහළ පන්තියක අයියලා දෙන්නෙකි. මතක ඇති නම් හරියටම හරිද විශ්වාස නැති හින්දා, ඒවා නොලියා ඉඳිල්ල හොඳය හිතමි. ඔය ටොම්බෝලා හෝල් එක වටේටම අහුරා තිබුණත්, අර ඉලක්කම් කියන එක සැණකෙලියටම ඇහෙන ගානට ලවුඩ්ස්පීකරයෙන් ප්‍රචාරණය කර තිබුණේය. ඉතින් ඔය ඉලක්කං කීමේ තාලම් ලතා විශේෂණ වලින්, තාරාවුන්ට වළලු විකුණන මගේ කණට ලස්සණටම ඇහුණේ, අදටත් මතක තියන, "හංසයෝ දෙන්නා.... හංසයෝ දෙන්නා.... දෙකයි දෙකයි විසි දෙකයි..." කෝල් එකය.

අද මේ දවසේ ඔය විසිදෙක මතක් වෙන්නට හෙටානිද්දා, පාර්ළිමේන්තුව එන හා විසිහතර වෙනිදා, විපක්ෂය නටවන විසිදෙකත් හේතූ නොවූවා නොවෙයි. එහෙත් මේ සටහන ලියන්නේ නම්, අපේ තාත්තාගේ මතකයටය.
එදා එයා මාසයක් ඇතුලේ කානිවල් එකක් කරලා, ඒ ආදායමෙන් දවසින් දවස ගොඩනැගිල්ලක් හදලා, ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ පන්ති කාමර පහ හයක් වැඩිකරපු වැඩේට අමතරව, එයා මැදිහත් වෙලා, කානිවල් මුදලාලිගේ මුදලින්, ඉස්කෝලේ වතුර ටැංකියට වතුර මෝටරයකුත් හයි කරවූ බව මම දනිමි. ඒ කාලය මුලුල්ලේම, ඒ වෙනුවෙන්ම කැපවී වැඩකල හැටිත්, කානිවල් එකේ මෙන්ම, පහුවදා දවල් වරුවම ගොඩනැගිල්ල හදන තැන, සිමෙන්ති, ගල් ලී ආදියත්, වැඩ කරාපු අයගේ පඩිනඩි බේරා එකලස් කිරීම කල හැටිත් මට මතක තිබේ. ඒ ඉතින් බේබි මහත්තයාය. එයා කරාපු ඔයාකාර නොයෙකුත් සමාජ සේවා වැඩ අතුරින්, අපේ ඉස්කෝලේ වෙනුවෙන් කරපු වැඩ කටයුතු අතර මේ දවස්ටික මගේ හිතේ හොඳින්ම සටහන් වී තිබේ.

ඔයින් අවුරුදු පහකට පස්සේ, නවසිය හැත්තෑ හතේ, දුම්මලදෙණියේ පන්සල් හන්දියේ, අපේ ඉස්කෝලේ පුස්ථකාලයාධිපතිව හිටපු රත්නායක සර් සංවිධානය කරපු, ශ්‍රීලනිප ඡන්ද රැස්වීමක මුලසුනේ හිටියේ අපේ තාත්තාය. 

හැත්තෑහත කියන්නේ, තුන්හවුල දෙදරා, පේරාදෙණියේ දී වීරසූරිය පොලිස් වෙඩි පහරකින් මැරුම් කා, රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනාදිය සංවිධානය කර සිරිමාගේ ආණ්ඩුව ආසන අටකට බස්සා, ජේ. ආර්. දුම්මල වරම අතට අරගත්තු ඡන්දයයි. 

එදා ඒ රැස්වීමට කථිකයින් හිඟයක් තිබුණු අතර, රත්නායක සර් ඇවිල්ලා, පොල් ගහකට බයිසිකලය හේත්තු කරලා, ජයේත් එක්ක රැස්වීම අහ අහා හිටපු මගෙන්, "ආන්ජලෝ පැය බාගයක් විතර කතා කරන්න පුළුවන් ද"
ඇහුවාම දෙපාරක් අහන්න කලින් වේදිකාවට නැග්ගේත්, සිරිමා ආණ්ඩුවේ මොනාකාර වැරදි තිබුණත්, වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයේත්, ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේත් එදා අද වෙනසත්, වේදිකාවල බිම ඇණ තියාන රටේ දුප්පත් මිනිස්සුන්ගේ දේශපාලන පක්ෂය ලෙස යූ. ඇන්. පි. ය හුවා දක්වන ජේ. ආර්. ගේ නැෂනල් එක පිටු පස්සේ හැංගී ඉන්නා, රටේ රදල වංශක්කාර පැලැන්තියේ හෙවනැල්ලත්, අපි ගහන කතිරයේ සලකුණු විය යුතුය කියලා කතා කරන්නට තරම් හයියක් තිබුණේත්, එදා තාත්තාගේ හිතිවිලි තේරුම් ගන්නට මට පුළුවන් වූ නිසායැයි සිතමි.

අපේ තාත්තාගේ උපන් දිනය, 1926 සැප්තැම්බර් 13 දා ය. අද ජීවත්ව හිටියානම් එයාගේ වයස අවුරුදු සියයකි.




අර ටොම්බෝලා ගැහිල්ල දවස් තුන හතරකට වඩා කෙරුනේ නැත. දාදු ලෑල්ලේ ඔට්ටු දැමිල්ල, ගමේ කමට කිට්ටු සූදුවක් වුනාට, ඉහල පැලැන්තියේ සූදුවක් වූ ටොම්බෝලා ගැහිල්ල, එදා අපේ ඉස්කෝලේ තත්වයට නොගැලපෙන එකක් ලෙස සලකා, ඒක අයින් කරන්නැයි, සෑහෙන පිරිසකගෙන් විරුද්ධත්වයක් ආයේය යන්න මගේ මතකයයි.





No comments:

Post a Comment

Blogroll

About