Tuesday, September 17, 2024

රට අනු රට


 අපේ රටේ මට හරියටම මතක පලමුවෙනි මහ ඡන්දය නවසිය හැට පහය. ඒ කාලේ අපේ තාත්තාවූ බේබි මහත්තයා යූ ඇන්පී කාරයෙකි. එයා විතරක් නොව එයාලාගේ පරම්පරාවම කොළය‍, අලිය‍, ඇත් ගොව්වෝය, අලි බෙටි අහුලන්නෝ සහ පන්දම් අල්ලන්නෝය. අලිම කිව්වත් කොටන් අදින අලි මිස, පෙරහැරේ ගිය අලි නම් නොවේ ය.
ඔව්වා ගැන ඉතිහාස කතා මේ බ්ලොග් සටහන් අතර කීපයක්ම ලියවී තිබේ.

මට මතක ඡන්දය වූ හැටපහේ එයාලා දිනුම්ය. කොහොමත් මූදුකරය ඒ චන්දයේදී කොලය. ඒකට ප්රධාන හේතුව කතෝලික පල්ලි හා ආගමික නිකායන් හරහා එතෙක් පවත්වාගෙන ගිය පාසල් සමූහයක් සිරිමා ආණ්ඩුව රජයට ගැනීම ආගම් විරෝධී‍, පල්ලි ගිනි තියන කොමියුනිස්ට්, සමසමාජ, හා අද වචනයෙන් නම් සමාජවාදී යුගයක ආරම්භයය කියා මූදු කරයේ ජනතාවට ඒත්තු ගන්වන්නට යූ ඇන්ඩ් පීය සමත්ව සිටීමය. ඇත්තම කිව්වොත් ඒකත් එක්තරා විදිහක ප්‍රෝඩාවක් හා ඇන්දිල්ලක්ම මිස, එයිට වැඩි දෙයක් නොවෙයි. ප්‍රෝඩාව කිව්වේ දෙකටම ය. උන්ගේ නෑදෑයින්ගේ පක්ෂයේ දේශපාලන මඩ ප්‍රෝඩාව මෙන්ම, බණ්ඩාරනායක මහත්තයාගේ පංච මහා බලවේගයේ සමාජවාදී ප්‍රෝඩාව යන දෙකම ය.

එසේ වෙතත්, අපේ පලාත්වල ඉඩම් හිමි වැවිලිකාර පෙලැන්තියට යටහත් පහත්ව සේවය කල, කාගේ හෝ වත්තක ගෙපැලක් අටවාගෙන ජීවත් වූ මහ ජනතාවට මෙන්ම, පරම්පරාවෙන් උරුම වූ ලියද්ද දෙක කොටාගෙන, අත්තමටත් වැඩ කල ගොවි ජනයාට ද, අපේ පලාතේ ප්‍රධානතම කර්මාන්තය වූ පොල් හා කොහු මෝල් වල අත් වැඩ කල කම්කරුය හැඳින්විය හැකි වූ ජනයාට ද, උන්ගේ අඹු දරුවන් හා දූ දරුවන්ට ද, තමුන්ගේ  අවසාන බලාපොරොත්තුව වූ පොරොන්දුවූ දේශය කරා සියල්ලන් රැගෙන යන්නා වූ, රතු මුහුද දෙබෑ කර වැටී ඇති  ගැලවීමේ මාර්ගය කරා දක්කාගෙන යන්නාවූ ගැලවුම්කාරයා ලෙස, මේ ප්‍රෝඩා දෙකින් එකක් තෝරා ගැනීමම මිස වෙනත් විකල්ප තිබුණේ නැති තරම්ය. එකල රටේ පීඩිත පන්තියේ නියෝජනය වූ වමය හැඳින්වුනු කොමියුනිස්ට් හා සමසමාජ ආදී පක්ෂ දේශපාලනිකව ශක්තිමත් තලයක නොසිටි අතර, කතෝලික සභාවේ නිශේධ බලය හමුවේ, මුහුදු කරයේ කතෝලික පලාත්වල ඔවුන්ගේ ව්‍යාප්තිය යම් ආකාරයක සීමාවන්ට සීමාවී තිබුණියි මම හඟිමි.

මේ සියල්ල උඩු යටිකුරු කල පෙරළියක් හැත්තෑවේ ඡන්දයේ දී සිදුවිය. මා යම් පමණකින් දැනුම් තේරුම් ඇති කොළුවකු ව සිටි කාලයේ සිදුවූ මේ පරිවර්තනයට මූලිකම හේතු සාධකය වූයේ, කොල්වින්, ඇන්.ඇම්. හා කේනමන් සිරිමාගේ සාරිපොටේ ගැටගැසී ඇතිකල තුන් හවුල් බලවේගයය. මේ කට්ටිය, මේ හවුල පිහිටුවාගෙන කල පලමු දෙයක් වූයේ, එවකට එංගලන්ත රැජිනිය ගේ ඉලත්තට්ටුව නියෝජනය කල විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරයා හමුවේ, ඡන්ද ප්‍රතිඵලය මොකක් වුවත්, ආණ්ඩුව පිහිටුවන්නේ හවුලේය කියා ලියා අත්සන් කිරීම ය. මේ හවුල හා නිල් රතු එකතු වී දම්පාට වීම, ප්‍රධාන වශයෙන් බලපෑවේ රටේ පහලම ස්ථරයට ය. නිදහසෙන් පස්සේ "අපේ ආණ්ඩුවක" හීනයක් හා අපට කන්ඩ බත් අරගෙන එන අපේ අම්මා ගැන කතාබහත් කියවුනේ මේ ඡන්දයට පෙරගමන් යන කාලයේය.

එවකට චේගුවේරා කාරයින් වූ විජේවීරගේ ජවිපය, හැත්තෑවේ ඡන්දයට පක්ෂයක් ලෙස ඉදිරිපත් නොවුනු මුත්, ඡන්ද කාලයට සමගාමීව රට පුරා දේශපාලන රැළි හෝ ඒ කාලයේ භාෂාවෙන් නම් රැස්වීම් ගණනාවක් පැවැත්වූ බව මතකයේ තිබේ. එහෙම පැවැත්වූ හලාවත රැස්වීමේ දී, විජේවීර, සිරිමාගේත්, ඩඩ්ලිගේත් දෙන්නාගේම බටහිර ගැති ධනේශ්වර මූලයන් ගැන උපහාසයෙන් කල කතාවක එහෙන් මෙහෙන් කියවුනු දේ ගැන මතකයක් මට තවම තියෙයි. කතාව ඇහුවේ, ඒ කාලේ හලාවත බස්ස්ටෑන්ඩ් එක කිට්ටුව ආප්ප කඩයක් ලඟ නවතා තිබූ තාත්තාගේ වාහනයේ සිටය. හිටියේ ආප්ප අරගන්නට නමුත්, කතාව ඉවර වෙනතුරු එතැනින් පිටත් නොවුනේ, තාත්තාත් මේ කතාව අහගන හිටි නිසාය කියා මතකය.

හැත්තෑවේ පෙරළිය රටේ පහලම පන්තියේ ජනතාවට යම් ආකාරයක බලාපොරොත්තු දුන්නේ ද, ඒ බලාපොරොත්තුම, හැත්තෑ එකේ ජවිපේ අරගලයේ අසාර්ථකත්වයට හේතු වූයේ යැයි මම සිතමි. එමෙන්ම, ඒ බලාපොරොත්තු සමග බලයට පැමිණි තුන්හවුල් ආණ්ඩුවේ කණපිට හැරීමේ ආරම්භය සනිටුහන් කලේ ද හැත්තෑ එකේ අරගලය යැයි මගේ හැඟීමයි. දේශීය හා ජාත්‍යන්තර දේශපාලනික හා සමාජයීය හේතු සාධක ඇසුරින් මොනතරම් විග්‍රහයන් හා විශ්ලේෂණයන් ඉදිරිපත් කල හැකි වුව ද, තුන් හවුලේ මලගම සටහන් වූයේ, හැත්තෑ එකේදී, ජාතික ඇඳුම නිල ඇඳුම කරගත් ලෝකල් දේශපාලකයින්ගේ සිත් සතන් තුලින්, තමුන් මේ ජයග්‍රහණය ලැබුවේ ජනතාවගේ පිහිටෙන්ය යන්න ඉවත්වී, රටේ ජනතාව තමුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇතිය, තමුන්ගේ ආරක්ෂාව හා අනාගතය තමුන්ම බලාගත යුතුය යන ආකල්පය පැලපදියම් වීමත්, ඒ අනුව යමින් රයිපල් අරගත් පොලිස් ආරක්ෂාවත්, ඉනේ ගහගත් පිස්තෝලයත් තම ඇඳුම් කට්ටලයට එකතු කර ගැනීමත් සමගය.

හැත්තෑව හැත්තෑ හත වෙනතුරු අදින්නට, ඒ ආණ්ඩුවට පුළුවන් වුනේ ද, හැත්තෑ හතේ දුප්පතාගේ හිතවතාව, වේදිකාවේ පැදුරු එළා බිම වාඩිවී, ඡන්ද රැස්වීම් පැවැත්වූ ජයවඩ්ඩනගේ ධාර්මික සමාජ ප්‍රෝඩාවට ජනතාව ගොදුරු වූයේ ද, මේ සිද්ධි දාමයේම ප්‍රතිඵලයක් ලෙසය කියා මම දකිමි.

පත්තිරිප්පුවේ සිට ‘මාගේ ජනතාවෙනි‘ යි රට ඇමතූ ස්වයංජාත ප්‍රථම විධායක ජනාධිපතිවරයාගේ සිට, උතුර මුදවාගෙන රට එක සේසත් කර, පොළව සිඹ, එකත් දෙකත් තුනත් තුනම රටයැයි සථප කල මහ රජාණෝ දක්වා පැමිණි අපේ රට, රටෙන් පලාගිය, වැඩ කරපු අපේ විරුවාට පසුව, ඒ පුටුව රත්කරන්නට ගෑස් පත්තු කරන්නට හීන දුටු රනිල් වික්‍රමසිංහයන්ගේ හීන දිගන්තයට පසුව අද හෙට සිදුවන්නට පෙරුම් පුරන, අනුරට රට බාර දෙන සිහිනය සමගවත්, නැවත ජනතාවට ලැබේය යන බලාපොරොත්තුව අප බොහෝ දෙනෙකුගේ සිත්තුල දැල්වෙමින් තිබේ. මහ ඈතට හිතන්නේ නැතිව, හැරී බලන විට, මේ වෙනසේ ත් සුළමුල, හැත්තෑ එකේ කොහේ කොහේ හෝ සැඟවී තිබෙනවා යැයි මම සිතමි.

රට අනුරට, ජය ජනතාවට....!





.
Continue Reading...

Monday, September 16, 2024

කොබෙයියනේ වරෙල්ලා - පරෙයියනේ වරෙල්ලා....


 



හැත්තෑ ගණන්වල සන්නිවේදනය තිබුණේ, බිත්තිවල හා තාප්පවලය. පාර අයිනේ, බෝඩ් වලය. කඩවල දොර ලෑලිවල ඇලවූ ඩිමයි කොල වලය.

පත්තර කියන එව්වා හා ගුවන් විදුලිය රටේ ආණ්ඩුවේ සර්වතෝභද්‍ර පාලනය යටතේ තිබුණු කාලයේ, සන්නිවේදන කලාවේ අළුත්ම භූමිකාව හඳුන්වා දුන්නේ චේ ගුවේරා කණ්ඩායම ලෙස කරලියට පැමිණි ජවිපෙ ය.

ඒ එක රැයක් තුල දිවයින පුරාම එකම වචන ටික ලියූ එකම පෝස්ටරයක් ඇලවීමෙන් ය. අපේ ගෙවල් ලඟ පාත නම් මේ පෝස්ටරය ඇලවුනේ, කොස්ගස් හන්දියේ, මැක්සි හවුස් එකේ පාර අයිනේ බිත්තියේ බව මතකය.

එහෙම අලවාපු පෝස්ටර වල තිබුණු එව්වා තේරුම් ගැනීමට ඒ කාල‌ේ ගූගල්  වෙබ් සයිට් තිබුණේ නැති නිසා, රටේ දේශපාලනය ගැන තියූ ඒවා හැරුණු කොට,  'දියාගෝ ගාර්ෂියාවට අත නොතබනු', 'වැලි බොබී වහා නිදහස් කරනු' වැනි පෝස්ටර වාක්‍ය වල තේරුම් හොයා ගැනීම නම් පහසු නොවීය.

හැත්තෑ එකේ කැරැල්ල පත්තු වූ කාලයේ, පැතිර ගිය කතාව වූයේ මේ පෝස්ටර කලාවේ ඇලවිලි සංඥාව ආවේ, හවස් යාමයේ  'ඔබ කැමති ගී' වැඩ සටහනේ ප්‍රචාරය වුනු සිංදුවල දවටලා කියාය. ඒ ගීත අතරිනුත් වැඩිම කතාව ආයේ, වීරසේන ගුණතිලකයන් ගේ 'කුරුල්ලනේ වරෙල්ලා' ගීතය පිළිබඳව ය. මේ ගීතය, පෝස්ටර් ඇලවීමට මතු නොව, හැත්තෑ එකේ, ප්‍රහාර දියත් කරන්නටත් සංඥාව ලෙස යොදා ගත්තායි කියූ අතර, ඒ ආනුභාවයෙන්ම ගුවන් විදුලියෙන් වාරණය වුනේ ය.

පරණ බෝතලවල තියෙන්නේ පරණ වයින්ම නිසා, මට මේ කතාවල් මතක් වුනේ, සෙනසුරාදා, මාලිමාවේ අනුර කුමාර දිසානායක සහභාගි වුනු සිරසේ සටන නරඹන අතරය.

සිංදුව නැවත කියන්නට කාලය පැමිණ තිබේ. කලහයට නොව, කතිරය ගැසීමට සංඥාව දීම පිණිසය.














Continue Reading...

Blogroll

About