Showing posts with label අපිත් උන්නා. Show all posts
Showing posts with label අපිත් උන්නා. Show all posts

Wednesday, November 1, 2017

‘සැතපෙන්න සාමයෙන්...!’

අම්මාත් තාත්තාත්
ලොකු නංගීත් අයියාත්
වල දැමූ වල ඉහත්තාවේ
ඉටි පහන් දැල් වූ චූටි නංගී
මා අසල සිටගෙන මුමුණයි

“ඔන්න අපි ආව
ගෙදර කට්ටියව බලල යන්න...”

යන්තමින් මුදුනෙන් මෑත් වූ ඉර
අප පසු පසින් පැමිණ
අපි දෙන්නාගේ ම හෙවනැලි
මිනී වල වැහෙන්නට
සළකුණු කර බලා සිටී

දැල්වෙන ඉටි පන්දම් සිළු
නිවෙන්නට ද නොනිවෙන්නට ද
හිත හදා ගන්නට නොහැක්කාක් මෙන්
සුළඟ සමග ඔට්ටු වෙයි

ලොකු නංගීගේ නම ලියූ ඵලකය පාමුල
පරව වියලී දිරායන
මල් පොකුරක සුන්බුන්
තවමත් තිබේ

ඇගේ උපන් දිනයට
හැම වසරකම වාගේ
මල් පොකුරක් රැගෙන
මස්සිනා ඈ බලන්නට එනබව
නංගී කිවූ වග මට සිහිපත් වෙයි

සුසානය කෙළවරක
ගල් කුරුසයක් මත ඇණ ගැසූ
කෙළවරක් කැඩීගිය සිමෙන්ති තටු විහිදා
ඉගිල යන්නට තතනන දේව දූතයෙක්
‍දෑත රැඳි සාළුවේ ලියා ඇති වදන්
මට පෙනෙන්නට ඔසවා පෙන්වයි...
‘සැතපෙන්න සාමයෙන්...!’


January 26, 2014



Continue Reading...

Sunday, October 29, 2017

තාත්තා....




"උදාසන හදිසියේම වාගේ මම අවදිවීමි. ජනේල වීදුරු සඳ එළියෙන් බබලයි. අඳුර කාමරයේ අහුමුළුවල සැඟවී සිටී. කාලාන්තරයක් යැයි හැ‍‍ඟෙන කාලයකට පසුව මම කල්පාන්තරයක් තිස්සේ හුරු පුරුදු වූ ස්ථානයක සිටින්නේ ය යන හැඟීම දිය බුබුලකින්  මතුවන ජලය සේ ගලාවිත් සිත පුරවා ගනී. ඒ සිතිවිල්ල සිසිලසක් සැනසීමක් සමගම අව්‍යාජ වූ සතුටක් සිතට ගෙනෙයි.

කණ්ණාඩි මේසය ලඟ තාත්තා ජාතික බැනියම හැඳ, කොණ්ඩය පීරන බව මට පෙනේ. තාත්තා මිය ගොස් අවුරුදු අටකට වඩා වුව ද මේ ගෙදර ගැන තවමත් තාත්තාගෙන් තොරව සිතන්නට මගේ සිත ඉඩ නොදෙයි.

මම කණ්නාඩි මේසය අසල ජනේලය හැර සඳ එළිය ගලාගිය පරිසරය දෙස බලමි. මිදුල කෙලවර වූ අඹගස් තුන‍ෙන් දෙකක් ම කපා දමා ඇත. ඒ හිඩැස තුලින් මහපාර පෙනේ. හැම දෙයක්ම හැකිලී කුඩාවී ඇති සෙයකි. අහසේ තරු පන්ති නිද්‍රාවෙන් දිදුලයි. පිරෙන්නට තතනන සඳ අසල සිකුරු තරුව පහන් සිළුවක් සේ අචලව රැඳී සිටියි.

මට මානෙලුත් ඇගේ අවිහිංසක ආදරයත් මතක් වෙයි. ඈ අසල මා විඳින සතුටත්, ඇගේ මුහුණ බලා මා ලබන සැනසුමත් සඳ එළිය සේ මා වටා දැවටී සිටී. මගේ ජීවිතය සදාකාලික නිරීක්ෂණයක්ය යන හැඟීම තදින්ම නැගී එයි. එතෙක් මෙතෙක් මා හඹාගිය බලාපොරොත්තුවක් නැතිය යන්නත්, එතෙක් මෙතෙක් මා සාක්ෂාත් කරගත් අපේක්ෂාවක් නැතිය යන්නත්, සිත පුරා නැගී එයි. මා ලද සෑම දෙයක්ම පාහේ මා ලද, මට දෙන ලද දේවල් මිස, යම් යම් අවස්ථාවල ඉත සිතින් පැතූ නමුදු, හඹා ගොස් සතුරු සෙන් පරදවා අත්පත් කරගත්තා වූ දේවල් නොවන බව මම දකිමි.

සංචාරකයකු සේ, ඊටත් වඩා හොඳින් කිවහොත් වනාන්තරය හරහා ඇවිද යන්නා වූ වැද්දකු සේ, මැකී ගිය දඩ මං හි තිසා හෝ සුදු වැද්දා හි එන වැදි යුවල සේ හෝ හමුවන සෑම ගහ කොලකම හැඩ රුව බලමින් අයාල‍යේ ඇවිද යන පුද්ගලයෙක්  සේ මා මට පෙනේ. දකින හැම දසුනකම පසුපස යමක් දකින්නටත් ඒ හැම දසුනකින්ම වින්දනයක් විඳින්නටත් හැකියාවක් මට ඇතිය යන්න මට පසක් වෙයි.

මම ජනේලය ලඟ සිට ගෙන දෑත් ලයේ බැඳ කල්පනා කරමින් සිටිමි. වෙලාව පාන්දර තුනටත් හතරටත් අතර විය යුතුය. මේ ඉරියව්වෙන්ම තාත්තා කල්පනා කරමින් සිටින ආකාරය මට මතක් වෙයි. තාත්තා ත් මා මෙන්ම ජීවිතය ගැනත්, තාත්තා ගැනත්, සිතන්නට ඇතිය යන්න හදිසියේ දැල්වුණු පහනක් සේ සිත පුරවාලයි.

මම ජනේලය ලඟින් මෑත් වී කණ්නාඩි මේසය ඉදිරිපස සිට ගනිමි. කණ්නාඩියෙන් මගේම පිළිබිඹුව මට පෙනේ. අඩ අඳුර නිසා අග පසඟ සවිස්තරව නොපෙනෙන නමුදු ප්‍රමාණයෙන් හා ආකාරයෙන් තාත්තාට සමීප වූවකු ගේ හැඩරුව මම දකිමි. තාත්තා යම් යම් ආකාර වලින් මා තුල ද ජීවත් වන්නේ ය යන හැඟීම සිතට නැගේ. සදා සම්පූර්ණ නොවුව ද සියයට සියයක්ම නොගැලපුන ද  මට දැනෙන තාත්තා ගේ සමීපත්වය මා තුළම රැඳුනු දෙයක් මිස, අදුෘශ්‍යමානව තාත්තා මා අසල සිටීමක් න‍ොවන බව මට තේරුම් යයි. කුඩා කල සිට තාත්තා කල කී බොහෝ දේවල් බලා සිටීමෙන් මා උකහාගත් මතක සම්භාරය තුලින්, මා තුලින්ම මතුවන්නා වූ දෙයින් මිස අදිසි බලවේගයක් විසින් තාත්තා පිළිබඳ සිතිවිලි මගේ සිතට නොසපයන වග මම පසක් කරමි. යමක් සාක්ෂාත් කර ගත්තෙමිය, යමක් උගත්තෙමිය යන නිදහස් හැඟීමක්, අපේක්ෂා පූර්ණ වූ හැඟීමක්  හිත වසා ගනී. මලවුන් ජීවත්වන්නේ මලවුන් අතර නොව ජීවත්වන මිනිසුන් තුලය යන්න මම හඟිමි."

1997 ජනවාරි 26 දා පාන්දර පහට වෙන්නප්පුවේ ගෙදර දී.
Continue Reading...

Sunday, October 22, 2017

හිත ඇත්නම් පත කුඩා ද?


කවුරු කොහොම කිව්වත් ලිව්වත්, හිත තිබ්බ පමණින්ම පත ලොකු වෙන්නේ නැත. අනික් අතට කොච්චර ලොකු පතක් තිබ්බත් කෝඳුරු බෙට්ටක් තරංවත් හිතක් නැති එකෙකුට ඒ පත පතෙන් වැඩක් වෙන්නේත් නැත. වැඩක් වෙනවාට වඩා තවත් පරාණ රාසියකට අවැඩක් වෙන එකත් සිද්ධ වූ තැන් ඕනෑ තරම් තිබේ.

මේ හිතත් පතත් අතර ගණුදෙනුවේ අපට හරියාකාරව නූගැන්වෙන කොටසක් තිබේ. මෙතැන හිත කියන්නේ පත ලොකුකර ගැනීමේ හිත නැත්තං අභිප්‍රාය මිස, ලොකු පතක් ගැන උදේ හවා හූල්ලමින් දකින මනෝමූලික හීනයක් නොවේ. කොයි වලේ මෙන්ම මේ වලේත් ලේසියෙන්ම වැටෙන්නේ, දා හත දහාට වයසේ පොත්තෙන් ඇටය බේරෙන, පෙති දෙපෙති බේරෙන නාඹර තරුණ හිත් ය. මේකට ප්‍රධාන හේතුව මට හිතෙන හැටියට නං, අපටත් හිතක් තියනවාය යන්න හරියාකාරව සිග්නල් වෙන්නේ මේ වයසේ දී නිසාය. ඉතින් හිත ඇත්තං පත කුඩා නොවෙන්නේ කෝම ද?

මගේ ඔය සමය උදාවෙන්නේ මේ හෑල්ල කියවන බොහෝ දෙනෙක්ට වාගේ ම, උසස්පෙළ තරණය කරලා කොළඹ සරසවි ආ කාල වකවානුවේ ය. අර හිත හා පත මෙන්ම, ගෙදරින් ඇවිත් නවාතැනක නැවතී, තමුන්ගේම ජීවිතයක්, මං කියන්නේ එක්තරා අන්දමකට තමුන්ගේම ජීවිතයක්, ඇරඹීමේ නිදහසත් එකතු වුණාම, අර හිතත් පතත් පුරා නා නා ප්‍රකාර බිතු සිතුවම් මතුවී පෙනෙන්නට ගනී.

මේ ලියන්නේත් කලින් දවසක ලියූ 'අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා' වූ මං ගැනම ය. නැටුං සර්ගේ පාරුවේ පුවක් නිසා, එදා පාරු කවිය පිඹ ගන්නට බැරිවුනත්, හිත ඇත්නං පත කුඩාද අනුව යමින්, මගේ මේ හිල් බටයේ සංගීතය හොයා සැරි සැරීමේ කාරිය නම් නැවතුනේ නැත. ජයකොඩි සර්, සංධවනියෙන් පසු අපට සිංදු වලට මියුසික් පුරුදු කිරීමේ කාරියකුත් කලේ ය. අමරදේවගේ බඹරෙකු ආවයි නිරිත දිගේයා, ගීතය අපේම වාදන වෘන්දය සමග ඉස්කෝලේ සඳුදා රැස්වීමට ගායන කලේ මට මතක හැටියට ඒ කාලේ හයේ හෝ හතේ පන්තිවල මල්ලිලා ය. .

ඔය බඹරා සමග ආ අනෙක් සිංදුව මින්දද හී සර ය. නෑ මේක අනංග කතාවක් නොවේ. තනිකරම මියුසික් ස්ටෝරියකි. මාත් එක්කම ෆ්ලූට් එක පිඹින අපි තුන්දෙනෙක් සිටියෙමු. අනෙක් දෙන්නාගේම නමගම නම් මේ මොහොතේ සිහියට නොඑයි. එයින් හොඳම ෆ්ලූට් කාරයා පිම්බේ හයි ජී, නැත්තං උච්ච සප්තකයේ ස්වර නැගෙන යාන්තං වියතක් විතර වත් දිග නැති, පුංචි ඇඟිල්ලක් විතර නළාවකි. අනිත් අපි දෙන්නාටම තිබුණේ ජී ෆ්ලූට්ය. මේවායේ පහල ස්වර ගාම්භීර ගැඹුරකිනුත් උච්ච ස්වර පසාරු වෙන තියුණු බවකිනුත් පිඹින්නට හිත පත කෙසේ වෙතත්, හොඳට හුළං පිරෙන පපුවකුත්, සියුම්ලෙස පාලනය කලහැකි තොලකුත් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යතාවයක් ලෙස අපි තේරුම් ගෙන සිටියෙමු. මේ හේතුව හින්දා වෙලාවක් ලැබෙන හැම වෙලේම මේකට හුළං පිඹීම අපේ විනෝදාංශය වූ අතර, එක එක සිදුරෙන් නැගෙන ස්වර සිහිතබා ගැනීමත්, විශේෂයෙන් හිලේ බාගයක් ඇඟිල්ලෙන් වසා පිඹින කෝමල හා තිව්‍ර මා ස්වර හරියටම  ඇල්ලීමත් අපේ අනාගත සිහින විමානවල බිත්ති පුරා වැටී තිබුණු සෙවනැලි බවට පත්වී තිබුණේ ය.

ඉතින් මින්දද හීසර ගහන්නට තැත්කවන කාලය වෙද්දී, බෙග්ගේ සිංදු කෑලිත්, මිල්ටන් පෙරේරාගේ සිංදු කෑලිත් එයිටත් අමතරව අපිම හදාගත් එක් එක් සංගීත ඛණ්ඩයනුත් අපේ ගෙවල්වල උන් තොරතෝංචියක් නැතුව අසා තිබුණි. මතක ඇති එක සිංදුවක් නම් 'කුමාරි ආදර මැදුරේ' ය. ඒක නං අද උනත් ඕනෑවට වඩා හවස්වෙලා ගෙදර යන්න වෙන දවසකට වගේ කියන්නට පුළුවන් ජාතියේ සිංදුවකි. අනුමානයක් නැතුව ප්‍රේමකීර්ති මේක ලියන්න ඇත්තේ අත්දැකීමකින්ම කියලාත් හිතේ.



මේ සියල්ලෙන් පස්සේ කැම්පස් යන කාලේ වෙද්දී, අර පත කෙසේ වෙතත් හිත නං පිරී ඉතිරී, මගේ හිතේත් තිබුනේ එක්තරා විදිහක ෆ්ලූට් කාරයෙක්ගේම හිතිවිලිය. ඉතින් ඇඳුම් කැඩුම් එක්ක මගේ ජී ෆ්ලූට් එකත්, තාත්තා අරන් දී තිබුණු සී ෆ්ලූට් එකත් කොළඹ ආයේ ය. කොමන් රූම් එකේ වැඩිපුර කවුරුවත් නැති හැන්දෑවල, මගේ මින්දද හී සර අහපු රසිකයෝත් එකෙක් දෙන්නෙක් වත් සිටියෝය. දැන් වාගේ අතේ කටේ සාක්කුවේ රුවාගන කණට කළාඳුරු කැට ඔබාගන සිංදු අහන මෙවලම් නොතිබුණු ඒ කාලයේ, යාන්තං හිල් බටයක හුළං අතුල්ලන මටත් අපේ විද්‍යා පීඨයේ සමහරු සංගීත කාරයකුට වගේ සලකන ගතියක් ඇතිවී තිබුණි. මතක ඇති තරමින්, ෆ්ලූට් එක පිම්ඹ අනිත් එකා එරල් ය. ඒත් පිඹිනවාට වඩා, තරමක් පදම් වී, මට කියා සංගීතයක් ගස්සවා එන්ජෝයි කිරීම හතර පස් වතාවක් සිද්ධ වුනා මට මතකය.

ඔයින් මෙයින් පළමු වසරේ අවසාන කාලය වෙද්දී, අපේ බැච් එකේ ෆ්ලූට් කාරයෙක් ලෙස, විශේෂයෙන් මගේ වාදනයක් කවදාවත් නොඇසූ කාණ්ඩ අතර යම් තරමක නමක් දිනා ගන්නට මට හැකිවී තිබුණි. විද්‍යා පීඨයේ වාර්ෂික සංගීත සන්ධ්‍යාව හා අපරදිග නැටුම් සංකලනය වූ තමාෂා ව සංවිධානය කරන්නේ ඒ අවුරුද්දේ ශිෂ්‍ය සංගම් බලය අතේ තියන දෙවන වසරේ සිසුවෝය. මේකට කෑලි දෙකකි. තවමත් එහෙම යැයි සිතමි. මුල් කෑල්ල, නව කලාගාරයේ සිංහල සම්භාව්‍ය සංගීත උත්සවයකි. දෙවෙනි කෑල්ල, කිං ජෝජ් හෝල් එකේ, බෑන්ඩ් එකක් හා නොන්ස්ටොප් සංගීතයකි.

අර නවකලාගාර කෑල්ලට, එදා ආවේ අමරදේව, වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ, සනත් නන්දසිරි, මල්කාන්ති, දයාරත්න වැනි ගායක ගායිකාවෝ ය. එ් ගොල්ලට සංගීතය දෙන්නට ආවේ බොහෝවිට ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයට අනුබද්ධ සංගීතඥයෝ ය. මේ අතරට එකතුවන අපේම අයත් එක්කෙනෙක් දෙන්නෙක් සෙල්ලං පෙන්වීම සිරිතකි. මේ චාන්ස් එක ලැබීමත් ගෞරවයකි. බැචාලා අතර තියෙන්නා වූ, පිළිගැනීමේ සංකේතය කි. ඉතින් කතාව කෙටියෙන් කියනවා නම්, අපේ පළමු වසරෙන් බටනලා වාදකයාව ස්ටේජ් එකට නග්ගන්නට කොහෙන් හෝ තීරණයක් ආයේය. මං හිතන හැටියට නම්,
"උඹලගේ කවුරුවත් නැද්ද මචං"
" අඩෝ... අරූ ෆ්ලූට් ගහනවා නේ ද? උගෙන් අහපන්"
වැනි කුමන්ත්‍රණයක් විය යුතු ය.

හිත ඇති එකා පත හොයා ගත යුත්තේ තමුන් දෑස් මානයට එන අවස්ථාවන් තුලින්ම ය. එහෙව් එකේ මෙහෙම චාන්ස් එකකට බෑ කියා යාළුවන් ගේ හිත් රිදවීම නොමනා නිසා, එදා මම තමාෂා ආවේ ෆ්ලූට් එකත් අරගනය.

ස්ටේජ් එකේ වාඩිවී සිටි සංගීත කාරයින් සිටියේ ගායකයා වාඩි ගන්නා කොට වේදිකා කෑල්ලට පස්සෙනි. ඉස්සරහින් හිටියේ තබ්ලාව වාදනය කල විජේරත්න රණතුංග ය. ඊලඟ අංකයට යන්නට සයිඩි තිරය අහල හිටි මගේත් විජේරත්න රණතුංගගේත් ඇස් හමුවී තිබුණි. හීන් හිනාවක් මතකය. ඉන්පස්සේ ඒ ඇඟිලි එහෙ මෙහෙ යන සුකුරුත්තමට හිත වශීවී ගියේය.

නම ගම වගතුග නිවේදනය කල පසු, නවකලාගාරය දෙදරුම් දෙනවාත් සමගම ගිහින් වේදිකාවේ  වාඩි ගන්නවාත්, ටිකක් ඇදලා පැදලා පලමු ස්වර ඛණ්ඩය පිඹිනවාත් මට මතකය. පිටි පස්සේ වයලීනයකින් ඒකට සප් එකක් දෙන්නට හීන් අඬක් නැගුණු අතර, විජේරත්න රණතුංග, අර හිනාවෙන්ම ඔළුව වනා මා දිරිමත් කරන ගමන්ම, තබ්ලා සප් එකත් ඇරඹී ය.

එයා වරද්ද ගත්තේ එතන දීය සිතමි. මුල් පද පේලි හතර පහේදීම උත්සාහ කලත්, මගේ ම කරගන මා වැයූ මින්දද හීසර වාදනයේ තාල් අල්ලා ගන්නට විජේරත්න රණතුංග ගත් උත්සාහය අසාර්ථක වී ගියේය. මෙයින් අතිශය උද්දාමයට පත් වූ, නවකලාගාරය පිිරී ඉතිරී සිටි ප්‍රේක්ෂක සොයුරු සොයුරියෝ, නොනැවතුනු හූ ඝෝෂාවකින් සිය අනුමැතිය පල කර සිටියහ.  අසරණ වූ විජේරත්න රණතුංග අර හීන් හිනාවත් එක්කම පරාජය භාරගෙන මෙන්, යාන්තං තබ්ලාව අතගාමින් නිහඬ වුනත්, මගේ වාදනය නැවතුනේ නම් දිගටම දිගටම දිගටම.... අන්තිම ස්වරය දක්වාම පිඹලා ය ඉන් පස්සේ ප්‍රේක්ෂකාගාරයටත් ආචාර කරලා නැගිට ඒ මෙනි.

එදා, මොනයම්ම හෝ හේතුවකින්, විජේරත්න රණතුංගයන්ට මගේ වාදනයේ තාල් හරියට අල්ලා ගන්නට ලැබුණා නම්....  කියන කාරණය අදටත් ඉඳහිට හිතට නැගෙයි.

හිත තිබුණාටම පත ලොකු වෙන්නේ නැත....

තාල් ඇතුව නලාව පිඹින්නට ඉගෙන ගැනීමත් අත්‍යවශ්‍යය කාරණයකි..

[ලාංකීය සංගීතඥයින් අතර විශිෂ්ඨතම තාල තරංග වාදකයකු වූ විජේරත්න රණතුංග 2011 සැප්තැම්බර් 17 දා අපහැර ගියේය.]


Continue Reading...

Tuesday, June 13, 2017

සීතල පිණි මත මල් පෙති විසිරෙන ....

මුහුද හැමදාම රළ නැගුවත් ඒ එකිනෙකක් එකිනෙකට වෙනස් වෙයි. ගඟ දියට ⁣මොනයම්ම අයුරකින් හෝ දෙවරක් බැසිය හැකි වුනත් එකම මුහුදු රළක් දෙවරක් නොපෑගෙතැයි මට සිතෙයි. එහෙත්අපි ඒ රළම නැවත බිඳී වැතිරෙන තුරු වෙරළ වැලි කතර දෙස බලා සිටින්නට ප්‍රියැත්තෝ වෙමු. ජීවිතය විඳිනවාය ක්යන්නේ මෙවන් වේලාවලට යැයි මම සිතමි. මේ විඳීම් නම් නැවත කියන්නට ලියන්නට ගියත් ඒ ව්දිහෙන්ම කියවෙන ලියවෙන දේය. ඉතින් මේ සටහන අපේ ඉතිහාස කතාවේ උත්පත්ති පරිච්ඡේදය මේ සිදුවීමට තිස් අට වසරක් පිරෙන අද නැවත මෙතැන මෙසේ අවුණමි. ප්‍රේමය නම් ජීවිතයම මිස අන් කිසිවක් නොවේ.





එඩ්වඩ් තිමති ජයකොඩි ගායකයෙක් ලෙස ඉදිරියට ආවේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ පිබිදෙන ගායක පරපු‍ර වැඩ සටහනෙන් බව මගේ මතකයයි. මට මතක හැටියට මේ වැඩසටහන කාලයක් ඩී. එස්. අයි. පිබිදෙන ගායක පරපුර වී තිබිණි. ඩී. එස්. අයි කොම්පැණිය නිපදවූවේ විකුණුවේ ‘සපෝටර්’ ය. දිය ලණුව වෙනුවට ඉලාස්ටික් පටියක් යොදා තට්ටම් හරහා දුවන තවත් පටි දෙකකින් සපෝට් කල මේ පිරිමි යට ඇඳුම ඒ කාලයේ අපේ කොල්ලන් අතර ‘රට අමුඩය’ කියා ප්‍රචලිත වී තිබුණි. මේ විදිහෙන් එදා අද ගැන හිතන විට ගායකයින් ගායිකාවන් දොරට වැඩීමේ කර්තව්‍යයෙහි මහ වෙනසක් සිදුවී තිබේද යන්න පිළිබඳව සියුම් සැකයකුත් හිතේ ‍කොඳුරයි.

එඩ්වඩ් අපූර්ව ගායන කුසලතාවයකින් තරුණ අපේ සිත් සතන් ඇද බැඳගත්තෙක් වීමට වැඩි කලක් ගත නොවී යැයි සිතමි. හැත්තෑව දශකයේ අග භාගය පමණදී එඩ්වඩ් හඳුනා ගන්නටත් යම් දුරකට ඇසුරු කරන්නටත්, අදටත්, ලඟින්ම නොවුනත්, හිතවතෙක් යැයි කියන්නට පුළුවන් හිතවත් කමක් තියාගන්නටත් තරම් ඒ හමුවීම දුර ගෙන යන්නටත් ලැබීම සතුටකි.

මේ සතුට නිරනුමානයෙන් සිතට ගෙනෙන ඉහත පද පේලිය මගේ සිතට සමීප වූ සිදුවීම් අදට අවුරුදු තිස් එකක් පරණය. එහෙත් තවමත් සුවඳය. සිංදුවේ කියැවෙන්නා වගේම මේකත් පෙරුම් පුරා පෙරුම් පුරා කල හමුවීමක කතාවක්ම විය යුතුය. පෙර ආත්ම ගැන කියන්නට තියා මේ ආත්මයේ සිදුවීම් වටහා ගන්නට තරම්වත් හිත දියුණු කර නැති බැවින් පෙරුම් පිරුවාය කියන හිතිවිල්ල මිස මොන ආකාරයකින් ඒ ක්‍රියාව සිදුවුණාද කියන්නට නම් නොහැකියි.

ඉතිහාසය නම් අපට අපේ ජීවිතම වෙයි. රට කරවූ රජුන්ගේ සාහසික කම්, ආලවට්ටම් සහිතව ලියා තබන්නාවූ පොත් ඉතිහාසය ලෙස කටපාඩම් කරවූ අපට අපේ ඉතිහාසය අප දන්නා දුටු ලෙසින් ලියන්නට කාලයකි මේ. ඉතින් වයිවාරන්න කතා වලින් අන්තර් ‘ජංජාලය’ (මේ වචනයත් ඇහිඳ ගත්තේ ජංජාලයෙන් මයි) හැඩ කරන සිංහල ලියන්නන්ගේ කතා අතරට අපේ කතාවත් එකතු කරන්නට අද දවස හොඳයැයි අද උදේ මට ලැබුණු ඊ මේල් පණිවිඩයක් මතක් කර දුනි. දහසකුත් කතා අතර තවත් එක කතාවක් සිද්ධියක් හෝ තලත්තෑනි යුවලකගේ පරණ පෙම් හෑල්ලක් ලෙසම පමණක් කෙනෙකුට පෙනෙන්නට පුළුවන් නමුත්, මේ කතාව අද දවසේ අපට, එක්ටැම්ගෙයි ගැබ්බර වූ උන්මාද චිත්‍රාගේ ත් පඬු අබාගේත් පුළුල් තිර කතාවට වඩා හිතට සමීපය. ආදරණීයය.

මේ සටහන සාහිත්‍ය කෘතියක් ‍නොවේ. බොළඳ පෙම් කතාවක ජවනිකාවක් සේත් ‍දකින්නට හැකි මුත් ඒ බොළඳත්වය තුල සැඟවුණු අව්‍යාජ ගැඹුරක් මම දකිමි. එසේ වන්නේ මේ සටහනට පාදක වන වකවානුවත් අපේ ජීවන පසුබිමත් එක්කර සසඳන කල; අපේ ජීවිත පිළිබඳව තීරණ ගැනීමට, වගකීමකින් යුතුව තීරණ ගැනීමට, අපට ඇති අයිතිය අප විසින්ම සාක්ෂාත් කරගැනීමත්, ඒ තීරණ විසින් වෙනස් කරනු ලබන්නාවූද අනාගතය නම්වූ සොඳුරු නමකින් හඳුන්වන්නාවූද කාලාන්තරය දෙස එඩිතරව බලන්නට අපට තිබූ හැකියාව අවබෝධ කර ගැනීමත්; මේ මහා විශ්වයේ සිදුවීම් අතර අල්පේච්ඡය වූ මේ සිදුවීම තුලින් පිළිබිඹු වන බැවිනි.

කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ අප කුඩා කාලයේ බොළඳ නවකතාවක් විය. අනතුරුව කුමාර කරුණාරත්න ලියු කතා පුස්ථකාල වලට වැද්ද නොගන්නා බාල කථා විය. එංගලන්තයේ නාඩගම් කාරයෙක් වූ ෂේක්ස්පියර් ගේ ‍රෝමියෝ ජුලියට් අග්‍රගණ්‍ය පෙම් කතාවක් වන විටත් අපේම ඉතිහාසය අලලා ලියැවුණු ‘රෝහිණී’ වැනි කෘති පාඩම් පොතක් තරමට ඉහල යනවිටත් අපේ ලෝකයේ අපේම කොළු කෙල්ලන් අතර ආදරය දළු ලෑ ලියලූ ආකාරය බොළඳ දේ යැයි සිතන්නට අපට උගන්වා තිබිණි. ඒ එසේ වතුදු, ජීවිතය නම් මේ යැයි යම්තාක් දුරකට හඟින්නට තරම් හිසේ කෙස්සේ පාට මැකී ඇති අද, ආදරය නම්වූ අකුරු හතරින් සටහන් වෙන්නාවූ සිතිවිල්ල, හැඟීම, චින්තාව, මානසිකත්වය, හෝ වින්දනය තරම් අපේ ජීවිත හසුරුවන්නාවූ අන් දෙයක් නොමැත්තේය යන්න පසක් කර ගැනීම හැර මා උගත් අන් දෙයක් නැතිය සිතෙන්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. ඉතින් මේ සටහන ඒ හිතිවිල්ලට සාක්ෂිය.

මගේ හිතට ඉතාමත් ආදරයෙන් සමීප වූ කෙල්ලකට 1979 ජූනි දහතුන් වෙනිදා මා හමුවී කතා කරන්නට නොහොත් ‘දෙයක් කියන්නට’ වුවමනාවක් ඇතිවී තිබුණි. කොළඹ සරසවියේ ‍තර්ස්ටන් පාරේ ගේට්ටුව අද්දර සල් ගහ ලඟින් පටන් ගෙන රීඩ් මාවතේ ගේට්ටුව ලඟට එන තුරුත් මේ වැදගත් දේ කියන්නට තරම් නිවනක් ඇති තැනක් හමුවුණේ නැත. වඩාත්ම හේතුව වූයේ මේ අති වැදගත් කතාව ‘මෙහෙම බෑ, වාඩිවෙලා කියන්න ඕනි’ කතාවක් වීමයි. එදා හවස කොළම්පුර සරසවි මාතාව, ඒ මග දිග හැමතැනම ගල්වැටි, කොට බිත්ති හා ගස් යට වූ බංකු ආදියෙහි, සිය දූ පුතුන් විවිධ ඉරියව් වලින් වාඩි කරවා, අපේ මේ ඉතිහාස කතාවේ මෞලි මංගල්ලයට දායක වන්නට සිය අකමැත්ත පලකරවා සිටියාය.

නිස්කලංකයේ වාඩිවී ඔහේ බලා ඉන්නට පුළුවන් තැනක් හැටියට ඒ දිනවල මට මතක තිබුණු තැනක් වූයේ කොළඹ පුරහල ඉදිරිපිට විහාර මහදේවී උයනේ බංකුය. එක් එක් කාලවල එක් එක් වෙස් ගත්, වික්ටෝරියා පාක් ලෙස ඉපදී පහු කලෙක නිරනුමානයෙන්ම ජාතිකාලයේ හුලඟ වැදී විහාර මහදේවී උයන වූ මේ බිම්කඩ, මේ කාලය වනවිට හැත්තෑහතේ ප්‍රබෝධයෙන් ප්‍රමුදිත වී පුංචි ඩිස්නිලන්තයක් වෙන්නට පෙරුම් පුරමින් අත් පා හොලවමින් තිබිණි. සුපිරිසිඳු ප්‍රේමයේ දිය උල්පත් සොයා ගත නොහැකි වූ හෝ ඒ උල්පත් ජලයට වැඩිමනත් සැර දෙයක් හොයන්නන්ට සරණ වෙන්නට ජීවිතයේ කටුකත්වයෙන්ම උසි ගන්වන ලදුව, සැදී පැහැදී සිටි ලාලිනියෝත් ඒ වෙළඳ ගණුදෙනු සිදුවූ කැලෑ මංඩිත් එලි පෙහෙලි වී, උයන වටා වූ යකඩ වැට අළුත් කොළපාට තීන්ත තට්ටුවකින් දිදුලමින් තිබිණි. කුඩා දරුවන් අතින් අල්ලාගත් අම්මලා තාත්තලා උයන වටා රවුමට යන බබා කෝච්චියේ රවුම් ගිය කාලයකි ඒ.

රීඩ් මාවතෙන් බස් එකක එල්ලුණු අපි විහාර මහ දේවියේ බුදු රුව පසු කර අපි වෙනුවෙන්ම කැපවී මග බලා හිටි ඒ සිමෙන්ති බංකුව වෙත ලඟාවූ වෙලාව වන විට හීන් පොද වැස්සක් වැටෙමින් තිබුණි. එහෙත් අපට කුඩයක් තිබිණි. දෙන්නාම වැහෙන්නට කුඩය අල්ලන්නට වාසනාවන්ත වන තරමට මගේ උරිස් ඇගේ හිසට වඩා උස්විය.

අහන්නට ලැබෙන කතාව මොකක් වගේ වේදැයි හිතිවිල්ලක් හිතේ තිබුණ මුත්, ඒ දෙබස් ඛණ්ඩය ඒ විදිහෙන් අහන්නට ලැබේයැයි මම කවදාවත් බලාපොරොත්තු ව නොසිටියෙමි.

“ මට ඔයාව ඕනි...!”
“කොච්චර කාලෙකටද?”
“හැමදාට..ම... නෑ මැරෙණ කම්ම...!”

මෙතැනට කෙදිනකවත් මට නම් වචන වලට නැගිය නොහැකි, යන්තම් නල දතක් පෙනෙන තරමට සිනාසුණු, නිකටෙහි පෙනෙන නොපෙනෙන වලක් රැඳි හිනාවෙන ඇස් දෙකක් දිදුළන මුහුණක පිපුණු ආයාචනාත්මක බැල්මක් සටහන් විය යුතුය. වචන වල තේරුම්, විශේෂයෙන් ලිඛිත වචන වල තේරුම් සීමිතය. චිත්‍ර, චිත්‍රපට, මේ හැමදේම එහෙමය. එහෙත් යථාර්තය නම් ඇස් ඉදිරිපිට සිදුවන දේය. ඇස් ඇතුලත අප දකින්නාවූ දේය. හිත් ඇතුලත අප හඟින්නා වූ දේය.

විභාග වර්ග කීපයක් තිබේ. ටොම්බෝලා හෙවත් බින්ගෝ කාඩ් පතක ඉලක්කම් පාට කරන්නා සේ උත්තර ලියන බහුවරණ ප්‍රශ්න පත්‍ර, සියළු වැඩ, කරපු කටු වැඩ පවා අවුණා ඉදිරිපත් කලයුතු දීර්ඝ තර්ක විතර්ක හේතු නොහේතු දක්වා පිටු හත අටේ උත්තර ලිවිය යුතු රචනා ප්‍රශ්න පත්‍ර ආදී සීමිත කාලයක් තුල නියමිත තැනක වාඩිවී නියමිත වේලාවට අවසන් කලයුතු විභාගද, ප්‍රශ්න පත්‍රය ගෙදර ගෙන ගොස් සතියක් පමණ කෑමක් බීමක් නැතිව, නින්දක් විවේකයක් නැතිව, පොත් පෙරලමින් ලියමින් කුරුටු ගාමින් ඉරමින් විසි කරමින් උත්තර ලියන විභාගද තිබේ. උසාවියත් පොලිසියත් කරන්නේත් භාෂානුකූලව බැළුවොත් විභාගම වෙයි.

එකම එක ප්‍රශ්නයක් මුත් උත්තරය සංකීර්ණ වූ බැවිනුත් එක එල්ලේ වචනයකට දෙකකට පිඬු කරන්නට තරම් විෂයය හදාරා නැතැයි හිත කිව් බැවිනුත් සවිස්තරව සිතා බලා උත්තර ගොනු කරන්නට කල් ඉල්ලන්නට මට සිදුවිය.

එදා සිරිපොද වැස්සත් නිල්-කොළපාට අකුලන කුඩේ යටින් ඇවිද ගිය ගමනත්, මගේ මුහුණේ වදින නොවදින හරියේ පිපුණු ඒ සිනාවත් හිනැහෙන දෙනෙතත් තවමත් මා අසලම තිබේ. බොහෝ දේ කතා කල බව මතක මුත් මේ වැකි තුන නම් සඟුන්ට පැවරූ ගල් ගුහාවක කටාරම් කෙටූ පාඨයක් මෙන් සිතට ඇතුළුවන දොරටුව ඉහත්තාවේ ලියැවී තවමත් දිදුලයි.

කතාව එදායින් අවසන් වුනේ නැත. ප්‍රශ්නයට උත්තර හෙවීම ප්‍රශ්නය තරම්ම සංකීර්ණ වූයේ ඇගේ දෙනෙත් තුලටත් වඩා ඇගේ සිත තුලට එබී බලන්නට තරම් සමීපත්වයක් අප අතර තිබූ බැවිනි. නිදහසේ පියෑඹීමක් නොව හිත් තැලී ලේ ගලන කතාවක ආරම්භයක් වීමේ පෙර නිමිති බොහෝමයක් අපේ ජීවිත වෙත බැළුම් හෙලා බලා සිටියහ.

බටහිර වෙරලේ පෘතුගීසීන්ගේ අණසකට නතුවූ අපේ ගම් පලාත්වල බොහෝ දෙනෙක් මෙන්ම අපිදු කතෝලිකයෝ වීමු. කතෝලික ධර්මය අපට අපේ සිත් සතන් වලට පරදේශී ආගමක් නොවේ. කවුරු කොයිලෙසින් අරුත් කිව්වත් ඒ අපිමය. අ‍පේ සිරිත්ය, අපේ විරිත්ය. ඕ, දකුණේ මාතර උපන් පියෙකුටත් උඩරට බණ්ඩාරවෙල උපන් මවකටත් දාව සැදැහැවත් බෞද්ධ පවුලක කුළුඳුල් දියණියව ඉපිද සිටියාය. ජීවිතය මේ තරම් අකාරුණික වේ යැයි මම කිසිදාක නොසිතුවෙමි. එදා දවසේ, ඉදිරියට සිදුවිය හැකි බොහෝ දේ පිළිබඳ චිත්ත රූප මගේ මනස පුරා පිරී ගියේය. එහෙත් අනාගතය යනු අප විසින් අපට හැකි පමණින් ගොඩනගා ගත යුත්තක් වගත් මටම මිස අන් ක‍වරෙකුටවත් උත්තර දීමට මා බැඳී නැති වගත් මම දැන සිටියෙමි.

තීරණ ගැනීමේ පහසු ක්‍රමයක් මට තිබිණි. හාෆ් ෂීට් එකක් දෙකට බෙදා ‘ඔව්’, ‘නෑ’ කියන්නට හේතු ලැයිස්තුවක් ලිවීම කොහෙන් හෝ පැමිණ පිලිවෙතක් සේ මගේ බො‍හෝ කාර්යයන් වලදී සිදුවෙමින් තිබිණි. එදා සටහනේ නෑ කියන පැත්ත ඉතා ඉක්මනින් පිරී ගියේය. එහෙත් ඒ සියල්ලට වඩා බරින් වැඩිව තරාදි කෝප්පය පිරවූ එක් හේතුවක් අනික් පැත්තේ තිබිණි.

“මට මානෙල් ඕනි”

මේ සියල්ල සැලකීමෙන් පසු හිතට එකඟව දවස් දෙකකට පසු ‘හා’ කියන්නට මට පුළුවන් වූ නමුත්, ඒ වනවිට අහිංසක‍යකුට අනවශ්‍ය ලෙස කරදර කිරීමේ කම්පාවට යටත්ව ඉල්ලීම ඉල්ලා අස් කර ගැනීමේ තීරණයක් වඩා වැදගත් වූ තැනක අනුමත වී තිබිණි.

දිනපොතේ පිටු හතර පහක් එකට අලවා වසා දමා මම සරසවියේ අවසාන විභාගයට පාඩම් කළෙමි. ඇයත් එසේ ම කලාය. ඒ කාල සීමාවේ එකිනෙකාගේ ශක්තියද ධෛර්යයද අපිම වීමු.
ප්‍රශ්නය නැවත ඇසුණේ විභාග අවසන්ව අවසාන විභාගයට පසුව මිතුරු මිතුරියන් හා එක්ව ‘මොණරතැන්න’ නරඹා ඈ ඇරලන්නට බෝඩිමට යන අතර තුර දීය.

‘කෙල්ල මට මොකද කියන්නෙ? තාමත් මාව ඕ‍නිද?’
‘ඔයා මොකද කියන්නෙ?’
‘මට නම් ඕනෙ’
‘මටත් එහෙමයි’
‘එහෙනම් හෙට වසන්තයේ දවසක්...?’

එදා කාණ්ඩය එක්වී බලන චිත්‍රපටය කුමක් විය යුතුද යන ප්‍රශ්නය මත දෙකඩ වන්නට ගිය හිතවත්කම් පිරිද්දී තිබුණේ පසුදාට සියල්ලන්ම එක්ව ‘වසන්තයේ දවසකුත්’ බලන පොරොන්දුව මතය.

සමුගන්නට කලින් මගේ අත සිඹගන්න දැයි ඈ ඇසූ මොහොතේ මා දුටු ආදරය තවමත් මම මගේ නෙත් අසලම දකිමි. එදා මෙදාතුර අපි දෙන්නා එක දිගට තුසිතයේ, සුයාමයේ සැරිසැරුවා නම් නොවේ. ඇගේ වරලස පරසතු මලින් ගවසනවා තියා හරි හමන්, මා කියන්නේ අපේම නෑ හිතවතුන් ගේ මිම්මෙන් හරිහමන් මාලයක් කරාබුවක්වත් මිලට ගත්තා මට මතකක් නැත.

ඒ එසේ වෙතත් අද මේ දවසේ මේ වචන ටික, මේ පහල ඇ‍‍විණෙන සටහන, මෙසේ දකින්නට තරම් මම වාසනාවන්ත වී සිටිමි. ඒ මගේ හොඳකටත් වටිනාකමකටත් වඩා මට ජීවිතය ඉගැන්වූ ගුරුවර ගුරුවරියන්ගේ සමත් කමය කියා හිතන්නට මම කැමැත්තෙමි.
ඉතින් වෙන කාගෙන්ද... මා උගත්තේ ආදරය...?

-------------------------------------------------------------
ආදරෙයි තවමත් !
අද ට හරියටම අවුරුදු තිස් එකකට කලින් දවසක හැන්දෑවේ
මට වාඩි වෙන්න තැනක් හොයා දෙන්න, උදව් වෙන්න
මා එක්ක ඇවිත්
පටන් ගත් මහා දිග ගමනේ කෙළවර දකින තුරු
එදා වාගෙම ආදරෙන්
අදට ත්, මා ළඟින් ඉන්න
එදා මෙදා තුර, අපේ ජීවිත වල දැවටුණ
සතුටු සිනා රැළි වගේම දුක් කඳුළැලිත්
තුරුළු කරගෙන
මගේ මුළු ජීවි‍ෙත්ට ම
නවාතැනක්, හෙවණක් වුණ
මගේ ම ආදරණීය රන්සිරිමල්,
(ඔව්! වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම)

සිනහවමයි කඳුළත්
දුකම තමයි සතුටත්
කියන පාඩම මට කියා දී
ඔය හිතේ හැමදාට ම
ලැගුම් ගන්නට ඉඩ දුන්නාට
ආදරෙයි තවමත්
එදා වාගෙ ම නැතත්
ඊටත් ටිකක් වැඩියෙන්.......!

මානෙල්

2010.06.13

Continue Reading...

Blogroll

About