අප ජීවිතය හඟින්නේ හිඩැස් තුලයැයි පසක් නොකල හිතක් තියෙන්නට නොහැකියැයි මට
සිතෙයි. වටනේ ය, අනර්ඝය ය, හැමදාම මා අතම රැඳී තිබිය යුත්තේයැ යි, හිතට ගතට දැනුනා
වූ යමක්, මොහොතකට, එකම එක නිමේෂයකට, සිතිවිල්ලකින් හෝ ස්පර්ශ කරවූ ඇසිල්ලක දැනුනු
ආද්ලාහයෙන්, ආයාසයෙන් මෙන්ම බොහෝවිට අනායාසයෙනුත්, නැවත නැවතත් පිරවෙන නමුත්,
සදාකාලිකවම හිඩැස් සේ පවතින බොහෝ තැන් අපේ හිත්වල තිබේ. තරමක් සියුම්ව කල්පනා
කලහොත්, අතීතයය කියන්නේම, සිඳී වියලිව වාලුකාවක් වූ බිමක මනසින් මවාගනු ලබන සයුරක නැගෙන
දියරලම නොවේ ද? පසුකර ආ අතීතය හා සසඳන විට, ඉතිරිව ඇති අනාගතය සොච්චම් මඩ
කඩිත්තක්ව පෙනෙන වයසක සිටින මා වැන්නෙකුට මේ නිස්සාරත්වය වඩාත් තීව්‍රව දැනෙන්නේය
සිතමි.
"මහ ගෙදර පෑළ දොරින්
පිළිකන්නට බැහැපු
කෝපි බදින සුවඳ
අපේ මිදුලටත් ඇවිදින්
කොහොමත් තව ටිකකින්
අම්මා එනවා සිකුරුයි
කෝපි කුඩු මුලත් එක්ක
එක අතක කෙල්ල යි
අනික් අතේ කෝපි යි
කාව ද වඩා ගන්නේ
ඉස්සෙල්ලාම මම
එතකොට ?
හැමදාම හැන්දෑවට
කොහොඹ ගහ යට බංකුවේ
අපි කෝපි බොන කොට
පින් දෙනවා අම්මාට
කවදාහරි දවසක
ඔයාට කලියෙන්හ මම
අහසට ගිය දාට
තරුවක් වෙලා බලන්නම්
තනියම කෝපි බොන හැටි
ඒත් ඒ දවසට
පින්න හරි වැඩි වේවි
බංකුවෙ ඉන්නෙපා
හාන්සි පුටුවට යන්න
“කෝපි රහට කවියක්” - තාරකා සම්පතී අබේසේකර (2021).
ISBN
978-624-99039-0-6 කර්තෘ ප්‍රකාශනයකි
මුද්‍රණය: නුවණ ප්‍රින්ටර්ස්, ලංසිගම, කටුනේරිය 032 20 56 888]
කෝපි කුඩු මුලත් කෙල්ලත් එක්කම ඈ බදා වඩා ගන්නා ඇගේ අම්මා, අපේ මහම්මාගේ ලේලියය. ලලි අයියාගේ බිරිඳය. ඒ අම්මා එක අතක වඩා ඉන්නා කෙල්ල, මා මවාගන්නා තරමින්, තාරකාගේ මල්ලීගේ සිඟිත්තිය ය. තාරකාගේ කවිය තුල හමුවන, මේ මුහුණුත්, කොහොඹ ගහ යට බංකුවත්, කෝපි සුවඳත්, රසයත්, එකතු කෙරෙන්නේ සත්‍යය වූ අත්දැකීම් සමුදායක සටහන්ම මුත්, මොහොතක් නැවතී බැළුවොත්, මේ වචන පසුපස පෙලගැසෙන රූපක පෙල හිතට කියන, ‘පේලි අතර කතාවේ’ ගැඹුර ද ස්පර්ශ කල හැකිය.
රසයක් ය කියන්නේ විඳින්නා විසින්ම නිර්වචනය කරනු ලැබිය යුත්තක් වුව, කෝපි රස, පැණි රසක් නම් නොවන බවත්, ප්‍රණීතය කිව හැකි නමුත්, දෙතොල් අතරේ රැඳවෙන තිත්තක සේයාවක් බවත් නොපිළිගන්නට හේතුවක් මට මෙන්ම ඔබටත් සොයා ගත නොහැකි වනු ඇත. ඉදින් කෝපිවල රසය ඇත්තේ කෝපි වලම නොව, කෝපි රහ මතකයේම බව තාරකාගේ පද පෙල ආයෙ ආයේත් මතක් කරවයි. එහෙත් ඒ මතකය මතකයක්ම වන අනාගතයේ කහට රසයත් මේ කවි පෙල තුල ඉතිරි වී තිබේ.
මහ ගෙවල් කියන්නේ, බොහෝ විට සුවඳම පමණක් ඉතිරි කර පරවී වියැකී යන පුෂ්පයන්ය. එනමුදු, අප කාට වුව, ගෙදර යන්නට, අහම්බෙන් නාස් පුඩු අතර දැවටෙන සුවඳක්, මග තොටක දකිනා, ගහ කොළක, නිවසක, රුවක් පමණටත් වඩා සෑහෙයි. ඉතින් මේ කොහොඹ ගසත්, ඒ යට තනිවන බංකුවත්, කවදා හෝ දවසක අතීතයක් සනිටුහන් කරන කෝපි කුඩු මුලත්, මේ ගැහැණු පරපුරේ අනාගතය වන්, සිඟිත්තියත් අතර හිනැහෙන අම්මාගේ මුහුණ, අහසෙහි තාරකා අතරේ සිහිපත්වන අනාගතයක් ගැනත්, තාරකා අතින් අනායාසයෙන්ම සනිටුහන්වෙයි.
මේ සියල්ල පෙල ගැසී මසිතේ සටහන් කරන රූප පෙල කෙලවරේ, මහම්මාගේත්, මගේම අම්මාගේත් සිනා මුහුණුත්, මතකයට නගාගත හැකි කාලයක දැක නැතත්, අපේ ගෙදර බිත්තියේ එල්ලා තිබූ ඡායාරූපයක උදේ හවා දුටු, අම්මාගේත් මහම්මාගේත් අම්මාගේ මුහුණත්, ඒ මුහුණුවරම උරුම කරගත් මගේ ම නංගීගේ මුහුණත් මම දකිමි. විශ්වීය රටාවන්ය අප හඟින බොහෝ සිද්ධි දාමයන්, කොයි තරමක් නම් එකිනෙකට සම්බන්ධවන අවස්ථාවන් හා භෞතික සාධක තිබුණ ද, ඒ රටාවන්ගේ පැවැත්ම නම් අපේ සිත්වල උපන්නාවූ ද, යළි යළිත් උපදින්නාවූ ද, මතකයන්ම යැයි, මට සිතේ.
එවන් මතකයන්ගේ උරුමක්කාරකම මතම මේ සටහන මෙසේ ඇරඹුණත්, ඒ සියල්ල;
“මේ පද පේළි අතර
මා සොයන්නට වෙහෙස නොවන්න,
එහි හිඳින ඔබව ම සොයන්න.
දැන් වටපිට බලන්න, ඔබ අසල මා ද හිඳිමි” යි
තාරකා ඇගේ කවිපොතට ලියන පෙර සටහනමම නොවේ ද?
“හදවත මැදක පිපුණ ම සුදු වතුසුද්ද
නුඹෙ ඇස් දෙකෙන් ඉස්සෙම මල් පිනි වැස්ස
වනමල් වුණත් පිපුණම නොකරම සද්ද
උස අතුවලත් මල් හී සර පැටලෙද්ද?”
“හීන මහන්නෙමි තරු යට නිදි වරලා
මොනරු සොයන්නෙමි මැදියම කපු කැටලා
ගමේ සුළඟවත් කලකට නෑ විදලා
තැපැල් කරන්නෙමි දහඩිය මිටි බැඳලා
දියක හැඩය කඳු අතරින් ගැලුවාම
මලක සුවඳ එය නටුවේ රැඳුණාම
දුරක වුණත් මගෙ හීනය හැමදාම
සඳක එළිය දුර අහසක දිලුණාම”
එක් පසෙකින්, උස් අත්තක පිපි කැකුළක අයිතිය වෙනුවෙන් ලියැවුනු විරහ සිතිවිල්ලක්ය වර්ග කරන්නට පුළුවන් නමුත් ගීතමය ලතාවකට ඇවිණෙන මේ වචන මල් නටුවල රැඳී ඇති රෝස කටුවල රිදවිල්ල දැනෙනවා ද?
මා කුඩාවෙක් වූ සමයේ, අපේ ගම්වල අටවැන්නෙන් හෝ සාමාන්‍ය පෙලින් පසු අතරමංවන බොහෝ තරුණියන්ගේ රැකියාව වූයේ, බීඩි එතීමයි. එතෙක් රැජිනගේ අණසකට යටත්ව තිබූ, ‘සිලෝන්’ දූපත, ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට වෙනස් කරන්නට තරම් බලගතු ජනවරමක් සහිතව නවසිය හැත්තෑවේ බලයට පැමිණි, මැතිණියගේ ආන්ඩුව යටතේත්, කෙල්ලන්ට ගෙදර ඉඳන් කරන්නට පුළුවන් රැකියාවක් ලෙස ප්‍රවර්ධනය වූයේ බීඩි එතීමයි. හැත්තෑවේ ජනවරම හකුලා, හැත්තෑ හතේ උදාවූ ධර්මිෂ්ඨ යුගය, අපේ ගම්වල, රෑ පාන්දර වෙනතුරු කුප්පි ලාම්පු එළියෙන් බීඩි එතූ තරුණියන්ට පිරිනැමූ අළුත් හීනය වූයේ, කලාපයේ ගාමන්ට් එකය.
මවා පෙන්වූ හීනවල අතරමං වන්නට අපොරොන්දු වූ පරම්පරාවක අරගලය තුලින්, ජාතියේ පිනට උපන් දියසෙන් කුමරුන්ට, ඉරට හොරා මහ පාන්දර දේශයෙන් පලායන්නට සිදුවූ අද වන් යුගයක, හීනයක් යනු හීනයක්ම මිස සැබෑවක් නොවන මිරිඟුවක් බව සාක්ෂාත් වීමේ උත්ප්‍රාසය, ‘සඳක එළිය දුර අහසක දිලුණාම’ ය කියා තාරකා අවුණන අවසාන පදයේ අපූරුවට ගැබ්වී තිබේ. අපේ ජීවිත වල, මේ රටේ දේශපාලනික, ආර්ථික හා සමාජයීය රටාවන්ගෙන් බැහැර වූ පෞද්ගලිකත්වයක් නොමැති බවත්, ජීවිතයේ සෑම අවදියකම අපේ සිත් තුල නැගෙන අපේක්ෂාවන්, සාක්ෂාත් කරගැනීමේ වෑයමින් බොහෝ කොටසක් වැයවන්නේ, මේ ප්‍රවාහයන්ගේ ග්‍රහණයෙන් මිදී පිහිනා යාමට බවත්ය යන්නත්, තාරකාගේ කවිවල සෙවනැල්ල සේ සටහන් වෙයි.
ජීවිතය කෙඩෙත්තුයි
නගින ලෙසට ම ගිරිදඹ
ඒත් රතු මල් පිපෙයි
මුදුනටම නැග්ගම
හරිහමන් අත්වැලක්
ලැබුණාම හයියට
කෙටි වුණත් දිවි ගමන
සුන්දරයි එතකොට
සීතල ම පස් ගොඩක
ආදරේ වැළලුව
වෙලා පයිනස් ගහක්
බලාපන් ඈ දෙස.
[‘සොයුර’ - හතලිස් හයවැනි පැදිපෙල]
තාරකා සම්පතී, මට දියණියකි. සම්පතකි. ඇගේ නිර්මාණ මෙසේ පොතකට ගොනුව අතට ලැබීම, අප්‍රමාණවූ සතුටක් වූ බව ලියා තැබිය යුතුම ය. ජීවිතය සටහන් කර තැබීම, අප විසින් කළයුතුම දෙයකියි මම සිතමි. ඒ සිතිවිල්ල තාරකා දූ ගේ ලියවිලි තුල ද දකින්නට මම වාසනාවන්ත වී සිටිමි. ඉතින් මේ සටහන අවසන් කරන්නට කටුවාපිටියේ එක්තරා පුතෙක් කියා, තාරකා ලියා සටහන් කල සටහන ණයට ගනිමි.
කොපුල් තල සිඹින කල
වසමි මම ජනෙල් පෙළ
බලා සුදු පිච්ච වැල
තවත් හඬනෙමි සිතින්
සුරදුවක වී තොසින්
නැතිව ඇති නුඹ දුකින්
ජීවිතය ලඟ ඉතිං
මරණයත් ඇත ළඟින්
ඒත් නුඹ මැරුණෙ නෑ
මැරුව බව මම දනිම්
සෙනෙහසක් ලැබුණාට
මැකේවි ද නුඹෙ අඩුව
සුරලියනි හැමදාම
බලන් මගෙ අම්මාව”
[‘කටුවාපිටියේ
එක්තරා පුතෙකු කී කතාවක්’, 41 වන පැදිපෙල]