Saturday, April 13, 2024

විජයාවහරණය......!

Share it Please


හැත්තෑ හතේ ඡන්දය හත් අවුරුද්දක් ආණ්ඩුව කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ, කොමියුනිස්ට්, සම සමාජ, තුන් හවුල් ආණ්ඩුව දෙදරා ගොස්, එළියට ආ වම, රට පුරා සිරිමාගේ යහගුණ මැනවින් වයමින් උද්ඝෝෂණ, වැඩ වර්ජනා දී නේක විද අරගලයන් අතරින්, ජේ. ආර්. ගේ නිව් ඇන්ඩ් රිකන්ඩිෂන්ඩ් එක්සත් ජාතික පක්ෂයට දුප්පතාගේ හිතවතා  වී, ධර්මිෂ්ඨ සමාජයක් කරා රට දක්කාගෙන යන්නට වරම් ලබා දුන් මැතිවරණයයි.

ඒ කොළපාට ගංවතුර රටම හෝදාන යන්නට නියමිත බව පැහැදිලිව පෙනි පෙනීම නමුත්, බටහිර ‌වෙරළබඩ තීරයේ කවුරු පැරදුනත් එක දෙකකින් හරි දිනනවාමයි කවුරුත් හිතා හිටි එක  නිල්පාට අපේක්ෂකයෙක් වූයේ විජය ය. කටානට අත ලකුණින් ආ, ඒ කාලයේ තාරුණ්‍යයේ සිහිනය වූ විජය කුමාරණතුංගය.

මට මතක විජය, ඒ ඡන්ද කාලයේ කටුනායක හෝ සීදූවේ ඡන්ද රැස්වීමකට ෂපෝට් එකට ගිය අපේ තාත්තාත් එක්ක ගිය ගමනක දී වේදිකාවේ දුටු හිනා කටක් පුරවාගත් තරුණයාය.

හන්තානේ කතාවෙන් දුෂ්ඨයා වූ විජය, හැත්තෑ හතේ කටානෙන් කැපී නමුත් දුම්බරා ගේ හිනාවත් අරන් එක්ක බඹරු එක්ක ඇවිත් ඒ දුෂ්ඨකම සනාථ කරන්නේ නවසිය හැත්තෑ අටේ දීය. විජය මාලිනී ආදර රැඟුම් ‌ඇතුලත් චිත්‍රපට කොතෙක් තිබුණත්, අපේ හිත්වල විජය පදිංචි වෙන්නේ, පතිරාජාගේ මේ චිත්‍රපටයෙන් යැයි මම සිතමි.

මේ සටහන, ධර්ම ශ්‍රී කාරියවසම් ගේ විජය ඝාතන කතාවේ වීඩියෝ සටහන් ගොන්නට මතක සලකුණක් තබන්නටය. කාරි ගොනුකරන කරුණු කීප කීප දෙනෙක්ම කීප කීපාකාරයකින් ලේඛනගත කර තිබෙනවා නමුත්, විජය ඝාතනය, ලසන්ත, රිචඩ් ආදී ඝාතන මෙන්ම, දේශපාලන අභිරහස් ගණයට බැහැර කර තොලේ කටේ නොගෑවී දේශනා කරන්නට සැදී පැහැදී සිටින්නෝ බොහෝ වෙති. කාලයේ හා තාලයේ හැටියට, අකමැත්තෙන් වුවත් කළ යුතුව තිබුණු දේවල් ය කියා මේවා ගැන හිතන අයත් සිටිති. ඒවා ඉතින් මහත්-මා දේශපාලනයේ හා ඒ දේශපාලනය පවත්වා ගෙන යෑමට ‌දෝලා උස්සන්නන්ගේ නොනැසෙන ගුණාංගය.

වෙනසක් උවමනා වෙන්නේ ඒ නිසාය.

[විජයගේ පින්තූරය, 'බඹරු ඇවිත්' සිනමා පටය සංරක්ෂණය ගැන ලියැවුණු මේ ‌ජාල සටහනෙනි - Asian Film Archive: Restoring Bambaru Avith (The Wasps are Here) ]

 





















No comments:

Post a Comment

Blogroll

About