Tuesday, February 4, 2025

නිදහස් දා හිතිවිල්ලක් - හර්දය සාක්ෂිය කොයිබටද?

Share it Please


 

මේ පෙබරවාරි හතරවෙනිදා සමරන්නේ ලංකාවේ හැත්තෑ හත්වෙනි නිදහස් සැමරුමය.

මේක නවසිය හතලිස් අටේ පෙබරවාරියේ දී එංගලන්ත ආණ්ඩුව නියෝජනය කල, එංගලන්ත සිහසුන හෙබවූ ජෝජ් රජ්ජුරුවන්ගේ සහෝදරයා වූ ග්ලෝචෙස්ටර් හි ආදිපාද තැන්පත් හෙන්රි කුමාරයා අතින්, මේ රටේ පාලන බලය, එංගලන්ත අධිරාජ්‍යයේ අළුත්ම ඩොමීනියන් යටත් විජිතය ලෙස, මහාමාන්‍ය දොන් ස්ටීවන් ස‌ේනානායක ගේ ආණ්ඩුවට පවරා දීමෙන් පටන්ගත් නිදහසය.

සුද්දා එයාලාගේ සිලෝන් එකට එදා පැලැන්දූ ඩොමීනියන් සාළුව නවසිය හැත්තෑ දෙකේ මැයි විසි දෙවෙනිදා ගලවා දමා,  නමත් අළුත් කර, මේ රට සියළු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහසද ඇතුළු සමාජවාදී ප්‍රජාතන්ත්‍රයක අරමුණු පෙරදැරි කරගත් ශ්‍රී ලංකාව නම් වූ නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක්ය කියා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා ලදින්, ජනරජයක් බවට පත්වූයේය. ඒ ජනරජ දිනය මැයි මාසේ විසිදෙවෙනිදා සැමරුනේ හැත්තෑ හත වෙනතාක් විතරය.

1978 දී අපේ ව්‍යවස්ථාව විධායක ජනාධිපති තනතුරකුත් එල්ලා ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් බිහිකිරීමේ අරමුණින් රිකන්ඩිෂන් කරන ලද අතර, ඒ සඳහාම මේ රට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්ය කියා අභිෂේක කරන ලද්දේය. මේ රී ඩෙකරේෂන් කිරිල්ල සිද්ධ වූයේ පෙබරවාරියේ දී හින්දා, ආයෙත් පෙබරවාරි හතරවෙනිදා මූදට කාලතුවක්කු පත්තුකර සුද්දා එළවීමේ නූර්තිය රඟදක්වන නිදහස් දිනෝත්සවය කරළියට ආයේය.





මට හිතෙන හැටියට නම් අපි ගණන් කිරිල්ල පටන් ගත යුත්තේ හැත්තෑ දෙකේ ඉඳලාය. සුද්දාත් අතෑරලා, සුද්දාගේ ආණ්ඩුක්‍රම ලියවිල්ලත් අතෑරියේ එදා නිසාය.

ඒත් ඇත්තටම හිතුවොත් නම් හැත්තෑ දෙකේ තියා, හතලිස් අටේවත් හරිහමන් වෙනසක් නම් සිද්ධවුනේ නැතිය කියාම හිත යට කසු කුසුවක් තියේ. එසේ වුනානම්, තඹුත්තේගම මිනින්දෝරු පාටිය‌ක රස්සාව කළ, රංබණ්ඩාගේත් එයාගේ බිරින්දෑ වූ සීලවතීගේත් කොල්ලා වූ අනුර කුමාර වැන්නෙකුට මේ රටේ ජනාධිපති වෙන්නට දෙදාස් විසිහතර වෙනතුරු ඉන්නට සිදුවන්නේ නැත. මේ ගිය අවුරුද්දේ පෙරළිය හින්දාම, දවස මොකක් වෙතත් මේ අවුරුද්දේ ජාතික දිනය අපේ රටේ සංස්කෘතියට නිශ්චිත රී මේක් එකක් ලැබෙන යුගයක ආරම්භය සලකුණු කරන්නේ යැයි මම සිතමි.

ඉතින්  එවන් දවසක් වූ අද මෙතෙක් කාලයක් තිස්සේ,  අපේ දේශපාලන සංස්කෘතිය අරභයා, ඇති හැකි පමණින් මා විසින් කුරුටු ගානා ලද අකුරු අතර එහා මෙහා යන්නට චුට්ටං වෙලාවක් ගත කල අතර, ඒ කුරුටු සටහන් අතරින් 2011 කාලයේ අපේ හර්දය සාක්ෂිය ගැන ලියවුනු මේ සටහන මේ ලියවිල්ල කියවන ඔබ හැමදෙනා සමගම බෙදා ගන්නට සිතුවෙමි.

මේක ලියවෙන කාලයේ රටේ පාලන බලය තිබුණේ කාගේ ඔඩොක්කුවේ ද යන්න හොයා දැනගැනීම ඒ තරම් අමාරු නැත. එමෙන්ම මේ කියන කතාවේ නළුවන් වන ස්ටැන්ලි ලියනගේ හා නිමලරූබන් යනු කවුද කවරෙක් ද යන්න හොයා ගන්නටත් ඇති තරම් සටහන් තවමත් අන්තර් ජාලයේමත් තිබේ. ඉන් සමහරකට සබැඳිත් මේ සටහන අගිස්සේ අවුණා තිබෙයි.


හර්දය සාක්ෂිය කොයිබටද?

ස්ටැන්ලිගේ හා නිමලරූබන් ගේ ජීවිත වල යථාර්තය

ප්‍රජාතන්ත්‍රවාදයය යනු තෝරාගත් ප්‍රජාවකගේ පැවැත්ම තහවුරු කිරීමයැයි අර්ථ දැක්වෙන්නා වූ රටක හර්දය සාක්ෂිය අවදියෙන් තබා ගැනීමේ භයානකත්වය නුවර රෝහල් ඇඳක් මත සිට ස්ටැන්ලි ලියනගේ අපට කියන්නාවූ කතාවේ හරයයි. සිය රාජකාරියේම කොටසක් ලෙස අවදියෙන් සිටි ස්ටැන්ලි අද ජීවිතයට, තමුන්ගේ ජීවිතයට වඩා තම දියණියගේ, බිරිඳගේ ජීවිත වලට ඇති ආදරය නිසාම අවදියෙන් පසුවෙන්නේ යැයි මම සිතමි. ස්ටැන්ලිගේ දරුවෝත් බිරිඳත් නෑ හිතවතුනුත් ඔහු සමගම අවදියෙන් සිටිනවා විය යුතුය. 

ඔවුන් අද කරන්නා වූ අවදියෙන් සිටීමත් පහුගිය මාර්තු දහසය වන දා ස්ටැන්ලි කල අවදියෙන් සිටීමත් අතර වෙනසක් තිබේ. එදා ස්ටැන්ලි අවදියෙන් සිටියේ අවට සිදුවන දේ විපරමින් බලන්නටය. අනියම් යමක් සිදුවෙතොත් ඒ ගැන තමන්ට හැකි පියවර ගන්නටය. නීතිය (එනමින් දෙයක් තවත් ඉතිරිව ඇත්නම්) හා සදාචාරය සුරකින්නටය. ඒ ආරක්ෂක නිළධාරියකු ලෙස ඔහුගේ රාජකාරියය. එහෙත් අද ඉහත සඳහන් වූ සියල්ලන්ම අවදියෙන් සිටින්නේ බොහෝවිට නොබැලිය යුතු යමක් දැක්කොත් අහක බලා ගන්නටය. අනවශ්‍ය දේ අනවශ්‍ය වේලාවල දී නොකර හිඳින්නටය. හර්දය සාක්ෂිය හර්දය තුලම හැකි පමණින් අගුළු දමා රැකගන්නටය.

ආරක්ෂාව යන වචනය නිර්වචනය වන්නේ කෙනෙකුගේ තරාතිරම අවස්ථාව ආදී බොහෝ සාධකයන්ට සාපේක්ෂවය. අද අපේ රටේ සිල්ලර මිනිහාට නම් ආරක්ෂාව යනු මහ මිනිස්සුන්ගේ බොඩි ගාඩ්ලා ගෙන් අඩුම ගානේ ටොක්කක්වත් නොකා පරෙස්සම් වීමේ කලාවක් වී තිබේ. 

වවුනියාවේ නෙළුම්කුලම්හි විසිඅට හැවිරිදි ගණේෂන් නිමලරූබන් අද මිහිදන් වෙන්නට වත් වවුනියාවට යන්නට නොහැකිව රාගම මෝචරියක සිටින්නේත් මේ කලාව හරියාකාරව ඉගෙන ගන්නට කාලයක් නොලැබුණු නිසායැයි මට සිතෙයි.

ස්ටැන්ලිගේත් නිමලරූබන් ගේත් ඉරණම් ගැන කියවන අපි බොහෝ දෙනෙකුත් "පරෙස්සම්" වීමේ වැදගත් කම පසක් කරගනු ඇත. මේ ආත්මාර්ථකාමී පරෙස්සම පසුපස තවත් බොහෝදේ තිබේ. එක අතකින් මේ පරෙස්සම අපේ රාජපාක්ෂික භාවය නොසඟවා සනාත කිරීමකි. ඇත්ත වශයෙන්ම දැනුවත්ව හෝ නොදැනුවත්ව අප අතින් කෙරෙන්නේ එයයි. එසේ වුවත් එයත් යුගයේ අවශ්‍යතාවයක් වන පමණට ශ්‍රී ලාංකික සමාජය තුල ඔඩු දිවූ තුවාලයක් වී තිබීමත් අපි පිළිගත යුතු වෙමු. 

එමෙන්ම මේ සිද්ධීන් ගේ යටි අරමුණ මේ තුවාලය පැසවවා සැරව ගලවා රටේ මිනිස්සුන්ගේ කටවල් වල රාජකීය පාන්කඩ එබීම බවත් අපි අමතක නොකල යුතු වෙමු. ඕනෑ නැති දේවලට අතගසා ඔළුව දමා අත කට විතරක් නොව ජීවිතය ද පුච්චා ගත් මිනිසුන් ගැහැණුන් පිළිබඳ කතාන්දර හොයන්නට අපට 2009 ට යා යුතු නැති බව දවසින් දවස මතක්කර දෙමින් තිබේ.

මෑත කාලය ගනිතොත් කටුනායකින් පටන් ගෙන, යාපනය හලාවත කටුවන මෙන්ම මේ ඇහැල පෝයට බිලි පූජාවක් වූ වව්නියා/අනුරාධපුර/මහර තෙනුවර අන්දරය ආදී පත්තර රූපවාහිනි රේඩියෝ ආදියෙහි කතා බහ වුනු කතා ත් එසේ කතා නොවුනු කතාත් ඕනෑ තරම් ඈති වග අපි හැමෝම දනිමු. මේ කතාන්දර යුද්ධයේ ශුද්ධවූ පිරිත් වතුරෙන් සෝදා මැකිය හැකි පැල්ලම් නොවේ. එමෙන්ම කවුරු කොයි ලෙසින් කිව්වත් මේවා රටේ හොඳනම නහන්නට ඇමරිකන් යැංකින් හා එංගලන්තයේ සුද්දන් හොරෙන් ඇවිත් කරන්නා වූ කුමන්ත්‍රණකාරී ගැලවිජ්ජාවල් ද නොවන බව අපි හැමෝම දනිමු.

ඉස්සුවා ද නැද්ද ඇහුවාම, වෑන් එකේ පාට හරියට නොබලා ගැනීමේ වැරැද්ද උලුප්පන; දන්නවාද නැද්ද ඇහුවාම, දෙයියො තමයි දන්නෙ ඉතින් තාලයේ උත්තර දෙන ආරක්ෂකයන් හා නීති ඝාතකයන් අපට සිටිති. මේ අයට පෑගී ඇති අළුත්ම කෙහෙල් ලෙල්ල සයිබර් මඩ වී තිබේ. දෙකක් අල්ලා අනික් එව්වාටත් මොන ජාතියෙන් හෝ වැඩක් දීමේ කතාවක් ද පහුගිය දා කෙරුණි. මේ කතාවල උනුහුම බොහෝ පත්තර කොල වල තීන්ත දියවෙන තරමට වැඩිවී තිබේ. ඒවාද දැනුවත් ව හෝ නොදැනුවත්වම පරෙස්සම් වීමේ කලාව ප්‍රගුණ කරමින් සිටිති. 

කට ඇර කතා නොකරන එකා බඩේ පිරෙන හුලඟ ඉදහිට පුටුවේ වේවැල් අස්සෙන් ඇහෙන හීන් කෙඳිරියකින් සමනය කරගන්නාක් මෙන් නිව්ස් කියන අපේ වැඩිමනත් පත්තර ද ඉඳහිට කූන් ගානා පූස් පැටවුන් වී තිබේ.

මේ සියළු දත්තයන් ඔළුවල තියාගෙන මගේම ආරස්සාව ගැන විමසිල්ලෙන් තව දුරටත් ඇස් වසාගෙන ඉන්නවා ද, අකැප අයුතුකම් පේන තෙක්මානයේ වෙද්දීත් ඉස්සරහ බලාගෙන අධිවේගී මාර්ගයේ බ්රේක් එකට කකුල නොතියා යනවාද යන ප්‍රශ්නය මොලේ ඇති උන් මතු නොව අප අතර ඉන්නා මොලේ නැති ගිරා පෝතකයන් ද උදේ හවා ඇසිය යුතු යුගයේ, වසරේ, මාසයේ, සතියේ හා දවසේ ප්‍රශ්නය වී තිබේ.

- සඳකාන්ත

=========================================================================

සබැඳිය: http://ambagaha.blogspot.com/2012/09/blog-post_10.html


ත්‍රාසය භීතිය කුතුහලය පිරි තවත් රස කතාවක් - කෞතුකාගාර කොල්ලයේ කුඩුකාර ප්‍රියන්ත මුරභාර ස්‌ටැන්ලි හා එල්.ටී.ටී.ඊ.ය

දිවයින පුවත්පතින් උපුටා පළකෙරේ.
------------------------------------------

කෞතුකාගාර කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ
කුඩුකාර ප්‍රියන්ත මෙන්ඩිස්‌ ආ ගිය අතක්‌ නැත.
ඔහු අතුරුදහන් වන්නේ සලකුණකුදු නොතබාය.
හරියටම වාෂ්ප වූවා සේය. ඔහු ගැන තොරතුරකට
ලක්‌ෂ පහක තෑග්ගක්‌ සූදානම්ය. පොලිසිය මගින්
ඔහුගේ ඡායාරූපද පලකර තිබේ.
එත් මේ ලියන මොහොත වනවිටත්
ඒ තැනැත්තා පිළිබඳව ආරංචි මාත්‍රයක්‌ නොවේ. 


කතාව රස විදින ශ්‍රී ලාංකික රසවතෙක්
කුඩුකාර ප්‍රියන්ත

පොලිසියම කියනා පරිදිම සාක්‌ෂි ඉතිරි නොකර, හාත් පස විදුලි බුබුලක්‌ සේ ආලෝක කරඇති කෞතුකාගාරය ශූර ලෙස බිඳ, කෞතුක භාණ්‌ඩ ගෝනියක දමාගෙන, ඉහළ මාලයේ සිට ඇඳ රෙද්දක ආධාරයෙන් පහළට බැස අධි ආරක්‌ෂිත කලාපයේ මුර කපොලු අතරින් මීට මාස හයකට පෙර අතුරුදහන් වූයේ මේ හොරාය. හොරා කෞතුකාගාරයේ ආරක්‌ෂක කැමරා පද්ධතිය විසන්ධි කරන්නේය. ආරක්‌ෂක යකඩ පට්‌ටම් නොමැති දොරම කඩන්නේය. කෞතුක වස්‌තු තැන්පත් කර ඇති අල්මාරි යතුරු මගින් ඇරියාක්‌ සේ ඇර භාණ්‌ඩ පැහැර ගන්නේය. ඒ කතාවේ අසිරිය ඇසෙනා විටත් ඇඟ කිලිපොලා යන්නේය. හරියටම පැරණි දෙමළ චිත්‍රපටයක බිහිසුණු කතාවක්‌ සේය.

කොටින්ම හොරා දෙන්නේ පොලිසියත් "නන්නත්තාර" වන අන්දමේ ගේමකි. පොලිසියට අනුව හොරා ගැන කිසිම හෝඩුවාවක්‌ පසුගිය මාස හය පුරාම තිබුණේ නැත. එබැවින් පහුගිය වකවානුවේ පොලිසියේ සමහර නිලධාරීහු හොරා ගැන හෝඩුවාවක්‌ හොයා ගන්නට අංජනම්ද බැලුවෝය. මේ පසුබිමේදි වරායෙන් නිදහස්‌ කරගත් සුදුලූණු තොගයක්‌ වෙන්දේසිකරන්නට යැමේ සිද්ධියකදී පාතාල මැරයින් විසින් පැහැරගෙන කප්පම් ඉල්ලනු ලබනා අපරාධකාරයන් අල්ලන්ට ගිය පොලිසිය හොරා ගැන අහම්බයෙන් දැනගන්නේය. ඒ විස්‌තරය පසුගිය සතිය පුරාම සියලු මාධ්‍ය වල පලවිය.

මේ පසුබිමේදී අපත් පිළිගත යුත්තක්‌ තිබේ. පොලිසියට මේ අසුවී තිබෙන්නේ හොරෙක්‌ නොව, මහා අනර්ඝ සම්පතකි. එබැවින් මූ ලේසියෙන් අතහරින්නට පොලිසිය සූදානම් නැත. දැන් හොරාට විරුද්දව වචනයක්‌ කී විටත් පොලිසියට තරහ යන්නේය. එහෙත් ඉදිරිපත් කරඇති මේ හොරාගේ පුංචි පරහක්‌ දෙකක්‌ තිබේ. ඒ වග පෙන්වා දෙන්නේ ලියන අප පිළිබඳ විස්‌සෝප වන්නට නොවේ. උදක්‌ම කරුණාව පෙරදැරි කරගෙනය.

කොළඹ කෞතුකාගාර කොල්ලය සිදුවූ මොහොතේ එතැනට පැමිණෙන රහස්‌ පොලිසිය ආරක්‌ෂක කැමරා අක්‍රීය වීම, වීදුරු අල්මාරි නොකඩා භාණ්‌ඩ ලබා ගැනීම, උඩු මහලේ විසිරුවාහළ බීඩිකොට ඉවකර පොලිස්‌ නිල සුනඛයින් ආරක්‌ෂක කුටිය වෙත දිවයැම, පොලිසියත් නොමග යවන්නට සැලසුම් සකස්‌ කර ඇතිදැයි සැක සිතීම ආදී මූලික අධ්‍යයනයන් වලින් අනතුරුව කියන්නේ මේ හොරකම ඉතා සූක්‌ෂම හා සැලසුම් සහගත එකක්‌ බවය.

එහෙත් පොලිසියම දැන් පවසන ආකාරයට මේ පුරාවස්‌තු කොල්ලයේ ප්‍රධාන සැකකරු බරපතල ලෙස කුඩු වලට ඇබ්බැහි වූවෙකි. තුට්‌ටු දෙකේ ලපයිසිපයි වැඩවලට චාටර් වූවෙකි. එමෙන්ම ඔහුට හොරකම් කිරීම හෝ වෙනත් බරපතල අපරාධ සම්බන්ධව පෙර වැරදි නැත. හෙතෙම මීට කලින් කරවල හා තේ කුඩු වෙළෝදාමක්‌ කර තිබේ. ඊට පසු පොල්ගස්‌ඕවිට පැත්තේ තැපැල් කන්තෝරුවක පුංචි රස්‌සාවක්‌ කර ඇත. ඌට මිනිස්‌සු කියන්නේ කණේගෙඩියා කියාය. කණේගෙඩියාගේ අවසන් රස්‌සාව කොළඹ නගර සභාවේ කම්කරුකමය.

සාමාන්‍යයෙන් ලෝකයේ කෞතුකාගාරවල කෞතුක භාණ්‌ඩ හොරකම් කර තිබෙන්නේ අනූන තාක්‌ෂණයක්‌ හා සැලසුමක්‌ සහිතව ක්‍රියාත්මක වූ ලෝක මට්‌ටමේ සුපිරි හොරුන්ය. පොලිසිය නිවැරදිනම් කවදාවත් හරිහමන් හොරකමක්‌ කර නැති කණේ ගෙඩියා දෙන්නේත් පොලිසියත් නන්නත්තාර වන එවැනි ජාත්‍යන්තර මට්‌ටමේ සුපිරි වැඩකි. එසේනම් ඒ මට්‌ටමට පත්වූ ලෝකයේ එකම කුඩුකාරයා, පෙර වැරදිත් නැති කණේ ගෙඩියාය. මේ ඉදිරිපත් කිරීම අපේ විශ්වාසය පළුදු කරවයි.

ලෝකයේ කෞතුක භාණ්‌ඩ අලෙවිය සඳහා වන රහසිගත වෙන්දේසි යුරෝපීය රටවල්වල ධන කුවේරයන් අතර තවමත් පවතින්නේය. කෞතුකාගාර බිඳ කෞතුක වස්‌තු හොරකම් කරන සුපිරි හොරුන්ගේ වෙළෙඳපල එතැනය. අපේ රටේත් ඉතා ඉහළ මට්‌ටමේ වෙළෝදාමක්‌ සහිත කෞතුක භාණ්‌ඩ අලෙවි සංස්‌කෘතියක්‌ තිබේ. සමහරු ස්‌වකීය පුද්ගලික කෞතුක භාණ්‌ඩ එකතු විශාල වියදම් දරමින් නඩත්තු කරගෙන යති. අප දන්නා ආකාරයට ලංකාවේ කෞතුක භාණ්‌ඩවල වෙළෝදපල ඇත්තේ එතැනය.

එහෙත් පොලිසියටම අනුව කණේගෙඩියා මේ හොරකම කරන්නේ "සික්‌ එකට" කුඩු ගැසීම සඳහා ගතමනාවක්‌ හොයා ගන්නටය. ගෙයකට පැන බඩුවක්‌ මුට්‌ටුවක්‌ උස්‌සනවාට වඩා ඉතා අවදානම් සහිත මේ හොරකමට ඌ සම්බන්ධ වන්නේය. උගේ සික්‌ එක ඒ තරම්ම වැඩිය. අනතුරුව මාලිගාවත්තේ දී මේ භාණ්‌ඩ සිල්ලරට විකුණන්නේය. අනතුරුව අතුරුදහන් වන ප්‍රියන්ත මෙන්ඩිස්‌ හෙවත් කණේ ගෙඩියා දැන් අඩුම තරමේ "සික්‌ එකට" කුඩු ටිකක්‌ ගන්නවත් එළියට එන්නේ නැත. එබැවින් පොලිසියට අසුවන්නේත් නැත. මෙතැනත් පොඩි කොස්‌සක්‌ තිබේ.

මෙවැනි පුවත්පත් විස්‌තර බලමින් ඌ පහුගිය වකවානුව පුරාම හොරා ගත් රත්තරන් කාසි විකිණුවේය. රිදී කස්‌තාන විකිණුවේය. කෞතුක වස්‌තුවල තිබූ මැණික්‌ ගලවමින් වෙන වෙනම ගොඩ ගසා විකිණුවේය. ඒ විකිණූ භාණ්‌ඩ වලට රුපියල් හයලක්‌ෂ පහළොස්‌ දහසක්‌ අරගෙන තිබිණි. අමතර සුන්බුන් කෑළි ටිකක්‌ රුපියල් හාරදහසකට විකුණා තිබිණි. මේ මාරක හොරකමින් ලත් ආදායම දැනට හෙළිවී ඇති ආකාරයට රුපියල් හය ලක්‌ෂ විසි දහසකි. ඉතා වටිනා ඉතිරි භාණ්‌ඩ ටික කණේගෙඩියාත් සමග අතුරුදහන්ය. මෙයත් එතරම් ගැලපෙන ඉදිරිපත් කිරීමක්‌ නොවේ. අප මුරභාර ස්‌ටැන්ලි ගැන කතා කරන්නේ ඉන් අනතුරුවය. එය මේ කතාවේ නොලියවුන මුල් කොටසය.

මුරභාර ස්‌ටැන්ලි

කුඩුකාර ප්‍රියන්තට කලින් කෞතුකාගාර කොල්ලයේ සැකකාරයා වීමට යෝජනා කළ අයෙක්‌ වූයේය. ඔහු මුරභාර ස්‌ටැන්ලිය. ස්‌ටැන්ලි ලියනගේය. ස්‌ටැන්ලි ලියනගේ නෙළුම් පොකුණත්, ජෝන් ද සිල්වා ර`ගහලත් අතර ඇති මුර කුටියේ රාජකාරි කරනු ලබු ජාතික කලා භවනේ මුර භාරකරුය. උඩුනුවර, රංගම, ලීමගහකොටුවේ පදිංචිව සිටි ස්‌ටැන්ලි ජාතික කෞතුකාගාරයේ කොල්ලකෑම පිළිබඳව වැදගත් ප්‍රකාශයක්‌ සහිත සාක්‌ෂියක්‌ දුන් අයෙක්‌ බව කියෑවිනි. ඉන් අනතුරුව ඔහු අතුරුදහන් වන්නේය. යළිත් දින විස්‌සකට පසු ගෙනැවිත් නුවර ප්‍රදේශයේම මහපාරකට අත්හැරෙන්නේය. පාරට අත්හැරීමෙන් පසු රෝහල්ගත කරන ස්‌ටැන්ලි විසින් කරන්නේ ඇ`ග කිළිපොලායන ප්‍රකාශයකි.

ඔහු කියන්නේ තමුන් පැහැරගත් පිරිස කෞතුකාගාර හොරකම පිළිබඳ වගකීම තමුන්ට භාරගන්නට බල කරමින් දසවද දුන් බවය. බාරගනු ලැබුවහොත් හත්මුතු පරම්පරාවම ගොඩදමන්නට පොරොන්දු වූ බවය. අනතුරුව මේ ගැන වචනයක්‌වත් ප්‍රකාශ කළහොත් සිය දියණියව මරා දමනු ලබන බව කියා තර්ජනය කර මහපාරට අත්හැර දැමූ බවය.

ස්‌ටැන්ලි නුවර රෝහලේ සිටිනාවිට මේ ප්‍රකාශ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම් විසින්ද සටහන් කර ගත්තේය. ස්‌ටැන්ලි ගැන හොයන්නට විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ද නුවර ගියේය. එහෙත් ස්‌ටැන්ලිගේ කතාව දැන් යටපත්ය. මේ මනුස්‌සයා බොරු කියන්නේනම් මෙපමණ භයානක බොරුවක්‌ කීම සම්බන්ධව ඔහුව අධිකරණය ඉදිරියට පැමිණවිය යුතුය. එයත් නැත. මේ සිදුවීමට සැබෑ ලෙසම ඔහු මුහුණ දුන්නේනම් සිවිල් පුරවැසියෙක්‌ ලෙස ඊට වඩා බරපතල අපරාධයක්‌ මිනිසෙකුට සිදුකළ නොහැකිය. ඒ ගැන පරීක්‌ෂණ පැවැත්වෙන්නෙත් නැත.

මේ මොහොත වනවිට පරාණ බයට පත් ස්‌ටැන්ලි කිසිවෙකු සමග කතා කරන්නේ නැත. රස්‌සාවට කොළඹ එන්නේත් නැත. ඔහු පවසන පරිදි ඔහුට පෙර තරම් සුවයක්‌ ද නැත. ඔහු අත්හැර දමා සැකකාරයෙක්‌ සොයා ගිය ගමනේ පැහැසර සොයා ගැනීම කුඩුකාර ප්‍රියන්ත හෙවත් කණේ ගෙඩියා විය හැකියෑයි දැන් අයෙකුට යෝජනා කළ හැකිය.

එල්.ටී.ටී.ඊ සම්බන්ධය

මේ අතර කෞතුකාගාර කොල්ලය සම්බන්ධ අලුත්ම සොයා ගැනීම පිළිබඳ පොලිසිය අධිකරණය වෙත දන්වා තිබිණි. ඒ සොයා ගැනීමට අනුව මේ කොල්ලය පිටුපස සිටින්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයය. කොටි ජාත්‍යන්තර ජාලය මාලිගාවත්තේ පාතාලය හා එක්‌වී මෙම කොල්ලකෑම කරනු ලබන බව කියන්නේ සිය සංවිධානය පුනරුත්ථාපනය කිරීම සඳහා අවි ආයුද මිලදී ගැනීමටය. ඊට කුඩුකාරයෙක්‌ යොදා ගන්නේ පාතාලය විසිනි.

අනතුරුව ඒ ජාත්‍යන්තර ජාලය විසින් මාලිගාවත්ත පාතාලය හරහා කෞතුකාගාර කොල්ලය සඳහා යොදා ගන්නා කුඩුකාරයා මාලිගාවත්ත බාබපුල්ලේ පාර අවට හතර අතේ කෞතුක වස්‌තු විකුණා ලක්‌ෂ හයක්‌ උපයන්නේය. ඒවා විකුණන්නේ කෞතුක වටිනාකමට නොව, සිල්ලරටය. ඊට අමතරව ඔහු තවත් දෙදෙනකුට මේ භාණ්‌ඩ කොටස්‌ විකුණා රුපියල් දහනව දහසක්‌ ලබන්නේය. කොටි ප්‍රතිසංවිධානය කරන්නට ආයුධ ගැනීම සඳහා කළා යෑයි පොලිසිය විසින් කියන මෙම කෞතුකාගාර කොල්ලයෙන් දැනට උපයාගෙන තිබේ යෑයි හෙළිවී ඇති මුදල රුපියල් හයලක්‌ෂ විසි දහසකි. මේ මුදලින් සමහරවිට ඔවුන් "අග්නි" වැනි මිසයිලයක්‌ මිලදී ගැනීමට පෙළඹෙනු ඇත. මේ ගොං කතා ඇසෙනවිට දැන් අපට තරහා යන්නේ නැත. දුක හිතෙන්නේය.

මේ රටේ වැඩ සිදුවන ආකාරය ගැන ඉතා පැහැදිලි කියෑවීමක්‌ මේ සිද්ධි මාලාව තුළ වේ. පොලිසිය කෞතුකාගාර කොල්ලයට කොටි සංවිධානය සම්බන්ධ කරගන්නේ කෞතුක භාණ්‌ඩ පිළිබඳ හෝඩුවාව සොයාගත් මාලිගාවත්ත පාතාලයෙක්‌ වන බිල්ඩර් ප්‍රසාද් ල`ග තිබී මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌ සොයා ගැනීමෙන් අනතුරුවය. මේ මයික්‍රෝ පිස්‌තෝලය කොටි සංවිධානය විසින් භාවිත කළ එකක්‌ බව කියෑවිනි. එහෙත් එය බිල්ඩර් ප්‍රසාද් කෙලින්ම කොටින්ගෙන් ලබාගන්නක්‌ නොවේ. ඔහු පිස්‌තෝලය ලබාගන්නේ සන්ධානයේ නාගරික මන්ත්‍රීවරයෙක්‌ වී සිටි කුඩු ලාල් නැමැතැතෙකුගෙනි ගෙනි. පාතාලය මර්ධනය කිරීමේ මෙහෙයුම පසුගිය වකවානුවේ ආරම්භ කරනවාත් සමගම කුඩු ලාල් රටින් පැනගන්නේය. කුඩු ලාල්ට මේ පිස්‌තෝලය දුන් බව කියන්නේ ඔහුව දේශපාලන ලෝකයට හඳුන්වාදුන් කැබිනට්‌ ඇමතිවරයෙක්‌ වූ කැලණියේ කුප්‍රකට දේශපාලන බලවතාය. එසේනම් පොලිසියට අනුවත් මේ අවි ගණුදෙණුව සෘජුව සිදුවී ඇත්තේ ඒ බලවතා හා එල්.ටී.ටී.ඊ ය අතරය. බිල්ඩර් ප්‍රසාද්ට පිස්‌තෝලය ලැබෙන්නේ දෙදෙනකුගේ අතින් අතට මාරු වීමෙන් පසුය.

එහෙත් මේ ගැන දේශපාලකයාගෙන් ප්‍රශ්න කරන්නට පොලිසිය පෙළඹෙන්නේ නැත. බිල්ඩර් ප්‍රසාද්ව අත්අඩංගුවට ගෙන කොටි සංවිධානයට චෝදනා කිරීම ඒ ප්‍රශ්න කිරීමට වඩා පහසුය. කෞතුකාගාර කොල්ලයට කෞතුකාගාර නිලධාරීන්ගේ මැදිහත්වීම, ඒ සම්බන්ධව සිදුවිය හැකි දේශපාලන බලපෑම ගැන වද වෙනවාට වඩා නන්නත්තාර කුඩුකාරයෙකු වරදකරු කර කතාව නිමා කිරීම පහසුය. ඒ නිමා කළ කතාව ගැන ප්‍රශ්න කළහොත් සිදුවන්නේ පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවන්ට සිදුවූ ආකාරයට පොලිසියෙන් අම්මා මූ නැතිව බැණුම් අසන්නටය.

එබැවින් කතාව මේ ආකාරයෙන්ම නිමා වූ බව පිළිගැනීම අප කාටත් පහසුය.

ජානක ලියනආරච්චි
======================================================================

Kandyan era cultural artefacts stolen - BBC

Museum robbery: 4 months on mystery deepens

Recovered artifacts stolen from Museum: authorities confirm


No comments:

Post a Comment

Blogroll

About