Wednesday, June 13, 2018

පුංචි කාලේ මොරටු වැල්ලේ....

Share it Please


බැස යන්නට නොහැකිව තතනන
ඉර එළියෙන් රත් පෑ වූ හියුරන් විල අහල
පුංචි නගරයක සිට ලියමි.

හැත්තෑ ගණන් අග හරියේ, කොළඹ සරසවියේ නවකලාගාරයේ දී නැරඹූ බෙංගාලි චිත්‍රපටයක සිතුවම් මාලාවක් නොමැකෙන සේ මගේ සිතේ ඇඳී තිබේ. එය සත්‍යජිත් රායි ගේ යැයි මා අනුමාන කරන නමුදු, නමගම නම් මතකයට නොඑයි. සමහර විට මගේ මතකයේ ඇත්තේ, ඒ සිනමා සිත්තමේ එහෙන් මෙහෙන් අහුලා ගත් දසුන් කීපයක එකතුවක් වන්නටත් පුළුවන. එහෙත් එය එක කතා සිඟිත්තක් ලෙස සිතන්නට මම කැමැත්තෙමි.

ඔන්චිල්ලාවක් පදින  ප්‍රේමණීය වූ තරුණියක් අසල බිම වැතිර කවියක් ලියන තරුණයෙකි. ඒ ලියැවෙන කාව්‍ය ඛණ්ඩත් සිතුවමක් සේ තිරය මත දිග හැරෙයි...

"සියල්ල ඉදිරියටම ගලා යයි
 දිය ඇලි ද ගංගා ද
ඍතු ද අහසේ පක්ෂීන් ද කාලය ද
 මේ සියල්ල ඉදිරියටම ගලා යනවා මිස
කිසි ලෙසකින් ආපසු ගලන්නේ නැත...
ආපසු හැරී යා හැකි
එකම දේ නම්
අපේ සිත්ම, සිතුවිලිම පමණකි..."

අද ආපහු හැරුණු මගේ මතකය, මොරටුවේ සීනායි නම් මැදුරක මිදුලේ විදුලි බුබුලින් එළිය වූ දිය පොකුණක පාවෙන හුලං පිරවූ ඉටිරෙදි හංස රූප රැසක් අසල නැවතී තිබේ. අපේ බාප්පා, අපේ තාත්තාගේ වැඩිමල් මල්ලීගේ මනමාලිය ගේ ගෙදර වූ ඒ නිවසට එදා අප ගියේ ඒ ජෝඩුවගේ අවසර ගැනිල්ලටය යනු මගේ මතකයයි. කුඩාම කුඩා කාලයේ මගේ මතක අතර අවුරුදු තුන හතරේ මේ මතකය අදටත් වර්ණවත්ව මගේ සිතේ දකින්නට මට පුළුවන. ඒ මගුල් ගෙදර මල් කුමාරයින් වූයේ අපේ අයියාත් මමත්ය. අපි දෙන්නා රතු බෝ ටයි බැඳ කොළඹ ඩොනල්ඩ්ස් ඡායාරූපාගාරයේ, මගුල් පින්තූර ගන්නට පොරොත්තු වෙනවාත්, ඒක මහා දිග දවසක් වූ බවත් මට තවම මතකය.

අවුරුදු ගණනාවකට පස්සේ, මමත් මනමාලයකු වී, තාත්තෙකුත් වූවාට පස්සේත් බාප්පලා ගේ ගෙදර දී ඒ මගුල්  ගෙදර සේයාපටය, වීඩියෝවකට හරවා, බාප්පාත් මමත් බාප්පාගේ මනාලිය වූ කැමිල් ඇන්ටීත් බලනවාත්, එදා මං ගැන කිය කියා ඈ සිනාසෙනවාත් අද මම නැවත නැවතත් දකිමි.

ඈට කාගේත් සිත් සතුටින් පුරවන සිනාවක් තිබුණි. සීයලාගේ ගෙදර නත්තලට, පල්ලියේ මංගල්ලයට එකතු වී පවුලේ හැමෝම සාමිචි කතා කියන අස්සේ අපේ තාත්තාගේ "පුඩිං කද්දී උඩිං කාපල්ලා" වැනි විකාර විහිළු වලට ඉස්සෙල්ලාම හිනැහෙන්නේත්, ඒ හිනා කතාව නැවත නැවතත් කියා හිනැහෙන්නේත් ඇයය.

ඇගේ හිනා කතා ගොන්නේ, මනමාලි බලන්නට මනමාලයාගේ කට්ටිය ආ වෙලේ කෙල්ලන් රොත්තක්ම හිටි ඒ ගෙදර දොර රෙදි අස්සෙන් එබී බලා, ජැන්ඩි කාරයෙක් වූ අපේ තාත්තා මනමාලයාය කියා රැවටුනු කතාවකුත් තිබුණි. අපේ ගෙදර කොල්ලන්ම දෙන්නෙක් වූ නමුත්, බාප්පලාගේ ගෙදරට ඉස්සෙල්ලාම ආවේ කෙල්ලන්ම දෙන්නෙකි. ඒ ගෙදර ලොකු කෙල්ල වූ ජුඩිත් නංගී ලැබුණු දවස්වල බබා බලන්නට ඉස්පිරිතාලයට ගිය මම, බබාට දෙන්නට ඒ කාලේ කවුරුත් දන්නා, ඇඟිල්ලක් කටේ ගසාගත් අඟල් හත අටක් දිග පුංචි ප්ලාස්ටික් බෝනික්කු රැගෙන ගිය කතාවත් අපි එකතු වූ වෙලාවට ඇන්ටී කියන තවත් කතාවක් වී තිබුණි.

ඇගේ දෙවෙනි දූ පුංචි අතදරුවා කාලයේ, සැත්කමකට කොළඹ ගෙනයන දවසේ, බාප්පාත් ඇන්ටීත් පුංචි බබාත් අපේ ගෙදරට ඇවිත් ගිය දවසත් මට මතකය. එදා ඇත්තටම හෝ බොරුවට ලෙඩවී පාසල් නොගිය මා, පුංචි බබා අතේ තබාගෙන සිටි ඇගේ පුටුව පාමුල බිම වාඩිවී ලොකු අයගේ කතා බහ අසා ඉන්නවාත් මට මතකය.

පුංචි බඳුන්, පුරවන්නට, මහා විශාල දේවල් අවශ්‍යය නැත. මේ පුංචි මතකවල දැවටුණු ආදරය, සතුට, සැනසීම එදා පිරුණු මගේ පුංචි හිත අදටත් ඒ හැම දෙයින්ම පිරී ඉතිරී තිබේයැයි මම හඟිමි.

ඉතින් මා මේ පුංචි සටහන ලියන මොහොතේ,  ගෙදරක සාලයක ඈ වැතිර ඉන්නවාත්, ඇගේ දූ පුතුන් ඈ වටා ඉන්නවාත් ඇති. ලඟට ගොස් දෝත සිඹ සමුදෙන්නට නොහැකි තරම් දුරක සිට මේ මතක ඇවිස්සීම එක් අතකින්  ශෝකී තනිකමක් දැන වූවත්, ඇගේ සිනහවත්, ඈ බෙදූ සතුටත් ඒ වසා ඇතිරෙයි.

අක්කලා නංගිලා අයියලා ඇන්ටිලා ආදී වශයෙන් ඇගේ නෑදෑ පිරිසෙන් බාප්පලාගේ ගෙදර පිරෙන උපන්දින, මංගල, මංගල්ල, නත්තල් ආදී මොන සතුටු දවසක් වුනත් සංගීතයෙන් සතුටින් පිරී තිබේ. ඒ මොන දවසේ වුනත් නොවරදවා ගැයෙන ගීත කීපයක් තිබේ.... 'පුංචි කාලේ මුහුදු වැල්ලේ වැලි සෙල්ලම් බත් උයලා...' ඉන් එකකි. ඒක කියවෙන්නේ නම්, මුහුදු වැල්ලේ මොරටු වැල්ලේ වෙලාය. සුනිලාත්, අවස්ථාවට උචිත නම් එදා දවසට වඩාත් ගැලපෙන නමකට හුවමාරු වෙයි.

ඉතින් කැමිල් ඇන්ටී, අවුරුදු දෙක තුනකට පෙර දවසක හමුවී සමුගත් දවසේ මෙන්ම නැවත වරක් ආදරෙයි කියනවා මිස, ඔබට සමු දෙන්නට මට වෙනත් වචනයක් සොයාගන්නට නොහැකිය.



2 comments:

  1. ඇයට සදාතනික සැනසුම ලැබේවා... මගේ පැතුමයි.

    ReplyDelete

Blogroll

About