Tuesday, February 14, 2023

සිරි සුබ වැලෙන්තීනු දිනයක් වේවා....!

Share it Please

 



නයිනාමඩමේ පරණ පවුල් අතර වැලෙන්තීනු ගමරාලගේ නොහොත් වැලෙන්තීනු දල්පතාදු ගේ පවුල ගැන මා දන්නේ, එයාගේ දූ ආනමරියා දල්පතාදු, අපේ තාත්තාගේ අම්මා නිසා ය. ආච්චිගේ අයියා වූ දල්පතාදු අපේ තාත්තලා, බාප්පලාට අංකල් වූ නිසාවෙන්ම අප අතරත් හැඳින්වුනේ අංකල් ලෙසින්මය.

මේ අංකල් කීම එක අතකින් සාධාරණ වූයේ, හැම නත්තලකටම පාහේ, පවුලේ හැම ගෙදරකම පොඩ්ඩන්ට තෑගි බෝග එවීමත්, මොනයම්ම දේකට, ‌ඉස්කෝලේ පොත් ගන්න හෝ, විභාගයක් සමත් වෙලා හෝ,  ගියවිට යම් විදිහක මුදලක් තෑග්ගක් ලැබීමත් ආදි වශයෙන්, අංකල් පවුලේ ප්‍රධාන සම්පත් දායකයා ලෙස වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම අපි හැමෝටම අංකල් කෙනෙක් වී සිටිය එකය.

නයිනාමඩමේ දකුණු කෙළවර, ගිං ඔයේ පාලම පැන්නාම රංගම්මුල්ලේ, සිංහයා උළු මෝල හා සබැඳි ව්‍යාපාර හිමිකරු වූ අංකල් එයාගේ තාත්තාගේ නම තබා, බුජ්ජම්පල පිහිටවූ පොල් මෝල අදටත් ශාන්ත වැලන්ටයින් කොකනට් මිල්ස් ‌ලෙස ක්‍රියාත්මක වෙයි.

බුජ්ජම්පොල වැලන්ටයින්  ගැන වැඩි විස්තර විස්තර සහිතව දැන ගන්නට කිතියක් දැනෙනවා නම්, ඔන්න සබැඳිය මේ පින්තූරයට පහලින්.




මේ ටික ලිව්වේ වැලන්ටයින් එක්කලා අපේ තියන නෑදෑ සුහදතාවයන් ගැන පොඩි පහේ හැඳින්වීමක් හැටියට වගේම, ඇල්පෙනිත්තක්වත් නොහදනවායි ආඩපාලි කියන අපේ රටේත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි බඩු බාණ්ඩ නිපදවන කර්මාන්තශාලා නොහොත් ගමේ භාෂාවෙන්ම කියනවා නම් ‘මෝල්‘ කවුරුත් වැඩිපුර නොදන්නා අහුමුළු වලත් තියනවාය කියන කයිවාරුව කියන්නටත් එක්කය.

ඉතින් වැලන්ටයින් මතක් වෙනවාත් සමගම මොන හේතුවක් හෝ හින්දා මතක් වුනේ සන්ධ්‍යා කුමාරිව ය. 

සන්ධ්‍යා කුමාරි මුලින්ම තිරයට ආවේ තාත්තලා එක්ක මට මතක හැටියට වත්තල ගැමුණු පැලස් එකේ නැරඹූ, අදට වැඩිය හෙට හොඳයි චිත්‍රපටයෙන් වුව ද, එයාගේ බියුටි ස්පොට් එක සහිත මූණ හොඳටම මතක, මීගමුවේ රාජ් එකේ බැළුව, අල්ලපු ‌ගෙදර චිත්‍රපටය පටන් ගන්නා, ක්ලැරිස් හා සන්ධ්‍යා, වෙස්පා ස්කූටරයක නැගී, සාගර රැජිනට ආදරේ කියා ගය ගයා යන සවාරියෙනි. ඔය බයස්කෝප් එක එද්දී, එනම් 1965 දී විතර මගේ වයස අවුරුදු අටක් විතරය. සන්ධ්‍යා අවුරුදු විස්සක විතර ළමිස්සියක්ව සිටි බව විකිපීඩියාවේ එයා ගැන තියන ඕපා දූප විස්තරය කියයි.


අල්ලපු ගෙදර සිංදු අතරින් මට නම් හිතෙන හැටියට, වැඩිම පදමාලා විස්ථාපනය සිද්ද වූ සිංදුව මේ සන්ධ්‍යා, ක්ලැරිස්, ගේ ස්කූටර් සිංදුව වූ, 'සාගර රැජිනට ආදරේ කියා සීතල මදනල ගී ගයා ගිය' එකය. ඒ අතින් ‌‌ප්‍රේක්ෂකයින්ගේ සහජ නිර්මාණ කුසලතාවයන් අවදිකරවා ඔප් නැංවීමටත් දායක වූ සිංදුවක් වූ බවත් නම් ලියා තැබිය යුතුය.

ඒ වෙද්දීත් පටාචාරා චිත්‍රපටයේ පටාචාරා හැටියටත්, ධීවරයෝ චිත්‍රපටයේ‍  මං හිතන හැටියට සිංහල සිනමාවේ පළවැනිම වෙන්නට පුළුවන් බිළාල ඝට්ඨනයේත්  (cat fight)  රඟ පෑ සන්ධ්‍යා කුමාරි, එක්තරා විදිහකට සිංහල සිනමාවේ ගිනි පෙනෙල්ල බවට පත්වී තිබුණි. එයාගෙන් පස්සේ හදවත් හොරාගත් නිළිය වූ මාලනී ‌ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි ගැන,

”රුක්මණී දේවියගෙන් පස්සේ සිංහල සිනමාවට පායා ආ සඳවතිය ඇයයි. කොටින්ම ඒ යුගයේ රන් තාරකාව (glamor star) සන්ධ්‍යා කුමාරි කිව්වොත් මම වඩාත් නිවැරදියි.”

කියා කියූ බව ‌අන්තර් ජංජාලයේ පරණ දිණමින පුවත්පතක ලියැවී තිබේ.

චිත්‍රපටියේ සන්ධ්‍යා, ක්ලැරිස් ජෝඩු දමා වෙස්පා ස්කූටරයක සවාරි ගියාට, ඔය වයසේ කෙල්ලන්ට ඔයා කාරයෙන් ජෝඩු දමා හෝ නොදමා හෝ, සිංදු කිය කියා හෝ නොකිිියා හෝ, දාංගලේ යන්නට අපේ ගම් පැතිවල ඒ කාලයේ නම් කිසිම ඉඩක් තිබුණේ නැති අතර, ලොකු මහත් වුනාට පස්සේ, තනියෙන් පුෂ් බයිසිකලය පදින කෙල්ලක දිහා වුනත් චුට්ටක් ඇහැ අමුතු කර බලන ගතියක් තිබුණු බව මතකය.  ඒ දවස්වල මං දන්න වෙස්පා ස්කූටරය තිබුණේ අපේ ගෙදරට ඉස්සරහ පාරෙන් එහා පැත්තේ ගෙදර, කැනියුට් රාළහාමිටය. රාළහාමි කිව්වාට එයා ගමේ ග්‍රාමසේවක මහත්තයාය. කැනියුට් අංකල්ගේ නෝනා, ගෑණු ඉස්කෝලේ ගුරිවරියක්ව සිටිය අතර, උදේට නෝනාවත් පස්ස සීට් එකේ වාඩි කරගෙන කැනියුට් අංකල් රාජකාරියට පිටත්ව යනවා මතකය. එයාලගේ ගෙදර දරුවන් දෙන්නෙක් වූ අතර, සමහර දවසට, එයාලගේ දූ කමනීත් ස්කූටරයේ  යනවා දැකලා ඇතැයි ඇතැයි හිතෙන නමුත්, මේ වෙද්දී කොයි කොයි තරම් නානාප්‍රකාර දේවල් දැකලා ඇද්දයි හිතුවාම, ඒවා මතකයන් ද, මවා පෑම් ද කියලා තෝරා බේරා ගැනීමේ අපහසුතාවයකුත් තිබේ.

ස්කූටරයේ ආගිය අනිත් එක්කෙනා, අපට ඉංග්‍රිසි ඉගැන්වූ මිස්ට ෂෙල්ටන්ය කියා මට යන්තම් මතකයක් තිබේ. ඉතින් ඒ කාලයේත් අද කාලයේ වගේම, රේස් පදින සවාරි යන අය කාණ්ඩයක් ඉන්නට ඇති නමුත්, අපේ පැත්තේ ස්කූටර් වනාහි, අජානේය ඒවා නොව, පවුල් පිටින් ඉස්කෝලෙට වැඩට ගෙනියන්න, සිමෙන්ති, හෙවිලි තහඩු මතු නොව, බැරල්, බෝතල්, බෑග් පැකේජ් ආදී  වශයෙන්, බර ඇද්ද වඩක්ක ගොනුන්ම වුවායි අද හැරී බලද්දී සිතෙයි.

මවා පෙන්වීම් ගැන හිතුවාම නම්, අල්ලපු ගෙදර බයස්කෝප් එකම, මවා පෑමේ කතාවක් වටාම ගෙතී තිබේ. සිංදු කියන්නට හිත තිබුණත් මං වගේම ලොකුවට පතක් නොතිබූ, මතක හැටියට පරණ සොල්දාදුවෙක් වූ, ජෝ අබේවික්‍රමට, ක්ලැරිස්ට වැලන්ටයින් දැමීම සඳහා,  පසුබිම් ගීත කියන්නට ගිය ඇන්තනි සී පෙරේරාව, සන්ධ්‍යා කුමාරිට මාට්ටු වීමේ කතන්දරය වටේ කැරකෙන අල්ලපු ගෙදර, එක අතකින් වැඩ බැරිකම වහගන්නට ඇඩ් ලිබ් කිරීමේ අවධානම වගේම අනපේක්ෂිත ප්‍රතිඵල ගැනද කියා පානා කතාවකි.



 මේ වකවානුවේ ලංකාවේ අයට නම්, මවා පෙන්වීම් හා රඟපෑම්, ආදී නාට්ටිය කලා, මැජික්කාදිය ගැන උදාහරණ ගන්නට පරණ බයස්කෝප් බලන්නට කාලය නාස්ති කිරීමේ උවමනාවක් නැති බවත් ඒ අස්සේ සිහිපත් වෙයි.




ඉතින් මේ වැලන්ටයින් දවසේ, ඈතක අම්මා එක්ක ඉන්නා, මගේ සන්ධ්‍යා කුමාරිට සුබ වැලන්ටයින් දිනයක පැතුමුත් එක්ක මේ සිංදුව මෙතන අවුණමි.

ඇන්තනි සී ගේ මූණ තිබුණත් සිංදුව කියන්නේ නම් මිල්ටන් ය. ජේ. ඒ. මිල්ටන් පෙරේරාය.


[සන්ධ්‍යා කුමාරි ගැන බොහෝ විස්තර අන්තර්ජාලයට එකතු කර අපේ මතකවල හිස්තැන් පුරවන්නට දායක වූ සියළු දෙනාටම අපේ ප්‍රණාමය. මෙතන ඇවුණූ ගීත වීඩියෝ යූබටයේ සන්ධ්‍යා නමින් වෙන්වූ චැනලය පවත්වාගෙන යන ආදරණීයයන්ට පින්සිදු වන්නට ය.]

3 comments:

Blogroll

About