වයස අවුරුදු විසිඑකක් ලෙස පෙන්නා ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදාගෙන දෙදාස් පහේ මැයි මාසේ සෞදි අරාබියේ වැඩකාර රස්සාවකට යන, එවකට අවුරුදු දා හතක් වයස් වූ, සෙයියදු අහමදු රෙසිනා ගේ ලොකු කෙල්ල වූ රිසානා නෆීක්, කුඩා දරුවකු බෙල්ල මිරිකා මැරුවායි කියන චෝදනාව මත මරණ දණ්ඩනයට තීන්දු වෙන්නේ දෙදාස් හතේ ජුනි මාසයේ දීය. ඒ මරණය සිදුවන්නේ, ඇය රස්සාවට ගොස් දින ගණනාවකිනි, දෙදාස් පහේ මැයි විසිපස්වෙනි දාය. එතැන් පටන් සවුදි සිරමැදිරි වලට කොටුවන ඇයට ඇගේ හිසත්, සෙයියදු අහමදු රෙසිනාට ඇගේ දුවණියත් අහිමි වන්නේ දෙදාස් දහතුනේ ජනවාරි නවවෙනිදාය.
රිසානා සිරගතව සිටි කාලය තුල දී මෙන්ම, ඇගේ ඝාතනයෙන් පසුව ද, මෙම සිදුවීමට පසුබිම සකස් වූයේ කෙසේ ද, එවැනි දේ ඉදිරියේ දී වලක්වා ගන්නේ කෙසේ ද, යන බැරෑරුම් මාතෘකා කොතෙකුත් සංවාදයට ලක්වුණි. මේ කරුණු පිළිබඳව කලක් අබුඩාබි තානාපති කාර්යාලයේ සේවය කල, සරත් රුද්‍රිගු මහතා ලංකාදීපයට ලියන ලද ලිපියක මෙසේ සඳහන් කර තිබේ.
"මෙම පිරිස් විසින් ගමන් බලපත්‍රවල ඡායාරූපය පවා වෙනස්කල අවස්ථා මා අබුඩාබි කාර්යාලයේ සේවය කරන අවධියේ දී මට අසන්නට ලැබුණි. මෙය හඳුන්වනු ලබන්නේ 'ඔළුව' මාරු කිරීම යනුවෙනි. විවිධ හේතූන් නිසා මෙසේ 'ඔළු' මාරු කිරීම සිදුවන අතර ඒ සඳහා අයකරන ගාස්තුව ද අධික බව දැන ගන්නට ඇත. මෙවැනි 'ඔළු' මාරුවක් නිසා මා සේවය කළ කාලයේ කටාර් රාජ්‍යයේ දී සිදුවූ සිදුවීමක් මට මතකය. ප්‍රශ්නයට අදාල තරුණයා පැමිණ තිබුණේ වෙනත් අයකුගේ ගමන් බලපත්‍රයට තමාගේ ඡායාරූපය (ඔළුව) ඇතුලත් කිරීමෙනි. ඔහු හදිසි අනතුරකින් මියගිය අතර ඔහුගේ බිරිඳ ඒ පිළිබඳව ලැබීමට නියමිතව තිබූ වන්දිය ලබා ගැනීමට ඉදිරිපත් වූවාය. එහෙත් "ඔළුව" අයිතිය තිබුණේ මියගිය ස්වාමි පුරුෂයාට වුවද කඳ (එනම් ගමන් බලපත්‍රයේ සඳහන් නම සහ අනෙකුත් විස්තර) වෙන අයකුගේ වූයෙන් නියම බිරිඳට වන්දිය ලබා ගැනීමට නොහැකි වූ අතර නීත්‍යානුකූලව එය ලබාගැනීමට හැකි වූයේ ඒ වන විටත් ජීවත්ව සිටි ගමන් බලපත්‍රය හිමි (එනම් කඳ හිමි) තරුණයාගේ බිරිඳටය. එය ඇයට ලැබුණු හදිසි ධන ලාභයකි. නියම බිරිඳට ලක්ෂ ගණනක පාඩුවකි).
ගෘහ සේවය සඳහා තරුණියන් විදේශගත කිරීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූලිකත්වයෙන් දින 21ක පුහුණුවක් ඔවුන්ට ලබාදෙන බව දැන ගන්නට ඇත. එහෙත් එම පුහුණු වැඩසටහනේ දී, ඔවුන් යවන රටේ නීති රීති පිළිබඳව මූලික දැනුමක් ලබාදෙන්නේ දැයි නොදනිමි. එසේ නොවන්නේ නම් එය පාඩම් මාලාවට "ඉස්ලාම් ශරියා නීතිය" වැනි විෂයන් ඇතුළත් වියයුතු බව යෝජනා කරමි. නීතියේ බරපතලකම දැන සිටියොත් වැරදි මෙන්ම අත්වැරදි ද සිදුවීම බෙහෙවින් වලක්වා ගත හැක."
මේ කතාව අද ඊයේ, රිසානාගේ මරණයෙන් අවුරුදු දුසිමකට පසුව නැවත සඳහන් වන්නේ කෝප් කමිටුවේ විදේශ නියුක්ති කාර්යාංශ විමසුමේ දී ය. එහිදී කරුණු දැක්වූ වැඩබලන අතිරේක සාමාන්‍යධිකාරී (දේශීය කටයුතු) ප්‍රියන්ත වීරසේකර මහතා,
- දින විසි එකේ පුහුණුවත් නොමැතිව,
- සම්මුඛ පරීක්ෂණයකුත් නොමැතිව,
- අයදුම්කරුවා යන්නට ඉල්ලුම් කරන රටේ භාෂාවෙන් මිනිත්තු දෙකක් තමුන්ගේ විස්තර කියන වීඩියෝ සටහනක් හා,
- මීට කලින් දින එකසිය පනහක් විදේශගතව සිටියාය කියා තමුන්ම ලබාදෙන දිවුරුම් ප්‍රකාශයක් මත,
රට රස්සාවකට යන ක්‍රමවේදයක් හඳුන්වා දුන් බව කියයි.
කුතුහලාත්මකම සඳහන, අර පෙර විදේශගත වීම ගැන වැඩිමනත් කරුණු නොසොයන්නේ, "වෙන අයගෙ පාස්පෝට් වලින් ගියා" වගේ කතා කියන නිසායැයි මේ වැඩේ සාධාරණීයත්වය ගැන සාක්කි දීමය.
ගින්දර...!
දුමක් නොනැගෙන උදුනක
එළියක් නැතිව ඇවිලේය ගින්දර
මියගොස් උපන් දවසක
මළකඳ නිදයි දොරකඩ
උණුහුම් උණුහුමෙන් උණුවූ
සුසුමකට කිහිරඟුරු පැලවී
පුළුස්සයි කඳුළු අළු කර
විසුරුවා නිහඬ පොළවට
ගිලෙන්නට අමතකව හිරවූ
කිරි කඳුළකට බැරවී
ඉහිරවුණු රුහිරු කිරි
ලෝ දියව දවයි ගිනිකඳු
ගිනියම් ඇඟිලි අග දැවටී
ගැණෙන විට අග සිට මුලට
සැඟ වෙයි සක්වලම සළු වී
පිට පොත්තවත් නැති බිංදුවක
පහනක් ව දිලෙන්නට
දුමක් වී අහසට නැගෙන්නට
සර සර හඬින් හඬන්නට
කිසිවක්ම ඉතිරි වී නැත
ගිනි ගත්තු කඳුළක...!
- සෙයියදු අහමදු රෙසිනාට
අනේ අපොයි කියලා කම්මුලේ අත තියාගන්වට වැඩි දෙයක් ඔය කමිටුවලින් කරන්න බැරිවීම කණගාටුවට කරුණක්.
ReplyDeleteකමිටුව කරන්නේ, විගණන වාර්තාවලින් මතුවෙන ප්‍රශ්න ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම පමණක්ම වෙන්නට පුළුවන්. මම දකින කාරණය, මේ මතු කරන්නේ, දැනටමත් පවතින නීති රීතීන්ට විරුද්ධ ක්‍රියාකාරකම් වීමයි. ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්නට, ඒ ආයතන පාලකයින්ට අමුතු සහයෝගයක් අවශ්‍ය වෙන්නේ ඇයි?
Delete