Wednesday, October 30, 2024

කඳුළු බිංදුවකට වුනත් ස්වර්ණා

 

picture: Designed by freepik

   කඳුළු බිංදුවකට වුනත් ස්වර්ණා

පුළුවනි දේ දුන්නක් හදන්න...
එකතුවෙලා ගලද්දි
සුදට දිලිසෙන ආලෝකය
පාට පාට වර්ණ වලට කඩලා
පාර ජම්බුල ඉඳන්
අධෝරක්ත වෙනතුරු

දම්පාට, නිල්පාට, කොලපාට
කහපාට
, තැඹිලි පාට, රතුපාට
එළිය තීරු එක එක ලඟින් තියලා
කොහේදෝ නැති සතුටක් අරන් ඇවිත්
මුළු හිතම පුරවලා උතුරවන
මායා කාර දේදුන්නක් හදන්න

ඒක වෙන්නේ
ඔය දිය බිංදුව ඇතුලෙන් යද්දී
එක එක පාට ආලෝක කිරණ
එක එක කෝණ වලින්
නැවෙන නිසයි ස්වර්ණා....

හරියට කූඹි පේලියක් හරහට
ඇඟිල්ලෙන් ඉරක් ඇන්දම
ගමන් මග පටලැවිලා
කූඹි රෑන් රෑන්
හිතුමතේ යනවා වගේ....

හරියට කොටුවෙ බස් නැවතුමට
එක සීරුවට ඇවිදගෙන එන කට්ටිය
එක එක බස්වල නැගලා
එක එක පැතිවලට යනවා වගේ...

කඳුළු බිංදුවකටත් පුළුවන්
සුදට දිලිසෙන ආලෝකය
පාට පාට වර්ණ වලට කඩලා
දේ දුන්නක් හදන්න....

හැබැයි,
ඒක ‌වෙන්න නම් ඉතින්
,
ඔය කඳුළු බිංදුව
,
ඉර එළිය කිරණක්
,
වැටෙන තැනක තියන්නත් ඕනා.

ස්වර්ණාට ලියූ අනිත් සටහන් වලට සබැඳිය

Continue Reading...

Sunday, October 20, 2024

මේ මොහොත ගෙවී යනු ඇත...



පිච්ච මල් පෙති පිරුණු
බන්දේසියකි දොරකඩ
උදේ හිරු රැස් ඉසී
සීතලට හිනාවෙන... !

හිතේ දුක් වල කහට
සුසානයෙ සොහොන් මෙන්
සුදු හිමෙන් වහන්නට
හිම වැටුණ මේ මොහොත
හැම මොහොතක්ම මෙන්
ගෙවෙනු ඇත මොහොතකින්

වියෝවෙන සුසුමක්
පෙති හැළුණු පියුමක්
මැකීයන පා සළකුණක් වී
සිහිනයක් කර සඟවා
අද දකින සිහිනය...
ඉතිරි කර මතකය...

සොඳුරු යැයි සිතේ නම්
සොඳුරු වේමැයි හෙටත්
අඳුරු මොහොතක
අඳුරු සිතිවිලි
සෙවනැලිව ගැවසෙයි යලිත්

එහෙත් නොනිවෙයි ගින්න
පරපුරක දුක් දන්න
ජ්වලනාලෝකයෙන්
විශ්වයම එකළු කර
සුදු හිමත් දියවෙන්න
කවි හිතක් ගිනිගන්න...



දැන් ඉතින්  පත් හැළුණු රිකිලි මත හිම කුසුම් රැඳෙන සමයයි. උතුරු සුළඟෙන් ගෙනෙන සීතල වලාකුළු ඝනීභවනය කර පෙති අඹා මල් හදා මහ පොළව මත ඉසින සිසිරයේ ඇරඹුමයි. මෙවැනිම සිසිරයක මුල, වසර ගණනකට පෙර ලියවුණු මේ පද ටික ලියවුණේ වෙඩ්ඩාගේ, මංජුල වෙඩිවර්ධන ගේ කවියකින් කම්පිතව බව මතකය.









Continue Reading...

Wednesday, October 16, 2024

සෙව්වන්දිගෙ වැහි බිංදුව

 













සෙව්වන්දිගෙ වැහි බිංදුව
සරත් කාලෙ දවසක
ඒ කියන‍්නෙ මල් පිපෙන කාලෙ අග
සීත කලාපෙ රටවල ගස්වල කොළ
කහ පාට වෙලා රතු පාට වෙලා
නටු වලින් ගිලිහිලා
සුළං රැළි වල දැවටිලා
තාලෙට නට නටා
පුංචි ළමයි වාගෙ
උඩ පැන පැන
පාවෙලා යන කාලෙ

හෙමීට හෙමීට
කම්මැලිකමේ ගාට ගාට ආපු
මහ විසාල වලාකුලක
අග හරියෙ කෙළවරේ
දියවෙච්ච පුළුන් රොදක් වගේ
විසිරිච්ච ඇඟිල්ලක එල්ලිලා
පුංචිම පුංචි වැහි බින්දුවක්
‍‍ඔංචිලි පැද පැද හිටිය...

වලාකුල චුට්ටෙන් චුට්ට
අහස හරහට යද්දි
ඈත ඉරේ ඉඳල
අකමැත්තෙන් වගෙ ගැලවිල ආපු
සුදුම සුදු‍
ලොකුත් නැති
පොඩිත් නැති
ඒත් මහා කඩිනමකින්
දුවගෙන ආපු
එළිය රළක්...
වැහි බින්දුවෙ හැප්පුනා...

දන්නවද වෙච්ච දේ...
දන්නවද...?

ඒ සුදුම සුදු
එළිය රළ බෙදුනා
පාට පාට වලට...!
පාට හතකට...
චුට්ටං දේ දුන්නකට ...!
කහ පාට, කොළ පාට,
නිල් පාට, නිල් දම් පාට, දම් පාට
පාට හතකට....!

ආකාසෙ පුරාම විහිදිලා
මහ විසාල පාට පාට පාලමක් වගේ
එල්ලිලා තියෙන දේ දුනු හැදෙන්නෙත්
එහෙමම තමයි.

වලාකුළු අගිසි වල
විසිරිච්ච ඇඟිලි වල එල්ලීගෙන
ඔංචිලි පදින පුංචි වැහි බිංදු වල
හැප්පෙන ඉර එළිය රැලි
පාට පාට වලට
පාට හතකට

රතු පාටට, තැඹිලි පාටට,
කහ පාටට, කොළ පාටට,
නිල් පාටට, නිල් දම් පාටට, දම් පාටට
බෙදිලා විසිරිලා පැතිරිලා...‍

ඔංචිලි සෙල්ලං ඉවර වෙලා
වැහි බිංදු විසිරුනාම
දේ දුන්නෙත් ඉතින් පාට ඇකිලිලා හැංගෙනවා
හරියට පාට පාට ඇඳුම් ඇඳගෙන
මිදුල පුරා දුව පනින පොඩි අය
හවසට ගෙදර ගියා වගෙ තමයි.

ඉතින්...
‍ඔංචිලි පැද්ද වැහි බිංදුවෙ
අර දුවගෙන දුවගෙන ආපු
කලබල එළිය රළ හැප්පිලා හැදිච්ච
මේ චුට්ටි දේ දුන්න
ගිලිහිලා ගිහින්
පහළට... පහළට... පහළට ගිහින්...
ටික ටික දැනෙන සීතල නිසා
පෙති පොරවගෙන ඇකිලිලා හිටිය
සෙව්වන්දි‍ෙග මූණෙ තැවරිලා
නතර වුනා...
පාට හතම...!
රතු පාට, තැඹිලි පාට,
කහ පාට, කොළ පාට,
නිල් පාට, නිල් දම් පාට, දම් පාට

සීතලට මල් වල
පාට අඩුවෙලා
මැකිල බොඳවෙලා
යන කාලෙ...

පාට පාට පාට හතක්
අරන් දුවගෙන ආපු
චුට්ටි දේදුන්න දැකලා...
සෙව්වන්දී හිනැහුනා
පෙති විහිදල හිනැහුනා
සිනා සුවඳ විහිදිලා
ඈත ඈත පියඹලා
වලාකුලේ ගෑවිලා
වලාකුලම සුවඳ වුනා

දන්නවද...

මල් වල සුවඳ දැනෙන්නෙ
මල් හිනැහෙන කොට...
සතුටින් හිනැහෙන කොට...
සුවඳ කියන්නෙ
මල් කතා කරන විදිහ තමයි
මල් සතුටින් අපට කතා කරද්දි තමයි
අපට දැනෙන්නෙ මල් සුවඳ...
ඉතින් සෙව්වන්දිගෙ
සුවඳ සුවඳ සතුටු සුවඳ දැනුණු...
වැහි බිංදුව හිනැහුනා
ඔන්චිල්ලේ පැද්දුනා
ඒ පැත්තට මේ පැත්තට
පැද්දි පැද්දි හිනාවෙවී
තව හයියෙන් තව හයියෙන්
හිනාවෙවී පැද්දිලා
අහස දිගේ පාවෙලා
පුංචි පුංචි වැහි බින්දුව
හීන් සැරේ හෙමින් සැරේ
පරෙස්සමට පරෙස්සමට
පහළට පහළට ඇවිදින්
නතරවුනා සෙව්වන්දිගෙ...

.......................................

සිනිඳුම සිනිඳු
රෝසම රෝස පාට
පෙත්තක් උඩ...!

සෙව්වන්දි මොකද කළේ... දන්නව නේද?
හිනැහුණා...
තව තව හිනැහුණා
වැහි බිංදුව එක්ක හිනැහුණා...
සෙව්වන්දි හිනැහෙද්දි

මොකද වුනේ... දන්නවනෙ...?
සුවඳ විහිදුනා....
ඈතට ඈතට යනකල්
දිගට දිගට විහිදුනා.... සෙව්වන්දිගෙ සුවඳ....!

ඔන්න ඉතින් සුළඟ නටන්න ගත්තා
උඩ පනින්න සුලි කරකැවෙන්න
පිනුම් ගහන්න දඟලන්න ගත්තා
ගස්වල අතු අස්සෙන්
හයියෙන් හයියෙන් රිංගගෙන ගිහින්
හූස් හෝස් ගාලා සද්ද කරන්න ගත්තා
කහපාට වෙලා
අතු වලින් ගැලවිලා
ගස් යට දිගාවෙලා
ඇස් පියාන හිටපු පුංචි කොළ
එහෙ මෙහෙ විසි කරල ඇහැරවල
අඬවන්න පටන් ගත්තා

සුළ‍ෙඟ දඟකාරකම වැඩි වැඩි වෙලා
එයා ගිහින් ගසුත් හොල්ලන්න පටන් ගත්තා
කහ පාට
රතු පාට
ලා කහ පාට
ගින්දර පාට
රතුම රතු පාට
පාට පාටට
කොළ එල්ලගෙන
ආඩම්බරෙන් හිටපු මේපල් ගස්
හොලවලා හොලවලා හොලවලා
පාට පාට කොළ ගලවලා
වීසිකරන්න පටන් ගත්තා
සයිප්‍රස් ගසුත් හෙල්ලුවා
හයියෙන් හෙල්ලුවා
හුඟක් හයියෙන් හෙල්ලුවා
ඒත් ඒවායෙ හීනි කූරු කූරු
කොළ පාට කොළ
ගැලවුනේ නෑ එහෙමම තිබුනා
ඒවයෙ කොළ හැමදාම

හැමදාම හැමදාම
කොළම කොළ පාටයි
සීතලට හුළඟට බෑ ... ඒ කොළවල පාට මකන්න...!

ඉතින් මේ විදිහට දඟම දඟ සුළඟ
දඟම දඟ විදිහට
දඟල දඟල දඟ කර කර
මේපල් ගස්වල කොළ ගලවලා
හැමතැනම විසි කරලා හැඩිකරලා
සයිප්‍රස් ගස් හොලවලා හොලවලා
නරකම නරක දඟයෙක් වගේ
දඟල දඟල දඟ කර කර ගිහින්...
අනේ සෙව්වන්දිවත් හෙලෙව්වා...
හෙමීට හෙමීට ‍පැද්දි පැද්දි
එහෙට මෙහෙට පැද්දි පැද්දි හිටි සෙව්වන්දිව
හයියෙන් මහ හයියෙන්
හයියෙන්ම හයියෙන්
හෙලෙව්වා සුළඟ
සෙව්වන්දි පෙති අකුල ගත්තා
තද කරගත්තා
හිනාව නැවතුනා
සුවඳ නැවතුනා
එයාට බය හිතුණා
දුක හිතුනා...

ඇයි....
ඇයි දන්නවද...?

එයාට බය හිතුණා
එයාට දුක හිතුනා
සුළඟ ඇවිත් හොල්ලන කොට
එහෙට මෙහෙට පද්දන කොට
මහ හයියෙන් ඒ පැත්තට ආයෙ ඇවිත් මේ පැත්තට
තල්ලු කරල හොල්ලන කොට
අර පුංචිම පුංචි වැහි බින්දුව
වීසි වෙලා යයි කියලා
වීසි වෙලා වීසි වෙලා ගිහින්
ඈතට ඈතට වීසිවෙලා....
බිමට වැටෙයි, වැලි උඩට වැටෙයි, පස් උඩට වැටෙයි කියලා...!
එහෙම උනොත් වැහි බිංදුව
වැලි අස්සෙ පස් අස්සෙ හැංගිලා... හැංගිලාම යයි
ආයෙ දකින්න බැරි වෙන්නම
හැංගිලා යයි කියලා
සෙව්වන්දිට දුක හිතුණා
හුඟක් දුක හිතුණා
සෙව්වන්දි පෙති තද කරගෙන
තදින්ම තද කරගෙන
වැහි බිංදුව තුරුළු කරගෙන
තුරුළු කරගෙන හිටිය

සුළඟ නවත්තන්නෙ නැතුවම නැටුවා
උඩ පැන්න දැඟළුවා
ගස් හෙලෙව්වා
සෙව්වන්දිවත්
හයියෙන්
එහාටයි....
මෙහාටයි....
තල්ලු කළා...

සුළඟ ගිහින් මේ පැත්තෙන්
මහ හයියෙන් දුවන් එද්දි
අර පැත්තට තල්ලු වුනා
සෙව්වන්දිව තල්ලු වුනා
සුළඟ ගිහින් අර පැත්තෙන්
මහ හයියෙන් දුවන් එද්දි
මේ පැත්තට තල්ලු වුනා
සෙව්වන්දිව තල්ලු වුනා
එහෙට මෙහෙට
ඒ පැත්තට මේ පැත්තට
මේ පැත්තට ඒ පැත්තට
හැම පැත්තටම හෙල්ලුවත්
සෙව්වන්දි
පෙති තද... කරගෙන
වැහි බිංදුව තුරුළු කරගෙන
ඇස් වහගෙන හිටියා.

සුළඟ දඟලද්දි
දඟලන සුළ‍‍ෙඟ හැප්පිලා තල්ලුවෙලා
වලාකුළු තල්ලු වෙලා ගියා
ඒ පැත්තට තල්ලු වුනා
මේ පැත්තට තල්ලු වුනා

තල්ලු වෙලා තල්ලු වෙලා
අහස පුරා ඒ පැත්තට මේ පැත්තට
දුවලා දුවලා දුවලා දුවලා
වලාකුළු ටිකින් ටික ටිකින් ටික
උණුසුම් වුනා
උණුසුම් වෙලා, උණුසුම් වෙලා
ඒ උණුසුම විදුලි පුළිඟු වෙලා
පිපිරෙන්න ගත්තා


විදුලි එළිය රිදී පාට නූල් වගේ

අහස පුරාවට විහිදුනා
දිලිසෙන රිදී පාට මකුළු දැල් වගේ
අහස පුරාවට දිලිසුණා
ඒ රිදී නූල් ඇදිල ඇදිල බිඳුනෙ
මහා හයියෙන් කෑ ගහලා
මහා හයියෙන් ගොරවලා
අහල තියෙනව නේද
විදුලි එළිය දිලිසිලා
එක පාරටම මහා... හයියෙන්
පිපිරෙන සද්දෙ...

සෙව්වන්දි
පෙති තද... කරගෙන
වැහි බිංදුව තුරුළු කරගෙන
ඇස් වහගෙන හිටිය
ඇස් වහගෙන හිටිය...
රෝස පෙති අස්සෙන්
බිංදු බිංදු විදුලි එළිය රිංගලා ඇවිත්
රෝසම රෝස පාටට
වැහි බිංදුවට වැටිල දිලිසුනා
අර අපි ඇස් වහගෙන ඉද්දිතද එළියක් වැටුනම
රෝසම රෝස ප‍ාටට පේන්නෙ....
අපේ ඇඟිල්ල
විදුලි පන්දමේ එළියට අල්ලපුවම
ලාවට රතු පාටට එළිය පේන්නෙ...
හරියටම අන්න ඒ වගේ...

රෝසම රෝස පාට එළිය වැටිලා
සෙව්වන්දිගෙ පෙති අතරෙ
වැහි බිංදුව දිලිසුනා...
ලස්සණම ලස්සණ රෝස පාටට
සෙව්වන්දිගෙ රෝස පාටටත් ව‍ඩා
රෝස පාටට දිලිසුණා
බය හිතුණත්... දුක හිතුණත්

සෙව්වන්දි යාන්තමට හිනැහුණා...
සෙව්වන්දි හිනැහුණාම...
සුවඳ ගලන්න ගත්ත.

ඒත්...
ඒ සුවඳ කොහේවත් ගියේ නෑ
සෙව්වන්දිගෙ පෙති අතරෙම රැඳුන
සෙව්වන්දිගෙ පෙති අස්සෙ
හීන් හිනා සුවඳ පිරිල ඉතිරුණා
වැහි බින්දුව
ඒ සුවඳින් පිරිල ගියා
වැහි බින්දුවත්
යාන්තමට හිනැහුණා
සෙව්වන්දිගෙ සුවඳ හිනා‍වත් එක්ක
හැමතැනම සුවඳ වෙලා
වැහි බින්දුවත් සුවඳ... සුවඳම වෙලා
සුවඳ පැන් පොදක් වෙලා...

සුළඟ තවත් හයියෙන්
තල්ලු කලා වලාකුළු
ලොකු ලොකු වලාකුළු තල්ලුවෙලා ගිහින්
මහ හයියෙන් එකට හැප්පුනා
වලාකුළු වල හැංගිලා හිටපු වැහි බිංදු
විසිවෙලා ගිලිහිලා වැටෙන්න පටන් ගත්තා
ඒ වැහි බිංදු බිමට වැටෙන්න කලින්
සුළං හොරා ඈත ඈත උතුරටම ගිහින්
තල්ලු කරගෙන තල්ලු කරගෙන ආව
මහා සීතල සුළං
සීතලම සීතල සුළං
ඈත ඈත ඈතම උතුරෙ ඉඳන්...

සීතල, සීතල, සීතලම සුළං
වැදුනම මොකද වුනේ
අර වලාකුළු වලින් ගිලිහිලා වැටුනු
වැහි බිංදු වලට...
ඒව සීතල වෙලා
සීතල සීතලම වෙලා
සුදුම සුදු පාට හිම කැරලි වුනා...

හිම හැදෙන්නෙ එහෙම තමයි...
පුංචි පුංචි වැහි බිංදු...
සීතලම සීතල සුළඟ වැදිල
සීතලම සීතල වෙලා
සීත‍ලෙන් මිදිල තමයි
සුදුම සුදු පාට හිම හැදෙන්නෙ...

ඉතින්...
සුදුපාට හිම කැරලි
පාවි පාවි බිමට වැටුනා
නවතින්නෙ නැතුව වැටුනා
දඟල දඟල උඩපනින සුළඟෙ
හිම කැරලි පිනුම් ගහමින් කැරකුනා
සුළං හොරා ඒව හැම තැනම පා කරල විසිරුවා
හැම තැනම වැහුණ
සුළඟට යන්න පුළුවන් හැමතැනම
සුදු පාටින්... සුදුම සුදු පාටින්
සුදු පාට සීතල හිම සළුවකින්
හරියටම ‍
සුදුම සුදු රෙද්දකින් වැහුව වගෙ වැහුණ...!

මේපල් ගස් වල කොළ හැළුනු අත් වල
හිම පොකුරු එල්ලුනා
සයිප්‍රස් ගස් වල කොළ පාට හීන් කොළ අස්සෙ
හිම කැරලි හැංගුනා
හැම තැනම සුදු පාටයි
සුදුම සුදු පාටයි
කොළ පාටට හිනා වෙවී ඉඳලා‍
සීතලට කහ පාට වුනු තණ කොළ
සුදුම සුදු හිම යට හැංගිලා හිම රෙද්දකින් පෙරවිලා නිදි

ගඟේ වතුර සීතල වෙලා
සීතලම සීතල අයිස් තට්ටුවක් වුණා
ඒත් ඒ අයිස් තට්ටුවට යටින්
ගඟ ගලාගෙන ගියා
දන්නවද...
කොච්චර සීත උණත්
මතුපිට සේරම අයිස් වුණත්

ගඟ ගලනවා ඒ අයිස් වලට යටින්
මොකටද....? පුංචි මාළු පැටවුන්ට පීනන්න...

ඉතින් සෙව්වන්දි...?

සෙව්වන්දිගෙ වැහුණු පෙති උඩටත්
හිම කැරලි වැටුණ
සෙව්වන්දි සීතලෙන් වෙවුලල ගියා
හිම ටික ටික වැඩිවෙලා වැඩිවෙලා
සෙව්වන්දි හිම වලින් වැහිල ගියා...
සුදු පාට රෙද්දක් පෙරෙව්ව වගේ වැහුණ

සීතල තවත් වැඩිවුනා...
හෙමින් හෙමින්
සෙව්වන්දිත් සීතල වුනා
ඒත් සෙව්වන්දි අමාරුවෙන්
යාන්තමින් හිනාවුණා
වැහි බිංදුවත් එක්ක
පෙති අතරෙ තුරුළු වෙලා හිටි
වැහි බිංදුවටත් සීතල දැනෙන්න ගත්තා
හෙමින් හෙමින් හෙමින් හෙමින්...
වැහි බිංදුව සීතල වෙලා
සීතල සීතලම වෙලා
පුංචි අයිස් බිංදුවක් වුණා
සෙව්වන්දි‍ගෙ ඇස් චුට්ට චුට්ට පියවෙන්න ගත්ත....
සීතල වැඩිවෙලා වැඩිවෙලා ගියා
අන්තිමේ සෙව්වන්දි
පුංචි අයිස් කැටෙත් තුරුළු කරගෙන
දිගම දිගම දිගම දිග නින්දකට ගියා...
ඒත් ඒ පුංචි අයිස් කැටේ ඇතුලෙ
දියවෙලා එකතු වෙලා මිදිල තිබුණා
තවමත්... සෙව්වන්දිගෙ හිනා සුවඳ...

පෙති තද කරගෙන...
වැහි බිංදුව තුරුළු කරගෙන
හිනැහෙන කොට විහිදිලා
පෙති අස්සෙම හැංගිලා
වැහි බිංදුවෙ දියවෙලා
සුවඳ සුවඳ සුවඳම සුවඳට
වැහි බිංදුව සුවඳ කරපු
සෙව්වන්දිගෙ හිනා සුවඳ...

දවස් ගාණක් සුළං හොරා
ඈත ඈත ඈතම උතුරට ගිහින්
තල්ලු කරගෙන තල්ලු කරගෙන
සීතලම සීතල සුළඟ අරන් ආව
සීතලම සීතල සුළං අරන්
මහ හයියෙන් දුවන් ඇවිත්

වලාකුළු හප්පල
වැහි බිංදු වට්ටල
ඒව සීතල කරල
සීතලම සීතල කරල
හිම කැරලි හදල
බිමට දැම්ම...
හැම පැත්තටම පිඹල
විසුරුවල දැම්ම...!

සමහර දවසට
වැලිකැට වැලිකැට වැලිකැට
වාගේ
කුඩු කුඩු හිම කුඩු හදලා ‍එව්වා

සමහර දවසට
විසිරෙන පැතිරෙන පුළුන්ම වාගේ
දැල් දැල් හිම දැල්
හදලා එව්වා

සමහර දවසට
මල් මල් මල් මල් මල් මල්
වාගේ
හිනැහෙන හිම මල්
හදලා එව්වා

සමහර දවසට
තෙතටම තෙත තෙත තෙත හිම
අරගෙන
ගුලි ගුලි හිම ගුලි
හදලා එව්වා

සමහර දවසට
ලස්සණ ලස්සණ ලස්සණ
හිම පෙති
පාවෙන හිමපෙති
හදලා එව්වා

සමහර දවසට
ගල්කැට ගල්කැට ගල්කැට වාගේ
හිම කැට හිම කැට
හදලා එව්වා....

ඔය ඔය විදිහට....
සමහර දවසට පුංචි මී මැස්සො වගෙ
රූං රූං කියාගෙන
දුවගෙන යන සුළඟ එක්ක
කඩිමුඩියෙ ඉගිල්ලිලා ... යන හිම
සමහර දවසට මල් පෙති වගේ
තැප්පි තැප්පි ඕනැවට එපාවට
පැද්දි පැද්දි යන සුළ‍ඟෙ
පා වෙවී පා වෙවී පාවෙලා.... යන හිම

සමහර දවසට සාළුවක් වගේ
දිය ඇල්ලක විසිරෙන මීදුම වගේ
ගලාගෙන වැක්කෙරෙන හිම....
මේ හිම සේරම එකතු වෙලා... එකතු වෙලා....

හිම කඳු කඳු, උස කඳු, මිටි කඳු, තැන තැන එකතු වුණා.
සෙව්වන්දියි සෙව්වන්දිගෙ
පෙති අස්සෙ තුරුළු වෙච්ච වැහි බිංදුවයි
හිම කන්දකින් වැහිල ගියා
ඒ හිම කන්ද උඩ
පුංචි ළමයි සෙල්ලම් කලා
බර කබායවල් ඇඳල
සීතල නොදැනෙන්න
ඒ ගොල්ලො හිම කන්ද දිගේ රූටල ගියා
හිම බෝල හදල වීසි කලා
එක් එක් කෙනාගෙ ඇඟට
හිම ගුලි එකතු කරල
රූප ඇඹුව...

මේ සේරම වෙද්දි
සෙව්වන්දි හිම කන්ද යට හිරවෙලා හිටිය
එයා ආයෙත් හිනා වුනේ නැහැ
පියා ගත්ත පෙති අතර උණුසුම නැතිම වෙලා
වැහි බිංදුව සීතලම සීතල අයිස් බිංදුවක්ම වෙලා
හිම කන්ද යට
සෙව්වන්දිගෙ පෙති අතර තුරුළු වෙලා
සෙව්වන්දියි අයිස් බිංදුවක් වුණු වැහි බිංදුවයි දිගම දිග නින්දක...

‍ඔන්න ඉතින් උතුරු පැත්තෙ සීතල සුළං ඉවර වුණා
සුළං හොරා දකුණු පැත්තෙන් උණුහුම් සුළං තල්ලු කරා
ටික ටික ටික ටික සීතල අඩුවෙවී අඩුවෙවී ගියා...
සීතල අඩු‍වුනා කියන්නෙ...
ආයෙත් ‍
ටික ටික ටික ටික
උණුසුම දැනෙන්න ගත්ත...!

ටික ටික ටික ටික
උණුසුම වැඩිවෙද්දි
සුදුපාට හිම හෙමින් හෙමින්
දියවෙලා බිංදු බිංදු බිංදු බිංදු ගලාගෙන ගියා...
හිම දියවුනාම හැදෙන්නෙ මොනවද... වැහි බිංදු...!

වැහි බිඳු බිඳු එක් වෙලා
පොඩි පොඩි දිය ඇළි වෙලා
ඒ දිය ඇළි එක්වෙලා
පොඩි පොඩි ඇළදොළ වෙලා
ඇල‍ දොල දිය එක් වෙලා
ලොකු ගංගාවක් වෙලා
දුවගෙන දුවගෙන ගියා

මිදුල් පුරා... එහෙන් මෙහෙන්
ගස් අස්සෙන්... පාර දිගේ
තැන තැන මඩ වල වල් හද හද
දුවගෙන දුවගෙන ගියා

හිම යට නිදියන් හිටි‍ ‍කොළ
අවදි වෙලා උඩට ඇවිත්
දිය ඇලි වල පාවෙලා
ඇළ දොළ වල පාවෙලා
ගංගාවේ පාවුණා

ඈතට ඈතට ඈතට
හෙමිහිට හෙමිහිට හෙමිහිට
හිම දියවුණු වැහි බිඳු වල
ඇහැරුණු කොළ පාවුණා

‍තව තව උණුසුම් උනා
තවත් තවත් දියවෙලා දියවෙලා හිම කන්ද
දිගටම දිගටම දියවෙලා
ගලාගෙන ගිහින්
චුට්ටංම චුට්ටි හිම කැටියක් වුනා...

ඉතිං සෙව්වන්දි....?

හිම දියවෙලා වැහි බිංදු වෙලා
දුවපු දියපාරෙ කහපාට කොළ එක්ක
යාන්තං රෝස පාට සෙව්වන්දිගෙ පෙතිත් පාවුණා....
සමහර රෝස පෙති කහ පාට කොළ උඩ
සමහර රෝස පෙති රතු පාට කොළ අගිසි වල
සමහර රෝස පෙති තනියෙන්ම....
සමහර රෝස පෙති එකට එකට තුරුළු වෙලා...

පුංචි දිය ඇළි දිගේ
ඇළ දොළ දිගේ
ගංගාව දිගේ
ඒ රෝස පාට
රෝස පෙති පාවෙද්දි...
ආයෙත් විහිදුනා...
සෙව්වන්දිගෙ සුවඳ...
ඇයි...?

මතකද?

සෙව්වන්දිගෙ පෙති අස්සෙ
තුරුළු වෙලා සෙව්වන්දිගෙ හිනාවෙ
සුවඳ එකතු කරගත්ත වැහි බිංදුව....?

අයිස් බිංදුවක් ‍වෙලා සෙව්වන්දි එක්ක
සුළං හොරා ගෙනත් දාපු හිම යට
යට වෙලා හිටිය
සුවඳ වැහි බිංදුව...!

ඉතින් හිම බිංදු දියවෙන කොට
වැහි බිංදුවත් දියවුණා...
වැහි බිංදුව දියවුණාම...
ඒකෙ රැඳිල තිබුණු සුවඳ...
ඒ සුවඳත් දියවුණා...
ආයෙත් ආයෙත් විහිදුනා... හැම තැනම විසිරුණා
හැම තැනම හැමතැනම...

ඒ සුවඳ දැනුන හැම කෙනාටම දැනුන...
මොකක්ද...?
සෙව්වන්දිගෙ...
හිනාව... සතුටු හිනාව...
දන්නවනෙ..
මල් කතා කරන්නෙ සුවඳ විහිදලනෙ...

ඉතින්.. අදටත්
සීත කලාපෙ රටවල
සීත කාලෙ ඉවර වෙලා
හිම දියවෙලා යද්දි
හැම කෙනාම
කිසිම හේතුවක් නැතුව
හිනැහෙනවා...
දකින දකින අය එක්ක හිනාවෙනවා
දන්න අය නොදන්න අය
එදාම දැක්ක අය ඔය කා එක්කත් හිනාවෙනවා
සතුටින් හිනාවෙනවා...
දියවෙන හිම වතුර ගලායන පාරවල් දිගේ
තනියෙන් ඇවිදින කොට උනත්
සතුටු හිනාවල් හිනැහෙනවා...

දන්නව නේද ඇයි කියලා...?



Continue Reading...

Saturday, October 12, 2024

එපා කියපු අය....

 



කොයි තරම් බලාපොරොත්තු ඇතුව පොරොත්තුව, පොරොත්තුව, පොරොත්තුව, හිටියත්, කල් යල් බලා ගිහින්, උදේ පාන්දර නොදන්නා සේ මුලිච්චි වීම, බස් පොලේ, වැඩ පලේ මොකක් හෝ වැඩකට නැති හේතුවක් හොයාන ගිහින්, ඒත් නැත්තං ටවුම මැද්දේ ඔරලෝසු කණුව යටදීම, අතේ ඔරලෝසුව පෙන්නා, වෙලාව ඇහීම, හැන්දෑකරේ ගෙවල් පැත්තේ යන ගමන් ඒ ගෙදර ඉස්සරහාම, බයිසිකලේ චේන් පැනිල්ල, පැට්රල් ඉවරවීම වගේ දේවල් සිද්ධ වීම ආදී, වන් තවුසන්ඩ් වන්  පෙරුම් පිරිලි පුරාලාත්, මොකක්ම හෝ නොගැලපිල්ලක් හින්දා එපා කියපු අයෙක් දෙන්නෙක් හෝ බොහෝ අයගේ ජීවිත වල සිටී.

ඔව්වා, අද ඊයේ පටන්ගත්තු එව්වා නම් නොවෙයි. සිරි කාලකන්නියා වූ පිංගුත්තර නම්වූ මානවකයා එපාම එපා කියා දිඹුල් ගහක නංගවා ගහ මුල කටු වට කර ගිය උදුම්බරා දේවී ගේ කතාව එන්නේ උම්මග්ග ජාතකයේ ය. උරය පලා ලේ පොවා රැකගත් පදුම කුමාරයා පව්වකින් පහලට තල්ලු කර, අත පය නැති කොටා පැසක ලා හිස තබාගෙන ඇවිදිමින් රැක්ක දේවියගේ කතාව තියෙන්නේ චුල්ල පදුම ජාතකයේ ය. ඔවැනි අති උත්කර්ෂවත් මෙන්ම, සුළුතර හා නොසුළුතර නොයෙක් ආකාර, එපා වීම් හා එපා කීම්, ඉතිහාසයේ කොතෙකුත් තියේ.

පහුගිය ජනාධිපතිවරණයේදී අනුර සහෝ කප් එක ගත්තත්, ඒක සුළුතර වින් එකක්ය, ඡන්දය දුන් උන්ගෙන් බාගයකට වඩා එයාව එපා කියා තිබේය යනාදී වශයෙන් නොයෙකුත් කෙලතොළු කතා කියන කටවල් වල සද්දය ඇහෙන හින්දා මේ එපා කීම් ගැන හිතන්නට මගේ හිතටත් මොකක්දෝ කුයි කුයියක් ආවේය.

හෙටානිද්දා, මහ ඡන්දයකුත් තියන හින්දා, මේ ආලවට්ටම් අඬෝවැඩියාව දැන් දැන් බොහෝ අයගේ, ඡන්ද කෙඳිරියේ කෝරස් පේලිවලටම ඇලවී තියෙනාතර, ඒ අස්සේ දෙනවායි දෙනවායි කියූ නොමිනේෂන් එක, නෝ මිනේෂන් එකක් වෙච්ච හින්දා, අප්පා මුත්තා කිරිකිත්තා ගේ හිට අරකේ මේකේ ඇදේ කියන කතන්දරත්, අරයට හේම කරපු හින්දා, දුන්නු එකත් එපා කියා වනගත වෙන කතන්දරත් කීපයක් ඡන්දෝත්සව සමයේ තොරණ විස්තර වල කවිකර නොකර හා බෙර ගසා හා නොගසා ගායනා වෙමින් තියෙයි. එව්වාත් ඉතින් එපා කීම් හා එපා කියවීම් මය.

ප්‍රජාතන්ත්‍රවාදයය කියන වචනය පමණක් නොව, මානව හිමිකම්, ජාතිය, ආගම, ජාතිකත්වය, ආර්ථිකය, පුරවැසියා, මහජනයා, ජාති මාමකත්වය, දේශය, ධර්මය ආදී බොහෝ වචනවලටත්, එක් එක් පාට ආලේප කර, එක් එක් අර්ථවලින්, දේශපාලනික ධර්ම දේශනා පවත්වා, ඡන්දය දෙන උන්ගේ ඔළුව මඤ්ඤං කරවීම මෙන්ම, එක් එක් කෝනංගි ඇඳුම් ඇඳගෙන බොරු කකුල් මෙන්ම බොරු නැති කකුල් ද පෙන්නා, උඩු කුරුඤ්ඤං කරවීම, ඡන්ද රැස්වීම්ය, දේශපාලනයය, නැත්තං ඡන්ද කාලේ දේශපාලනයය කියා අර්ථ දක්වා ගන්නාවූ අපේ රටේ දේශපාලන පක්ෂ, පහුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කියවීම මේ ආකාරයෙන්, නොදීපු අයගේ ප්‍රමාණයෙන් විශ්ලේෂණය කිරීම අමුතු බත් දීමක්ම නොවේ යැයි කියන්නට ද පුළුවන්ය.

මේ නවීනතම දේශපාලන ගණිතය, අප්පා ජනතාව පත් කරගත්තු ජනාධිපතිතුමාගේ අභිප්‍රායන් වෙනුවෙන් අපේ ජීවිත පූජාවෙන් කැපවෙනවා, කැපවෙනවා, කැපවෙනවා නමුත්  රටේ ජනතාවගෙන් වැජි ප්‍රතිසතයක් එතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශකර තියනවා බවත් අමතක කල යුතු නැති හින්දා.... යනාදි වශයෙන් කෝචොක් කතා ආකාරයට කියවෙනවා අසා සිටි මට.... ඔය විජ්ජා මැජික් බලුප් පත්තු කරන අයව රටේ ජනතාවගෙන් කී සතයක් එපා කියා ඇද්දැයි ගණන් කර බලන්නට හිතුණේය.

ඒ හිතිවිල්ල අනුවම ගිහිල්ලා, ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල හොයාන, අර සෙකන්ඩ් චොයිස් කෑල්ල අමතක කරලා, සහ සුද්දෙන්ම කැමැත්ත අකමැත්ත කියපු වෙලේ ඉලක්කම් ටික අරන්, එක් එක් රේස් කාරයාට, ජනතාවගෙන් කොච්චර සතයක්, ඕනා එපා කිව්වාද කියා ගණන් කරපු වගුවක් මේ පහල එල්ලා තියෙයි. එතන එපා කියු ගණනය දෙයාකාරයකට කරන්නට පුළුහන් බව තේරුණු හින්දා, පළමු එක, ඡන්ද ලේඛනේ නම තිබුණු සියළු දෙනාගෙන් කීයක් ඕනා එපා කිව්වාද කියා හා, දෙවැනි එක, ඇත්තටම ඡන්ද පොලට ගිහින් හරියාකාරව, කතිරය හෝ කතිරය නැතුව එක දෙක ආදි වශයෙන් අර අළුත් මැකෝලා කියපු විදිහටම කඩදාසියේ ලකුණු කල අයගෙන් කී දෙනෙක් ඕනා එපා කිව්වාද වශයෙන් ගණන් හදා තියේ.

මේ ආදි වශයෙන් බැළුවාම,  රේස්සෙකේ මුලින්ම ලණුව ලෙවකෑ අස්සයින්ගේ ඉල්ලක්කං මෙහෙමය.


එපා කියපු ප්‍රතිශතේ

1. අනුර කුමාර දිසානායක           - ඡන්ද හිමියන්ගෙන් 67% ; වලංගු ඡන්ද වලින් 58%
2. සජිත් ප්‍රේමදාස                           - ඡන්ද හිමියන්ගෙන් 75% ; වලංගු ඡන්ද වලින් 67%
3. රනිල් වික්‍රමසිංහ                         - ඡන්ද හිමියන්ගෙන් 87% ; වලංගු ඡන්ද වලින් 83%
4. නාමල් රාජපක්ෂ                        - ඡන්ද හිමියන්ගෙන් 98% ; වලංගු ඡන්ද වලින් 97%
5. අරියනේත්‍රන් පාක්‍යසෙල්වම්    - ඡන්ද හිමියන්ගෙන් 99% ;වලංගු ඡන්ද වලින් 98%
6. දිලිත් ජයවීර                                 - ඡන්ද හිමියන්ගෙන් 99% ; වලංගු ඡන්ද වලින් 99%


ඔයින් පස්සේ අයව එපා කියපු ප්‍රතිශතේ මේ ඉලක්කං අනුව නම් සීයට සීයකි.

ඉතින් මේ ආකාරයෙන් මේ අකුරු කොට කොටා අවුණා, කරගත්තාවූ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මම නම් ප්‍රාර්ථනා කරන්නේ, සකල විශ්ව වාසී, ලංකා පුත්‍රයින් හා දියණියන්ට, වොයිස් කට්, ධර්ම දේශනා කට් ආදී මෙන්ම, කඩ පිලේ, අගු පිලේ, ඉස්තෝප්පුවේ, සාලයේ, කෑම මේසයේ, ආදී වශයෙන් සිදුවන, අති ගැඹුරු ගාම්භීර රාජ්‍ය පාලනමය සාකච්ඡා වලදී, අපේ ජනාධිපති තුමා, ජනපති සහෝ, අනුරයියා, අනුර කාරයා, ජවිපේ, මාලිමාව, කයියනායක ආදී වර්ථ හෝ අන්වර්ථ නාමයක් යොදාගෙන, ගත්තේ ඉතින් සීයට හතලිස් ගාණනේ, සීයට හැට ගානක් එපා කිව්වනේ කියන ගමන්ම, ඒ වුනාටිතින්, ඒම බැළුවාම අරයාවත් මෙච්චර ගාණක් එපා කිව්වානේ ආදි වශයෙන් ෆුල් විශ්ලේෂණයක් කරන්නට ලැබේවා කියාය.






Continue Reading...

Sunday, October 6, 2024

තුනෙන් දෙකේ අපලය හා දෙකේ පංතියේ තර්ක....

හැත්තෑවේ ඡන්දය තිබුනේ මැයි මාසේ 27 වෙනිදා ය. ඒ ඡන්දයට පහුවදා ලෝකයට අළුත්ම ජීව කොට්ඨාශයක් වූ 28 ශ්‍රී කාරයෝ බිහිවූ හ.  ජාතික ඇඳුම් මහන්නට ‌ ටේලර් සාප්පු වලට ඇනවුම් වැඩි වුනා පමණක් නොව රෙඩි මේඩ් ජාතික ඇඳුම් සාප්පුවලට ආයේද ඒ කාලයේ යැයි සිතමි. එයින් කාලයක් යනතුරු එජාප කෙනෙක් අපේ ගම් පලාත්වල හොයාගන්නා එක දුර්ලභ කාර්යයක් වී තිබුණේ ය.

පහුගිය සතියේ මුල් කාලයේ ඔය ජාතියේම ඌෂ්ණයක් තිබුණාය පෙණුනා මුත්, විසිදෙක මා කාරයෙක් වීම වනාහී, විසිඅට ශ්‍රී කාරයකු වී ලබාගත හැකි අතේ මිටේ වාසි ලබාගැනීමේ ටිකට් එකක් නොවන බව බොහෝ අය වටහාගෙන තිබේයැයි, එහෙන් මෙහෙන් ඇහෙන දෝස්මුර වල හර බර ඇරියාම පෙනෙයි.

ජනාධිපතිවරණයට පෙර, රනිල්ගේ රතු අලි පැටියාය කියා සජබය හංවඩු ගැසූ මාලිමාවේ අනුරට දැන් දැන් රට කරන හැටිත්, 'චුනෙන් දෙත' අරන් බලලෝභී වී ව්‍යසනයකට පත්වීමේ අවදානමත් කියා උගන්වා දෙන්නට, බොහෝ ටැලිපෝන් කාරයෝ දත කට මැදගෙන ඩයල් කරකවන බවත් පෙනෙයි.

එතනිනුත් එහාට යන සමහරු, අනුර කුමාරට රට බේරාගැනීමට  දිවි හිමියෙන් කැපවීමට තමුන්ටත් චාන්ස් එකක් දෙනු පිණිස, මහ ඡන්දයේ දි එයාලාගේ පස්සය දිනවා පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන ලෙසත් දෙකේ පංතියේ තර්ක ඉදිරිපත් කරති. 

අනුරට රට ගිහින් නන්නත්තාර වී ඉන්නාවූ ද, රටේ ඕනර්ස් ලා හා ආර්ටිකේ අයිටිකාරයින් ය හිතාගෙන උන්නාවූ ද,  මෙයාලාගේ කතා බහ මාධ්‍ය ප්‍රකාශ අහගෙන ඉඳිද්දී හිතුනේම නම්, දෙවියන් බේරා ගන්ඩ යකාට ඡන්දය දෙන්ඩ වාගේ ස්ලෝගන් එකකි. මේ සාතන්ලා සර්පයින් සේ බඩගා ඇවිත් අනුර කුමාරව ඇපල් ගෙඩියක් වගේ දික්කරන චිත්‍රයක් ඒ අස්සේ මගේ ඇස් ඉස්සරහ නටමින් තිබේ.

 මේ වෙලාවේ, අපි සියළු දෙනා අධිෂ්ඨාන කරගත යුත්තේ නම්, එළඹෙන ඡන්දයේ දී, පාර්ලිමේන්තුවේ බහුතරය මතු නොව, හැකියාවක් ඇත්නම් මුළු පාර්ලිමේන්තුවම මාලිමාවටම ලියා දීමටය යන්න මගේ මතයයි.

අධිෂ්ඨානය එහෙම වුනත්, ඩිකී අංකල් රටේ හෙණ්ඩුව සදාකාලිකව අලි හොඬේ පටලවා තැබීමේ අභිප්‍රායෙන් ඇටවූ සමානුපාත ඡන්ද සංස්කෘතිය හින් දා, විපක්ෂයක් නැති ආණ්ඩුවක් රටේ ඇතිවෙන එක විය නොහැකි දෙයක් වී තිබේ.

මේ තීන්දුව ගන්නට තවමත් හිත පැකිලෙන්නේ නම් 2019 දී පටිගත කල අවුරුදු පහක් පරණ පහත වීඩියෝව මුල සිට අගටම අහන්න.





Continue Reading...

දම්පාටින් බැසයන සඳ.....


 
දම්පාටින් ලා සඳ බැස යනවා දැක්කේත් ඒ පද ටික ලිව්වේත් ලූෂන් ය. ලූෂන් බුලත්සිංහලයන් ය. ගැයුම කපුගේ ගේ හා මාලිනීගේ වුවද, ලූෂන්ම කියන හැටියට, මේ ගීතයේ දම්පාට එන්නේ වෙසක් බලන්නට ගිය දවසකට පහුවදා හිමිදිරියේ මොරටු වැල්ලට ඉහලින් එල්ලී තිබුණු ලා දම් පාට සඳකිනි.  පහත වීඩියෝවේ ලූෂන් ඒ මොහොත ගැන සිය මතකය නැවත අවදි කරනවා අහන්නට පුළුවන.

ඒක එහෙම වුනත්, මෙහේ කැනඩාවේ ඉන්නා අපට, විශේෂයෙන්ම වසන්තය අග ඕතමය යැයි මට මතක හැටියට වෙඩ්ඩා නම්කල Autumn හෝ Fall සමයේ දීත්, සිසිරය අවසන්ව, වසන්තයට මග එළි කරන වස්සාන හෝ Spring සමයේ දීත්,  හිමිදිරියේ හෝ සවස් යාමයේ රෝස දම් අහසක් දැකීම දුලබ දෙයක් නොවෙයි.

මගේ නිරීක්ෂණයට අනුව මේ රෝස දම් පැහැය බොහෝවිට පෙනෙන්නේ ඉර තිබෙන දිශාවට විරුද්ධ දිශාවේ අහසෙහි ය.  මේ සටහනේ අවුනා ඇති පින්තූර නම් 2021 දෙසැම්බර 17 දා සවස් වරුවේ ගැණුනු සේයා රූය.

රෝසපාට සඳතලාවක ලතැවෙන පුරහඳේ මේ අරුම අහස් සිතුවම, උදේ වැඩට යන අතර මුලින්ම වාග‌ේ දුටු දවසක කුරුටු ගෑවුනු පද ටිකක්  මුහුණු පොතේ ලියැවී, නැවත මෙතැන පිටුවක සටහන් වීත් තිබෙයි.

"ඈත්වී දුර යන්න කලියෙන්
පාත්වී සිප ගන්න ආසයි
මෑත්වී දොර කඩට එනවද
මගේ හිත නම් තාම සුවඳයි....."










ලූෂන් බුලත්සිංහලයන්ගේ පද වැල:
දම්පාටින් ලා සඳ බැස යනවාආකාසේ රන් වන් පාටයිසමුගෙන යන්න මගෙන් තව මොහොතයිනොදොඩා ඉන්නේ ඇයී...නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවාවෙන්වී යන මොහොතක් නෑඟෙයිදෑසට ළංව තවත් මේ මොහොතේගොළුවී ඉන්නෙමි මම්...ගොළුවී ඉන්නෙමි මම්
සෙවනැලි නොමැකේ නම්...එලිය කළු නොවේ නම්සෙවනැලි නොමැකේ නම්...එළිය කළු නොවේ නම්බිත්ති පුරා ඔබෙසෙවනැලි ඇන්දේතනිය මකා ගන්නයි එනතුරුසොයා මගේ සෙනෙහස මතුදා
දම්පාටින් ලා සඳ බැස යනවාආකාසේ රන් වන් පාටයිසමුගෙන යන්න මගෙන් තව මොහොතයිනොදොඩා ඉන්නේ ඇයී...නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවාවෙන්වී යන මොහොතක් නෑඟෙයිදෑසට ළංව තවත් මේ මොහොතේගොළුවී ඉන්නෙමි මම්...ගොළුවී ඉන්නෙමි මම්
රෑ කල දිගුවේ නම්...ලා සඳ නොමැකේ නම්රෑ කල දිගුවේ නම්...ලා සඳ නොමැකේ නම්නෙළුම් පතක රැදි පිණිබිදුවක් සේළමැද තලා යහනේ ඉන්නම්පමාවෙලා හිරු නැගෙන තුරා...
දම්පාටින් ලා සඳ බැස යනවාආකාසේ රන් වන් පාටයිසමුගෙන යන්න මගෙන් තව මොහොතයිනොදොඩා ඉන්නේ ඇයී...නොදොඩා ඉන්නේ ඇයි
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවාවෙන්වී යන මොහොතක් නෑඟෙයිදෑසට ළංව තවත් මේ මොහොතේගොළුවී ඉන්නෙමි මම්...ගොළුවී ඉන්නෙමි මම්


Continue Reading...

Blogroll

About