Friday, December 30, 2022

පිහාටු....!




එදා අපි අරගත්තු
අපේ පින්තූරවල
උරිස් මත දම් පාට
පියාපත් මතුවෙලා පෙණුනා...
බිත්තියේ විසිරිච්ච
වලාකුළු පුළුන්වල
තැනින් තැන රතුපාට
සිඟිති පැල්ලමුත් තිබුණා...
කැඩී කුඩු වුණත් හිස
එදා වාගෙම ගැහෙයි
සීරිලා තුවාලව
වල දාපු හදවත...
දැනෙයි ඒ හදවතට
සිරි සිරිස් ගා අඬන
හීන් වේවැල් පහර
පුපුරු දා ලේ පිපෙන
Continue Reading...

දේදුනු....!





දේ දුන්න වැහැරිලා 
පාට හත හේදිලා
සුදුම සුදු චාපයක්
කළු අහස කෙළවරේ
විඩා නිවනා වෙලේ

‍ටොරොන්ටෝ විල උඩින්
එන සුළං රැළි මතින්
සරුංගලයක් වගේ
පියාඹා මතුවෙලා
හිනාවෙයි ඔබ ඇවිත්
කෙහෙ කැරලි අගිස්සේ
රිබන් මල් ගස්සලා....

විලේ රැළි විසිරිලා
නෙළුම් මල් මතුවෙලා
පිපී විකසිත වෙලා
රාත්‍රිය සුවඳ වී
බඹරුනුත් ඇහැරිලා

උකුල වෙත පහත් වී
සිඹිමි නළළත ඔබේ
ජීවිතය විලක් වී
නිවී සැනසී නිවේ...!
Continue Reading...

Thursday, December 29, 2022

රන්සරයි, මමයි.



මුහුණු පොතේ හිතට වැදුණු සටහන් කොපි පේස්ට් කර ගැනීම අහම්බයක් නොවූ නමුදු, යමකට මා ලියූ උත්තරයක් පිටපත් කරගැනීම  නම් සුලභ දෙයක් නොවෙයි.
මේවා මෙහෙම කොපිවී ඉතිරිවී තියෙන්නටත්, දෙදාස් විසිදෙකත් පණ අදින මේ මොහොතේ මේම මේම ඉලිප්පී පෙනෙන්නටත් මොකක්ම හරි හේතුවක් ⁣හෝ අහේතුවක් හෝ තියෙන්නට පුළුවන


Ransara Bandara
March 6,  2018 at 12:45 pm

නිබඳ මල් වී පිපෙන පැතුමන්
පරවෙලා යන්නට කලින්
සබඳ අපි ඔවුනොවුන් ගිවිසෙමු
මියෙදුනත් නොමියන පෙමින්
ඇරඹුමක් මිස නැවතුමක් නැති
කතාවක අපි චරිතයන්
එක් වුනත් නොවුනත් කමක් නැත
හැකි තරම් දුර එකට යන්
දුවන නවතින විටක හතිලන
ජීවිතය මිරිඟුවක් නම්
ඉතිං අත්වැල් පහුරු නොබඳිමු
ලෙහෙන්නට නියමිතයි මන්...........
-------------------------------------
Ransirimal Fernando .
ආත්ම ගණනක් සංසාරේ
සුවඳ දිගේ ආවා
ඈත්ව යන්නට කවදාවත්
නෑ හිතුවේ මේ මා
ගිනියම් වැල්ලේ අපෙ පා සලකුණු
මැකුවා දිය රල හැමදාමත්
මල් පෙත්තක රැඳි කුංකුම මල් මධු
විසිර ගියේ නෑ කවදාවත්
පැතුමක සිතුමක සිතුවම් වී ඇති
සුවඳකි පිවිතුරු ආදරයේ
සසර පුරා අපි හද දොරගුළු ලා
සුරකින මේ සුවබර සිහිනේ

https://www.facebook.com/ransarasandaruwan.bandara/posts/1846314768714491?comment_id=1846333645379270&notif_id=1520344580507480&notif_t=feedback_reaction_generic&ref=notif
Continue Reading...

රජ මැදුරක ඉපදී සිටියා නම්....


 


මේ ගීතය බොරලැස්ගමුවේ ඉපිද ලොස් ඇන්ජලිස් නගරයේදී සමුගත්, මාලිනී ගේ ය. ඕ, එච්. එම්. ජයවර්ධනයන්ගේ බිරිඳය. කසුන් කල්හාරගේ අම්මාය. සංගීතය එච්. එම්. ගේ ය. වචන, ලූෂන්ගේ ය.

මේ විඩියෝවේ මේ ගීය ගයන්නේ නම්, ඒ මාලිනී ගේ සොයුරිය, සන්ධ්‍යා බුලත්සිංහල ය.

ලූෂනුත් බුලත්සිංහල කෙනෙක් නමුත්, රත්මලානේ පැත්තේ පෙරේරා පවුලක උපන් ලූෂන්ට මාලිනීලා එක්ක නෑදෑ කමක් තිබුණාය හිතන්නට බැරි ය. නොහිතන්නටත් බැරිය කියාත් කාට හෝ හිතෙන්නට පුළුවන. 

එහෙම වුනත් මේ හැමදෙනාම නෑයෝ ය. එයාලා අපේත් නෑයෝය මට හිතේ. එහෙම හිතෙන්නේ මේ, පදවල හැංගී තියන හීනය අපි කාගෙ කාගේත් හීනයක් වන නිසාය. තමුන්ගේම බිළිඳෙක් බිළිඳියක් අරභයා මෙන්ම, නෑ නොනෑ කවරම හෝ බිළිඳෙක් බිළිඳියක් අරභයා වුව ද මේ හැඟීම් සමුජ්ජය, රජ මැදුරක ඉපදුනේ නම් අනේ ඉතින් මේ පොඩිත්තාත් රජෙක් ය කියන හිතිවිල්ල නූපන් වැඩිහිටි හිතක් අපි දන්නා කියන අය අතරේ නැති තරම්ය කියා මම සිතමි.

අපේ තාත්තා, එක්තරා කාලයක ‌කෙනඩි  ෆෑන් කෙනෙකු ව සිටියේ ය. ඒ ‌ජෝන් කෙනඩි ඇමරිකන් ජනාධිපතිවරණය දිනා, ඇරඹූ එක්තරා අන්දමක සෝබන යුගය, 1963 කෙනඩි ඝාතනයෙන් අවසන් වූ සමයයි. පනස් නවයේ අපේ රටේ හා හපුරා කියා ලඟටම ගිහින් වෙඩි තියා මරා දැමූ බණ්ඩාරනායකට වඩා කෙනඩිගේ ඝාතනය අපේ තාත්තාට හද කම්පා කරන්නක් වෙන්නට එක හේතුවක් වූයේ එයාලා ඒ කාලයේ ලේත් කොළපාට යූ ඇන්ඩ් පී කාරයන් ව හිඳීමත්, හැටේ ආණ්ඩු බලය ගත් සිරිමා ආණ්ඩුවේ, ඉස්කෝල ආණ්ඩුවට පවරා ගැනීම වැනි, ක‌ොමියුනිස්ට්කාර අණ පනත් වලට එරෙහිව, පල්ලි ඉස්කෝල රැකගන්නට දිවා රාත්‍රි 'අරගල' කරපු අය වීමත්ය නිසාය කියා සිතමි. ඔය මොන අරගල කලත්, හැටපහේ දිනලා හැත්තෑව වෙනතුරු කවුන්සිලේ ඉඳලා, නිදහස් ලංකාවේ, ඉස් ඉස්සෙල්ලාම අවුරුදු පහේ ජීවන චක්‍රය සම්පූර්ණ කල ඩඩ්ලිගේ හත්හවුල් ආණ්ඩුවෙන්, ඉස්කෝල රජයට පවරා ගැනීමේ අන පනත්, 'රිවස්' වුනේ නම් නැත. ඉතින් අපේ තාත්තා, ‌තාත්තා නැතුව අසරණ වූ කෙනඩි පවුලට කොයි තරම් ඥාතීව සිටියා ද කියනවා නම්, ටයිම් හෝ ලයිෆ් සඟරාවකින් කපාගත් කැරොලයින් කෙනඩි ගේ පින්තූරයක් රාමු කරවලා ගෙනවිත් ගෙදර බිත්ති කණුවක එල්ලා තිබුණේ ය. පොඩි කෙල්ලන් දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වූ අපේ අම්මාට නම්, අපේ තාත්තාගේ ඇමරිකන් හුරතලය ඇල්ලුවේ නැත. එයා අපිත් එක්ක එකතු වී, දවසක, අර රාමුව ගලවලා, කැරොලයින්ගේ පින්තූරය වහලා, නංගිලාගේ පින්තූර දෙකක් දාලා නැවත එල්ලුවා ය. ඒක රිවස් කරන්නට තරම් ජනාධිපති බලතල අපේ තාත්තාට නොතිබුණාය හිතමි. ඒ කතාව ඔළුවට ආවේ, මේ ගීතය ගැයෙන්නට බොහෝ කලකට පෙර සිද්ධ වූ දෙයක් මුත්, අපේ අම්මාත් එක්ක ඒ පින්තූර මාරුව කරද්දී, අපේ හිත් වල තිබුණේත්, අපේ නංගිලාත් වයිට් හවුස් රෝස් ගාඩන් එකේ කෙලිසෙල්ලම් කරන්නට අයිතිය තියෙන එවුන්මය නේ ද කියන හිතිවිල්ලයැයි සිහිපත් වූ නිසාය.

කෙසේ වෙතත්, මේ ගීය කියන්නේ, ‌පොල් අතු බාගෙන හිරිකඩ විසිරෙන, මාළිගාවක සිරි යහනේ සැතපෙන කිරි සප්පයකු ගැනය. ‌මේ වගේ මාලිගා, කටු මැටියෙන් වරිච්චි නග්ගා හෝ පොල් අතුවලින්ම බිත්ති ආවරණය කර, පියස්සට පිදුරු පොල්ලතු හෙවිල්ලා, බිමට ගොම මැටි ගාපු මාලිගා, වල ජීවත් වූ මිනිස්සු ඇතිතරම් අපේ පලාත්වලත් සිටියහ. තමුන්ගේම බිම් කඩක මෙන්ම, අනුන්ගේ බිමක පිනට ගෙවල් හදාගෙන බැලමෙහෙවරකම් කල මිනිස්සු, ගෑණු, ‌බොහෝ දෙනෙකුගේ මාලිගාවී තිබුණේ මෙවැනි පැල්පත් ය. පැල්පතේ ඉන්න එකාගේ හිත්වල, තම දූ දරුවන් ගැන මේ වැනි හැඟීම් තියෙන්නට ඇති නමුත්, ඒ කාලේ ආපු චිත්‍රපටියක් වූ 'හඳපාන' ට සිසිර ඉන්ද්‍රාණි ගැයූ ගීත අතර ‌වූ මේ සිංදුව, ඔය කාලයේ මෙන්ම අද කාලයේ වුනත්, අපේ සංස්කෘතියේ මුල්බැස ගත් සංකල්පයය කියා මට හිතේ.



සීත දියරැළි නීල....ගංගා.... සාර කෙත්වතු මැද ගලා යයි..... ඕලූ, මානෙල් ,නෙළුම් නැළවෙන.. වැව් පොකුණු ගම අලංකාරයි... කියා අරඹන මේ සිංදුව කියන්නේ, පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ කියා ය. ටිකිරි සිතිවිලි බොළඳ හසරැලි, මෙහි තිබේ හොඳ ආදරේ කියාය... කැළෑ මල් වල සුවඳ රැඳි මදනලේ වාසනාවත්, කුරුළු ගීයෙන් හදේ වේදනා මකාගෙන අහිංසකව පියවර මනින ගැමි ජීවිත ගැනත් ය.

මේ වගේ තාල තානම් එක් එක් ආකාර ආලවට්ටම් දමා, දේශපාලන වේදිකා මතත්, දියවන්නාවේ මාලිගාවේ දීත්, එක් එක් ආකාර වලට රැව් පිළිරැව් දෙවනවා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. අභාග්‍යය වන්නේ ඒ පිදුරු සෙවිකල පැල්පත් වල හිටිවුන්, ගාමන්ට් ෆැක්ටරිවල ඉඳිකටු ඇනගෙන, මැද පෙරදිග, ඉතාලියේ, ඇස් ඉස් මස් ලේ දන්දී කඹුරා ඇවිල්ලාත්, තාම ළමයි නලවන්නේ ‌රජ මැදුරක ඉපදී සිටියා නම් තාලයටම වීමය.

දිළිඳු පැල්පතක උපන් එකෙකුට, රජ කිරුළක් පළඳින්නට ලෙහෙසියෙන් වරම් ලැබෙන්නේ නැත. සර්වබලධාරී දෙවියන් වහන්සේ, සිය පුත්‍රයා වූ ජේසුස් ක්‍රිස්තුන්, බෙත්ලෙහෙමේ ගවහලක, දිව්‍ය වරමින් ගැබ්ගත් කන්‍යාවියක කුසින් උපද්දවා, ගව ඔරුවක සතප්පවා මිනිස් සංහතියට ඉගැන්වූ පාඩම් බොහෝ ගණනක් අතර, ‌මෙන්න මේක, එනම්, පැල්පතක උපන් එකා, මේ ලෝකයේ රජ වෙන්නට පැතීම, මතු නොව, 'මිහිපිට නොවේ ය' කියා සථප කල රාජ්‍යයක රජාය කියා ගැනීම පවා, කස පහර ගස්සා, කටු ඔටුණු පළඳා, එල්ලුම් ගහත් කරේ තියාගෙන ගොස්, කන්දක් මුදුනේ කුරුසියක ඇණ ගැසී, 'පියාණනි, ඔබ මා අත් හැරියේ මන් ද?' කියා අවසාන හුස්ම පොද හෙලන්නට තරම් වරදක් බව, සහ සුද්දෙන් පැහැදිලිව කරලාම ඔප්පු කර පෙන්නීම, වැදගත්ම එක වන්නේ ය.

එහෙව් කතාවක සුලමුල හිතද්දී, බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ලස්සණ බිළිඳෙක් මල් වගේ කියා අපි ගයන බිළිඳා නැලවූ කන්නි මරියාවන්ගේ හිතේත්, 'රජ මැදුරක ඉපදී සිටියා නම්...' කියා නිකමට හෝ ගැයෙන්නට නැද්දැයි අපේ සිත්වලට දැනෙන්නට ඕනෑ යි අද මම සිතමි. ‌ඒ ගවලෙනේ උපන් පුතාගේ ධර්මය රෝමයේ සිංහාසනාරූඨ වෙන්නේ, තවත් කල්ප ගණනක් ලේ හලා ජීවිත පූජා කිරීම් වලින් පසුවය. ඒකත් සාමයේ පණිවිඩය රජ මැදුරකට යාමක් ද නැත්නම්, රජ පරපුර, ටියුන් එක මාරු කර, ජනතාවගේ කන් වලට වංචාවේ අම බිඳු වැක්කිරීමක් ද කියාත් සැක සිතෙයි. මන්දයත්, තවමත් අපේ අම්මලා, මාලිනීගේ ගීතයේ තාලයටම දරුවන් නලවන නිසාවෙනි.

රෝම අධිරාජ්‍යයේ අණසකට යටවූ දෙවියන්ගේ තෝරාගත් දරුවන් වූ ඊශ්‍රායෙල් ජනතාව, එදා බෙත්ලෙහෙමට වල්ගා තරුව පායන කාලයේ සිටියේත් දියසෙන් කුමාරයා උපදින කල් ය. අපේ රටේ අපි වෝටබරිස් කුමර කුමරියන් කිහිප දෙනෙක් හඹා ගොස්, බිංදුවටම වතුර හිඳී කාන්තාර වූ රටක සිට, කාන්තාරයක කඹුරන ගෑණු පිරිමි ඩොලර් එවන තුරු බලා ඉන්නා අවදියකට සේන්දු වී සිටිමු. දියසෙන් කුමාරයා වෙනුවට, අනුන්ගේ බබෙක් අරන් වැල් පාලමේ යනවායි පාරම් බාන ගෲෂාට ඇඳගෙන කරළියට ගොඩවී කෝනංගි නැටුම් නටන අළුත් නළුවාගේ දෙබස් ට්‍රාන්ස්ලේට් කරමින් අග මුල හොයාගන්නට අර අඳිමින් සිටිමු.

මේ අව් අස්සේ නත්තලය කියා අප සමරන මේ උපන්දින සාදයේ හංගා තියන රහස ගැනත් කල්පනා කල යුතුම කාලයක් අපට පැමිණ තියේයැයි මම සිතමි. එදා ‌දියසේන උපන්නේ රජ මැදුරක් තබා, හරි හමන් නගරයක්වත් නොවුනු, ගම් මණ්ඩියක, ගව හලකය. බඩ දරු අම්මෙක් එක්ක, රාජ අණ නිසා, නම ගම රෙජිස්ටර් කරන්නට ගිහින්, ඉන්න හිටින්න හරි හමන් තැනක් හොයා ගන්නට බැරුව, තම බිරිඳ කුළුඳුලේ දරුවා ප්‍රසූත කරන්නට ගවහලක ගාල් කල වඩුවෙකුට දාව ය.

දේව භාෂිතයෙන් පෝෂණය වූව ද, ඊශ්‍රායෙල් ජාතිය, ඒ කුමාරයා අඳුනාගත්තේ නැත. අන්තිමේ, ගැලවීමේ පණිවිඩය, සිංහාසනාරූඨ වූයේ රාජකීයත්වයේත්, පාලනාධිකාරයේත් අවියක් ලෙසයැයි ඉතිහාසය සාක්ෂි දරයි.

අළුතෙන්ම රටක් හදා දෙන්නට තරම් සුන්නද්ධූලි වූ ඊශ්‍රායලය, අදටත් යුද්ධයක ය. 2022 වසර, 2006 න්ල පසු පලස්තීනයේ මාරාන්තිකම වසර යැයි, එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරංචි මාර්ග පවසයි.

ආදරණීය ‌සොයුරු සොයුරියනි.... ගැලවුම් කරුවා නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් ය.

 [නත්තල් - 2022]






Continue Reading...

Wednesday, December 21, 2022

හතලිස් තුන



(43)

පතා පැතුමක් නොපැතු මොහොතක
ඔහේ එන යන මුහුණු අතරේ සැඟවිලා 
සොයා ආ මා, මගේ නිරිඳුනි
ජීවිතේ හැම නිමේෂයකම
ඔබේ නම සලකුණු වෙලා

අහම්බෙන් අද හැරී බලලා
සිඹින්නේ මම ඔබේ සුවඳයි
බිඳී විසිරුණු මතක මල් මත
හැලී වියැකුනූ කඳුළු බිඳු සේ
ජීවිතේ කෙලිලොල් වියේ

නිගාවක් වූවා නොවේවා
බිළිඳු හැසිරිලි දිළිඳු වැලි කෙළි
ලදරුවෙක් වූවා මෙමා.
තාරකාවෙන් තාරකාවට
නිනඳ දී පිලි රැව් නැගී
ඇසෙන්නේ මට ඇසෙන්නේ...
ඔබේ මිරිවැඩි හඬන හඬමයි
එදා බිළිඳෙක් සේ ඇසූ...!
 -.-
The day was when I did not keep myself in readiness for thee; and entering my heart unbidden eපven as one of the common crowd, unknown to me, my king, thou didst press the signet of eternity upon many a fleeting moment of my life.

And today when by chance I light upon them and see thy signature, I find they have lain scattered in the dust mixed with the memory of joys and sorrows of my trivial days forgotten.

Thou didst not turn in contempt from my childish play among dust, and the steps that I heard in my playroom are the same that are echoing from star to star.


Continue Reading...

Friday, December 16, 2022

අපි තමයි නියම විප්ලවකාරයෝ..! - කසුන් සමරතුංග [බූන්දි, සඳුදා, ජුනි 18, 2018]


මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන කවර කතාද?" 'ඇය' නෝක්කාඩුවෙන් මෙන්, එහෙත් සිනාසෙමින් පැවසුවාය.

මගේ සිතට ක්ෂණිකව නැගුණු ලැජ්ජාව අපහසුවෙන් වසන් කර ගත්තෙමි. මගේ මිතුරා අපේ හමුවීමට විධිවිධාන සකස් කරන අතරතුර 'ඇය' ගැන පැවසූ වදන් මට යළිත් සිහිපත් විය.

"උන් වැඩිය කාවවත් ආශ්‍රය කරන්න කැමති නැහැ. මිනිස්සු හිනා වෙනවා, විහිළු කරනවා කියල. උඹ වුණත් මුණ ගැහුණම වෙනසක් නැතුව හැසිරෙන්න මතක තියා ගනින්, හොඳද?"

මගේ මිතුරා කලින් එසේ මා දැනුවත් කළද, මනසින් සුදානම් වී මා එතනට පැමිණියද මටත් නොදැනීම නිරායාසයෙන් 'ඇය' වෙත නුහුරු බැල්මක් යොමු වන්නට ඇත. කමක් නැහැ! වරද මගෙයි. ඒ නිසා එය නිවැරදි කරගත යුත්තේද මමමයි. නමුත් ඊට පෙර මා ඔබට 'ඇය' පිළිඹඳ යමක් පවසා සිටිය යුතුමයි. නැතිනම් මේ කතාව මෙතැනින් ඉදිරියට ගෙන යන්නට නොහැකි වෙයි.

මීට අවුරුදු කීපයකට පෙර අපේ හමුවීම සිදු වූවා නම් එදා මා 'ඇය'ට කතා කරන්නට, ලියන්නට නියමිතව තිබුණේ 'ඔහු' යනුවෙනුයි. ඔවු! ඔබ සිතුවා නිවැරදියි. දැන් මේ මොහොතේ මා ඉදිරියේ සිටින්නේ, මා මේ කතා බහ කරන්නට සුදානම් වන්නේ සංක්‍රාන්ති ලිංගිකයෙකු සමගයි. 'ඔහු' වෙතින් 'ඇය' වෙතට සංක්‍රමණය වූ අප මෙන්ම සාමාන්‍ය මනුස්ස ප්‍රාණියෙකු සමගයි. ඇමතීමේ පහසුව සඳහා අපි ඇයව 'කුමාරි' ලෙස නම් කරමු. කුමාරිට කියන්නට නම් මොන තරම් කතන්දර ඇද්ද?

"සමාවෙන්න! මම එහෙම හිතා මතා වැරදි විදියට බැලුවේ නැහැ." මම මුලින්ම මගේ අතින් වූ වැරැද්ද නිවැරදි කර ගන්නට උත්සහ කළෙමි.

"අයියෝ! ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඕවා දැන් හොඳට පුරුදුයි. එක අතකට මම මුහුණ දීපු දේවල් එක්ක ඕවා මොනවාද අනේ?" කුමාරි සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නාය.

ගැහැණියක් සතු විය යුතු ලාලිත්‍ය ඇය තුළද නොඅඩුව දකින්නට තිබේ. කතා බහ, හැසිරීම අතිශයින්ම සාමාන්‍යය. නමුත් ඇගේ ඇතුළත ලෝකය ගැන තොරතුරු දන්නේ ඇයම පමණකි. ඉතින් ඇය කතා කරවිය යුතුමය.

"මට පොඩි කාලෙ ඉඳලම වැඩිපුර හිටියේ ගෑනු යාලුවෝ තමයි. පිරිමි යාළුවෝ හිටියෙම නැති තරම්. ඇත්තම කිව්වොත් පිරිමි ළමයි මාව ආශ්‍රය කරන්න කැමති වුණේ නැහැ. එක නිසාම වෙන්න ඇති මමත් වැඩිපුර ගෑනු ළමයි ආශ්‍රය කරන්න පෙළඹුනේ. මට පොඩි කාලෙ ඉඳලම ඕනේ වුණේ ගෑනු ළමයෙක් වගේ හැසිරෙන්න. ඒ වගේ ලස්සනට අඳින්න. බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්න. කලිසමට වඩා මම ආසා කළේ ගවුමට. ඒක නිසා පොඩි කාලෙ ඉඳන්ම මම යාලුවෝ අතරේ විහිළුවක් වුණා. පිරිමි ළමයි විතරක් නෙවෙයි ගෑනු ළමයි පවා මන් දිහා බැලුවේ හරි අමුතු විදියට. නිකං අමුතු සතෙක් දිහා බලන්න වගේ. එක නිසා පොඩි කාලෙ ඉඳන්ම මම හැදුනේ වැඩුණේ ටිකක් හුදෙකලාව කිව්වොත් ඒක වැරදි නැහැ. ඒක ඇත්තටම මට මානසික වදයක් වුණා. මට ඇත්තටම ඕනේ වුණේ එහෙම හුදෙකලා වුණ ජීවිතයක් නෙවෙයි. අනිත් ළමයි වගේ-විශේෂයෙන් ගෑනු ළමයි වගේ හැසිරෙන්නයි මටත් ඕනේ වුනේ. එත් ඉතින් මට උරුම වුනේ ඊට වඩා වෙනස් ඉරණමක්. එතනින් ඇති වුණ මානසික පසුබෑම අදටත් මගේ ජීවිතේ පුරා හොල්මන් කරනවා."

කුමාරි ජීවිතය පිලිබඳ ඇගේ කියවීම මා ඉදිරියේ දිග හරින්නීය. ඇගේ වචනවල අවංකභාවය සංවේදී මොහොතක පවා උවන සිසාරා සෙමෙන් පැතිර යන මන්දස්මිතයෙන් කියවා ගත හැකිය. හේතුවක් ඇතිව හෝ නැතිව ඇගේ කතාවට බාධා කරන්නට මට සිතක් පහළ විය.

"ඔයාගේ ගෙදර තිබුණේ මොන වගේ තත්ත්වයක්ද?"

"මට හිටියේ අක්ක කෙනෙකුයි, නංගි කෙනෙකුයි. එකම පිරිමි ළමයා මං විතරයි. අක්කගේ වැඩි විශේෂත්වයක් තිබුණේ නැහැ. එයා සාමාන්‍ය ගෑනු ළමයෙක් විදියට හිටියා. එත් නංගි නම් තනිකරම කොල්ලා! එයා කරේ කොල්ලෝ කරන වැඩමයි. ගස් නගිනවා, ගඟේ පීනන්න යනවා, සෙල්ලම් කරන්න යනවා. එයාට නම් වැඩිපුර හිටියේ පිරිමි යාලුවෝ. ඒ කාලෙ නෑදෑයෝ මාවයි නංගිවයි පෙන්නලා විහිළු කරන්නේ කොල්ල වෙන්න ඕනේ එකා කෙල්ල වෙලා කෙල්ල වෙන්න ඕනේ එකා කොල්ල වෙලා කියලා. ගෙදර අයටත් මගේ වෙනසක් තේරෙන්න ඇති. ඒත් අම්මයි තාත්තයි මට කිසිම වෙනසක් කරේ නැහැ. සාමාන්‍ය විදියට සැලකුවා. මං ගොඩක් දේවල් කතා කරේ නංගිත් එක්ක. අක්කා අපි දෙන්නට වඩා ගොඩක් වැඩිමල්. ඒත් අපි දෙන්න එක ළඟ වයසේ. අනික නංගි තනිකර කොල්ල වගේනේ! එක නිසා මන් එයත් එක්ක ගොඩක් ලං වුණා. අපි දෙන්න කතා කරද්දී මන් නංගිට විහිළුවට වගේ කියනවා තමුසෙගෙ කෙලිකම මට දීල මගේ මේ කොලුකම තමුසේ ගන්නවකො කියල. අපෝ ඔයාගේ ඔය කොලුකමට වඩා නම් මගේ මේ කෙලිකම හොඳයි කියල නංගි ඒ වගේ වෙලාවට මට හිනාවෙනවා. ඇත්තටම මම ඒ කාලෙ විහිළුවට වගේ කිව්වේ ඇත්තටම මගේ හිතේ තිබුණ දේවල්. මට හැමදාම ඕනේ වුණේ කෙල්ලෙක් වෙන්න."

"ඉතින් කොහොමද ඒක කරගත්තේ?" මම නැවතත් අතරමැදින් කඩා පැන්නෙමි.

"ඒක දිග කතාවක්." ඇය සන්සුන්ව කියයි. "මම කෙටියෙන් කියන්නම්. ඉස්කෝලෙන් අයින් වෙලා නිදහසේ ඉන්න කාලෙ මං තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගත්ත. ඒ අපේ ඉස්කෝලෙම හිටපු මට වඩා අවුරුදු හතරක් වැඩිමහල් අයියා කෙනෙක් එක්ක. ඒක ඇත්තටම සමලිංගික සම්භන්ධතාවයක්. එයා ඉස්කෝලේ යන කාලේ ඉඳලම මං ගැන ආසාවෙන් ඉඳල තියෙන්නේ. මාත් පස්සේ තමයි දන්නේ. ඉතින් කොහොම හරි අපි දෙන්නා අතර සම්බන්ධතාවයක් ඇති වුණා. අපි දෙන්නා එකට ඉන්න හැමවෙලාවෙම එයා හැමතිස්සෙම කියන කතාවක් තිබුණා. ඔයා කෙල්ලෙක් වුණා නම් කොච්චර ෂෝක්ද? එයා හැමතිස්සෙම කිව්වේ එකයි. මට හැමදාම ඕනේ වෙලා තිබුණෙත් ඒකයි. ඉතින් ඇත්තටම එහෙම වෙන්න බැරිද? අපි දෙන්නම කල්පනා කළා. අන්තිමට මව කෙල්ලෙක් කරන්න මටත් වඩා ඕනෙකම තිබුණේ එයාට. ඉතින් අපි දෙන්නම එක ගැන හෙව්වා. අන්තිමට එය ක්‍රමයක් හොයා ගත්ත. ඉතින් අපි දෙන්නම දාහක් බොරු ගෙවල්වලට කියල පිටරට ගියා. කොල්ලෙක් විදියට රට ගිය මම අපහු ලංකාවට ආවේ කෙල්ලෙක් විදියට. ඔන්න ඕක තමයි බොහොම කෙටියෙන් කියනවා නම් කතාව."

"බය හිතුනේ නැද්ද?"

මගේ ප්‍රශ්නය බොළඳ එකක් යැයි හැඟුණ නිසාදෝ කුමාරි මහා හඬින් සිනාසුණාය.

"මට හැමදාම ඕනේ වෙලා තිබුණේ එහෙම වෙන්න. ඉතින් මොකටද මම බයවෙන්නේ?"

"මම ඇහුවේ ඔපරේෂන් එකට බය හිතුණද කියලම නෙවෙයි. සමාජෙන්, ගෙදරින්, අනාගතෙන් එන ප්‍රශ්න ගැන බය හිතුණේ නැද්ද?"

මම මගේ ප්‍රශ්නය පැහැදිලි කළෙමි. ඇය සිනාව නවත්වා මදක් කල්පනාකාරී වුවාය.

"ඇත්තටම මට-මම කිව්වේ අපි දෙන්නටම ඒ වෙලාවේ එහෙම දේවල් ගැන කල්පනාවක් ඔළුවට ආවේ නැහැ. අපිට ඕනේ වෙලා තිබුණ දේ අපි කොහොම හරි කර ගත්තා. ඔයා අහපු ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ඒකෙන් ඔයා කැමති දෙයක් හිතා ගන්න. ලංකාවට ඇවිත් මම මුලින්ම ගියේ අපේ ගෙදරට. ගෙදර කවුරුවත් මං කියපු දේ විශ්වාස කරේ නැහැ. මම කොහෙද ගියේ, මේවා කර ගන්න සල්ලි කොහෙන්ද ඒවා මොකුත් එයාලට ප්‍රශ්නයක් වුණේ නැහැ. එකම ප්‍රශ්නෙ වුණේ මම පවුලේ නම්බුව විනාශ කළා කියන එක විතරයි. ඔයා විශ්වාස කරන්න එදා ඉඳල අද වෙනතුරු මම තාම අපේ ගෙදර හතර මායිමේ අඩියක් තියල නැහැ. මම පණ වගේ ආදරේ කරපු මගේ නංගිවත් මට අද ටෙලිෆෝන් කෝල් එකක්වත් දෙන්නේ නැහැ. එච්චරයි! මං හිතන්නේ ඔය අහපු ප්‍රශ්නෙට ඔයාට උත්තරේ හම්බ වුණා."

නැවතත් මම ඇය අබියස නිරුත්තර වුණෙමි. ප්‍රශ්න අහන තරම් පිළිතුරු සොයන එක ලෙහෙසි පහසු නැත. මා කුමක් කියන්නද, ඇගෙන් කුමක් අසන්නද?

"ඉතින්?" මම අසමි.

"ඉතින් කියන්නේ?" කුමාරි නැවතත් සැහැල්ලුවෙන් සිනාසෙයි. "ඔයා පොඩි ළමයෙක් වගේ අනේ ප්‍රශ්න අහන්නේ? දැන් වයස කීයද?" ඇය අසන්නේ ඇස් දෙකෙන් පවා සිනාසෙමිනි.

ඇගේ ප්‍රශ්නය එවර මා වෙත රැගෙන ආවේ ලැජ්ජාව ද මිශ්‍ර සියුම් නොරිස්සුමකි. නමුත් කතාව ඉදිරියට රැගෙන යා යුතුය. ඇගේ ප්‍රශ්න-උත්තර තුළත් ගැබ්වී ඇත්තේ අමුතුම, අපූරු ලාලිත්‍යකි. ඒ රිද්මය බිඳ හෙළන්නට හදවත ඉඩ නොදෙයි.

"ඉතින් ඒ හැමදෙයක්ම වුණාට පස්සෙත් ඔය දැන් සතුටින්ද ඉන්නේ?"

"ඔවු! ගොඩක් සතුටින්. මම එහෙම කියන්නේ බොරුවට, මුනිච්චාවට නෙවෙයි, ඇත්තටමයි. මට හැමදාම ඕනේ වුණේ කෙල්ලෙක් වගේ, ගෑනියක් වගේ ජීවත් වෙන්න. දැන් මන් ඒ ජීවිතේ ජීවත් වෙනවා. මොන ප්‍රශ්න ආවත් මම සතුටින් ඉන්න එකම කාරනෙත් ඒකම තමයි."

"ඒක කොහොමද දැනෙන්නේ?" මගේ කුතුහලය ඇවිස්සිණි.

"මාරයි!" ඇගේ පිළිතුර කෙටි එහෙත් තිර, තෘප්තිමත් වචනයකි.

"මුහුණ දෙන්න වුණ දේවල් ගැන මම අහන්නේ නැහැ. ඒත් ඒ මුහුණ දුන්න දේවල් නිසා දැන් මිනිස්සු, සමාජය ගැන හිතෙන්නේ මොනවාද කියල නම් අහනවා?"

"ඔවු! කමක් නැහැ. ඇත්තටම මට මිනිස්සු ගැන නම් තියෙන්නේ කලකිරීමක් විතරයි. ඒකයි මම වැඩිය එළියට පහළියට යන්නේ නැතුව තනියම ජීවත් වෙන්නේ. මං එක සිද්ධියක් කියන්නම්. මේ ලඟදි කිසිම හේතුවක් නැතුව පොලිසියෙන් මාව අරගෙන ගියා. කිසිම චෝදනාවක් නැතුව බොරුවට ප්‍රශ්න අහ අහා රෑ දොළහ විතර වෙනකම් මව රස්තියාදු කරලා තමයි ආපහු එව්වේ. සමහර නිලධාරීන් කතා කරපු විදිය හරිම අප්‍රසන්නයි. මන් දන්නා විදියට අපි වගේ ගොඩක් දෙනෙක් එහෙම අතවරවලට මුහුණ දෙනවා. ගොඩක් අය අපි දිහා බලන්නෙත් පිළිකුලෙන් වගේ. කතා කරන්නවත් කැමති නැහැ. එත් අපිත් මනුස්සයෝ! අපිටත් හැගීම් දැනීම් තියනවා. එහෙම දේවල් වෙද්දී අපිට සමාජේ ගැන, මිනිස්සු ගැන හරිම කලකිරීමක් තමයි එන්නේ. එත් මන් දැන් වැඩිය ඒවා ගැන හිතන්නේ නැහැ. ඕනෙවට වැඩ හිතන්න ගියාම තමයි හැම ප්‍රශ්නයක්ම. එක නිසා මන් දැන් අපිට හිනාවෙන, අපිව කොන් කරන, අතවර කරන මිනිස්සුන්ට අනුකම්පා කරනවා විතරයි."

"ඒ මිනිස්සුන්ට තේරෙන්න මොනවා හරි දෙයක් කියන්න කැමති නැද්ද?"

"කැමතියි. බොහොම කැමතියි!" කුමාරි මගේ ප්‍රශ්නය දැඩිව ග්‍රහණය කර ගත්තාය. "ගොඩක් මිනිස්සු ඔය විප්ලව අරව මේව ගැන කතා කරනවා නේද? මම කියනවා අපි තමයි නියම විප්ලවකාරයෝ. අපි දෛවය අපිට දීපු ජීවිතේ ඒ විදියටම බාර ගත්තේ නැහැ. අපි අපිට ඕනේ දේ වෙනුවෙන් සටන් කරා. ඒ වෙනුවෙන් වෙනස් වෙන්න තරම් ශක්තියක් අපිට තිබුණා. අන්තිමේදී අපි අපේ අරමුණ ඉෂ්ට කර ගත්තා. ඉතින් ඕකට නෙවෙයිද විප්ලවේ කියන්නේ? වෙනස්වීම! සමහර විට මම වැරදි ඇති. එත් මම අහන්නේ මට තේරෙන විදියට. අපේ ඒ විප්ලවය දර ගන්න බැරි මිනිස්සු ටිකක් එකතු වෙලා කොහොමද සමාජ විප්ලවයක් කරන්නේ? මට තේරෙන්නේ නැහැ! තේරෙන කෙනෙක් ඉන්නවා නම් මට පැහැදිලි කරලා දෙන්න."

පැහැදිලි කරගත යුතු කාරණා නම් මොන තරම්ද? නමුත් කාලය අපට හරස් වෙයි. එබැවින් නිශ්චිත පිළිතුරු නැති ප්‍රශ්න ගොන්නක් තුරුළු කරගෙන අප ඇයට සමුදිය යුතුව ඇති නිමේෂය එළැඹෙයි. නමුත් සමුගැනීමට පෙර මෙතෙක් වේලා සිත පෙලූ අවසන් ප්‍රශ්නය ඇය වෙතට මුදාහැර හදවත සැහැල්ලු කර ගත යුතුය.

"අර අයියා! එයාට මොකද වුණේ?"

"මම කිව්වා හරියටම හරි. ඔයා ප්‍රශ්න අහන්නේ පොඩි ළමයෙක් වගේමයි." ඇය නැවතත් ඇස් දෙකෙන් සිනාසෙන්නීය. "එයා තාම මාත් එක්ක ඉන්නවා. තව ටිකක් වෙලා හිටියොත් මට එයාවත් ඔයාට මුණ ගස්සවන්න පුළුවන් වෙයි."

අපි පිටත්ව ආවෙමු. ඉතින් හිතවතුනි, නිශ්චිත අවසානයක් නැති මේ සටහනට මම මෙතැනින් නැවතීමේ තිත තබමි.
සිත්තම- Celia Jacobs
Continue Reading...

ජීවිතේ මෙයයි මරණයත් මෙයයි- කොතැනක‍ ගියත් ඒ මෙතැනම තමයි


 


ජීවිතේ මෙයයි මරණයත් මෙයයි
කොතැනක‍ ගියත් ඒ මෙතැනම තමයි

අඬගැසුවොතින් ඔබ ඔබ පතන මොහොතක
මම මෙතන මෙතනයි එදා හිටි තැනමයි
ඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයි
කොතැනක‍‍ ගියත් ඒ මෙතැනම තමයි

මා ගයන ගීතය ජීවිතේ සංගීතය
ගයාවී හෙටත් තව අළුත් ‍හඬක්

හිනැහේවි ලෝකේ කවටයා ඒවී
රූපේ වෙනස් ඇති ඒත් අද වගේමයි
ස්වර්ගේ මෙතනයි අපායත් මෙතනයි
කොතැනක‍ ගියත් ඒ මෙතනම තමයි

අඬගැසුවොතින් ඔබ ඔබ පතන මොහොතක
මම මෙතන මෙතනයි එදා හිටි තැනමයි
ඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයි
කොතැනක‍‍ ගියත් ඒ මෙතැනම තමයි

හෙට ක්‍රීඩාවෙ මම හිටියත් නැතත්
හිනැහේවි තරු පිරුණු ආකාසෙ හෙටත්

ඔබට අමතක වේවි අනිත් හැම දෙනාටත්
ඒත් මම මෙතැනමයි ඔබේමයි සදා කල්
මගෙ මතක ගැවසේවි මෙතන හැමදාමත්
කොතැනක ගියත් ඒ මෙතනම තමයි

ඔබ පතන මොහොතක එන්නැයි කියන්න
මම මෙතන මෙතනයි එදා හිටි තැනමයි
ඔය ලෝක ද්වයම මට ‍මෙන්න මෙතැනයි
කොතැනක‍‍ ගියත් ඒ මෙතැනම තමයි

ජීවිතේ මෙයයි මරණයත් මෙයයි
කොතැනක ගියත් ඒ මෙතැනම තමයි

[Jeena Yahan Marna Yahan | Mera Naam Joker චිත්‍රපටයෙන්]


බූන්දියේ 2012 සටහන
Continue Reading...

Blogroll

About