අටවෙනියෙන් නවවෙනියට සමත් වීම කොහොමත් කඩයිමකි. ඒ කාලේ නවය හා දහය වනාහී, අ.පො.ස. සාමාන්‍ය පෙල පංති විය. අට වදින තුරු එකටම එකම පංතියක හිටිය කට්ටිය කලා, වාණිජ, විද්‍යා, පෙට්ටිවලට අහුරන්නේ අටෙන් නවයට යද්දීය. දැන් කාලේ සුළු සුළු වෙනස්කම් වෙතත්, ඔය සිස්ටම් එක අඩු වැඩි වශයෙන් තාම තියේයැයි සිතමි.
එක්දාස් නවසිය හැට නවයේ දී අටවෙනියෙන් නව වෙනියට යාමට බලාන ඉද්දී, ඒ කියන්නේ වාර විභාග ලියලා ලකුණු කියන කාලය වෙනතුරු පොරොත්තු වෙද්දී, මගේ හිතිවලි වලින් හොඳටම මතක තියෙන්නේ, විද්‍යා පංතියට නොතේරුනොත් කලා පංතියට යනවාමය කියා හිතා හිටි හිතිවිල්ලය. මොනවා ඉගෙනගෙන ලොකු මහත්වී මොකෙක් වෙනවාද කියා අබමල් රේණුවක අදහසක් කවමදාකවත් හිතේ නොතිබුනත්, අධ්‍යාපනය පැත්තෙන් ආසාම දේවල් හැටියට ඒ කාලේ හිතේ තිබුණේ, අමුතු අළුත්, නවීන විද්‍යාවය හැඳින්නූ දේවල් ගැන ඉගෙන ගන්න එකත් පුස්තකාලයේත්, සිංහල පොතේත්, පොත් පත්තර හැටියට හෝ, සීනි පිටි ඔතාන එන ගොටු හැටියට හෝ, ගෙදරට එන අච්චු අකුරු ඇති කඩදාසි වල හැංගුණු කවි කතාන්දර රචනා කියවීමත්ය. ඔයිනුත්, හයේ හතේ හිඳම, සිංහල රචනා ක්ෂේත්‍රයේ යම් නමක් දිනාන ඉඳීම නිසා යම් විදිහක ලියන්නෙක් යැයි හිතා හිටි මට, කොමර්ස්ය කියූ වාණිජ ධාරාවට යාම හා එමගින් සල්ලි අතපත ගාන මුදලාලියෙක් වීමට පුරුදු පුහුණු වීම, අප්‍රිය දෙයක් ලෙස පෙණුනි. වාණිජ පැත්තේ විෂයයකට යම් ආසාවක් තිබුණා නම්, ඒ ලඝුලේඛන යතුරු ලියන වලට පමණි. ඒකත් ලියන දේවල් අච්චු අකුරින් මුද්‍රණය කිරීමේ ආසාවමය.
අන්තිමේ, තේරීම ආයේ නවය විද්‍යා A පංතියටය. හයවෙනියේ සිට එක බංකුවේ සිටි නිරන්ජනුත් මමත් ජෝශප් වාස් විද්‍යාලයේ උඩ තට්ටුවේ පඩිපෙලින් එහා පැත්තේ ඇති එකම එක පංතිකාමරයේ වාඩි වුනේත් එක බංකුවේමය. පඩිපෙල උඩ තට්ටුවට යාවෙන තැන, පීරියඩ් වෙන් කරන්නට ගුණරත්න ගහන බෙල් එක එල්ලූ කණුවට එහා පැත්තේ තියන මේ පංති කාමරයට එපිටින් තිබුණේ බ්රදර්ස්ලාගේ ක්වාටස්ය.
අපේ හැත්තෑව ඇරඹුණේ ඒ පංති කාමරයේය. විද්‍යාව උගන්වන්නට පැමිණි, පුටුවේම වාඩි වී, උඩුකය කරකවා කළු ලෑල්ලේ ලියන ෆ්රැන්සිස් ජෝශප් සර්, කොටන් ගහේ කතන්දරය රඟ දක්වා පෙන්නූ, සිංහල පාඩමට ආ, බ්‍රදර් සයිමන්, ගණන් කාරයා වූ සිම්ප්ලීසියස් සර්, ජීව විද්‍යාව උගන්නන්නට ආ, ජයමහ මිස් ආදීනුුුත් සමග ය.
එකදාස් නවසිය හැත්තෑවේ අවුරුද්ද, රටේ එතෙක් සිදුවූ ලොකුම දේශපාලන විපර්යාසය වූ, සිරිමාවෝ, ඇන්. ඇම්., කෙනමන්, සංධානයේ තුන්හවුල, ඒ වෙද්දී, ඉස් ඉස්සෙල්ලාම, අවුරුදු පහේ ආණ්ඩු කාලය සපිරූ, ඩඩ්ලිගේ එජාප ප්‍රමුුඛ හත් හවුල් ආණ්ඩුව ගෙදර යවා, මැති සබයේ තුනෙන් දෙකක බලය ඇල්ලීම සිද්ධ වූ අවුරුද්ද ය. ඒක හැත්තෑ හතේ දී, ජාතික කියන වචනයෙන් ප්‍රතිස්ථාපනය වූ ජනතා යෙදුම කරලියට ආ අවුරුද්ද ය. නිදහස් ලාංකීය ඉතිහාසයේ පළමුවරට, ප්‍රධාන වාමාංශික දේශපාලන ධාරාවන් ද්වයම, ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන්ගත් අවුරුද්ද ය. මැතිණිය, තම සැමියා නොමරා මැරූ, ඇන්. ඇම්. පෙරේරාට, තම ඇමති මණ්ඩලයේ මුදල් ඇමති කම දුන් අවුරුද්ද ය.
එවන් ජනතාවාදී විපර්යාසයන් වූ අවුරුද්දක අග භාගයේ, අපේ ඉස්කෝලේ ද ඒ හා සමානම විපර්යාසයක් සිදුවෙමින් තිබුණි. ඒ වැඩේ මල්ඵල ගැන්වුනේ, මීට පෙර අතීත සටහනක, මේ සටහන් ජාලයේම ලියා ඇති පරිද්දෙන්, හැත්තෑ එකේ ආරම්භයේ දීම, අපේ ඉස්කෝලය වූ වෙන්නප්පුවේ ශාන්ත ජෝශප් වාස් විදුහල, උපැවදි වීමෙනි. එනම්, එතෙක් මාරිස්ට් නිකායේ සහෝදරවරුන් හෙබවූ, ඉස්කෝලේ විදුහල්පති තනතුරට, ගිහියෙක් වූ පැන්ටලියන් කුරුකුලආරච්චි මයා ගේ ආගමනයෙනි.
ඔය කාලය වෙද්දී, විද්‍යා පංති සියල්ලේ එකතුවෙන් සැකසුණු ඉස්කෝලේ විද්‍යා සංගමය, අපේ ඉස්කෝලයටම පාහේ තිබුණු, ක්‍රියාකාරීම සංගමයක්ව තිබුණි. විද්‍යාවටත් ඔබ්බට ගිය මේ ක්‍රියාකාරීත්වය, එවකට දේශපාලන වශයෙනුත් ආන්දෝලනාත්මක කලා නිර්මාණ වූ, හොරණ විද්‍යාරත්නයෙන් පාසල් නාට්‍ය ලෙස බිහිවූ, චන්ද්‍රසේන දසනායකගේ, 'ආඬි ටිකයි අම්බලමයි' හා හේමසිරි ලියනගේ ගේ, 'සුදු ඇතා ආවට පස්සේ' වැනි නාට්‍ය වෙන්නප්පුවට ගෙනැවිත් රඟදක්වන්නට කටයුතු කරන්නට තරම් දියුණු වී තිබුණේ ය. ඔය කාලයේ නවය විද්‍යා පන්තියේ, විද්‍යා සංගම් නියෝජිතයා වීමේ වරමින්, මේ වැඩ කටයුතු වලට සම්මාදම් වන්නට, විශේෂයෙන්ම, නාට්‍ය දර්ශන වල ප්‍රවේශ පත්‍ර අලෙවියේ වගකීම් දරන්නට මටත් වාසනාව ලැබී තිබිණි.
පලාතේ ලොකු ඉස්කෝලයක් වුනත්, මහජන ප්‍රදර්ශනයකට නාට්‍යයක් පෙන්වන්නට තරම් වූ ශාලාවක් අපේ ඉස්කෝලේ තිබුණේ නැත. එවැනි දේ කෙරුනේ, පල්ලිය ලඟ සිංහල ඉස්කෝලේ වූ ශාන්ත ජෝශප් පිරිමි පාසල් ශාලාවේ ය. ආඬි ටිකයි අම්බලමයි මෙන්ම සුදු ඇතා ද ආවේ එතනට ය. සුදු ඇතා ගෙන්වූ කාලයේ, විද්‍යා සංගමයේ ලේඛම් වූ කළු ලිවේරා, ලඟ පාත නැති වෙලාවට අපි අපි අතර නම් හැඳින්වුනේ, කළු ඇතා කියලා ය. වැල්ල පාරේ, ලිවේරලාගේ ගෙදරට හැරෙන තැන පොල් ගස් දෙකක් හරහා, බැඳ තිබූ සුදු ඇතා ආවට පස්සේ බැනර් එක නාට්‍යය පෙන්වා කලක් යනතුරුත් එහෙමම තිබුණාත් මට මතක ය. දෙදාස් දහයේ දී අපේ අයියාගේ භූමදානය වෙලේ අන්තිමට හමුවූ ලිවේරා අද වෙද්දී අපෙන් සමුගෙන ගොසිනි.
කලා කාරයෙක් හා නාට්‍ය කාරයෙක් වූ, පැන්ටලියන් සර්, ශිෂ්‍ය ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සංගම්, ක්‍රීඩා ආදි කටයුතු, පොතේ පතේ අධ්‍යාපනය මෙන්ම ඉහලින් තබා ඇගයූ පුද්ගලයෙක් වූයේ ය. මේ වෙනස පාසල පුරාම යම් නැවුම් වෙනසකට තුඩු දුන්නේයි ආපහු හැරී බලද්දී අදටත් මම දකිමි. පාසලේ පොදු නීති රීතිවල වෙනස්කම් කරන්නට පෙර, සෑම පංතියකම පංති නායකයින් ගෙන්වා ඒ ගැන සාකච්ඡා කරන්නට සතියකට දෙකකට වරක් හමුවක් ඇරඹුණි. අපේ පංතියේ පංති නායකයා නොහොත් මොනිටර් වූ මාත් සහභාගි වූ මේ රැස්වීමට, විදුහල්පති තුමා, සපත්තු මේස් අනිවාර්ය කිරීමට යෝජනා කල හැටිත්, ශිෂ්‍ය නායකයින්ගේ ප්‍රති විරෝධී අදහස් දැක්වීම් මැද ඒ යෝජනාව අකුලාගත් හැටිත් අදටත් මතකය. අපි කවුරුත් පැළඳි බාටා ජෝඩුව ඒ නිසාම තවත් කලක් අපේ ඉස්කෝලේ නිල පාවහන් ලෙස පැවතුනේය.
මේ වෙනස්කම් මැද්දේ, අළුත් විදුහල්පතිතුමා පාසලේ විද්‍යා සංගමය අමතා දේශනයක් පැවැත්වීම, එතෙක් පැවති චර්යාවන් හා සසඳන විට, තවත් නැවුම් ක්‍රියාවක් විය. විද්‍යා සංගමයේ මහා සභා රැස්වීම් පැවැත්වුනේ, භෙෘතික විද්‍යාගාරයේය. දිග මේස අතරට, පංති කාමරවලින් පුටු ගෙනැවිත් තබා, විද්‍යා පංති හත අටේ සිසුන් සියළු දෙනාම හා ගුරුවරුන් සියළු දෙනාම වාගේ වාඩිවී, හිටගෙන, දොරවල් වලින් එබීගෙන ආදි වශයෙන් එක් රැස් කරන්නට මේ කාමරයේ ඉඩකඩ සෑහුණි. පහලම පංතිවල සිසුන් වීමේ වරමින්, ඉස්සරහම මේසයේ වාඩි වී සිටින්නට අපේ පංතියට අවස්ථාව ලැබුණු අතර, ඒ මේසයේ මැද්දෑවට වෙන්නට, මමත් නිරංජනුත්, ශාන්තිත්, ජයේත්, වාඩි වී සිටියෙමු.
අළුත් පාර්ලිමේන්තූවේ රාජාසන කතාව කරන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ආ දවසේ මෙන්, හමුදා මුරාචාර ආදිය නොතිබුණත්, තැනට ගැලපෙන උත්සව ශ්‍රීයක් එදා අපේ විද්‍යා සංගම් රැස්වීමේත් තිබුණු අතර, අළුත් ප්‍රින්සිපල් සර් ට එකඑල්ලේ වාඩිවී, මූණ බලා සිටින්නට වීමේ යම් ආකාර චකිතයකුත් අප හැම කෙනෙකුටම දැණුනාය කියාත් මතකය. ඒ එසේ වුනත්, මේ අළුත් පිනා ගැන යම් ආකාරයක කුතුහලයකුත්, ආපු දවසේම සිද්ධවූ සිඟාල සංග්‍රහය හින්දා දෝ, යම් පමණක 'ඩෝන්ට් කෙයා' ආකල්පයකුත් අපේ හිත්වල නොතිබුණාම නොවේ යැයි කියාත් හිතෙයි.
විද්‍යා සංගමයේ සභාපති ලේකම්ලා ගේත් සර්ලා, මිස්ලාගේත් ආලවට්ටම් හැඳින්වීම්, පිළිගැනීම් හා හඳුන්වා දීම් වලින් පස්සේ, දවසේ උධෘතංකය වු, පැන්ටලියන් සර් ගේ කතාව ආරම්භ විය. එදා එතුමාගේ කතාවේ හරය වූයේ, පාසලක විද්‍යා ශිෂ්‍යයින්, ගුරුවරුන් හට වුව ද, යම් තරමකින්, විද්‍යාත්මක පර්යේෂණ වල යෙදීමේ හැකියාවත්, එමගින්, පොත පතේ න්‍යාය ධර්මයන් හැදෑරීමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික මෙන්ම ඵලදායි හා බොහෝවිට නවමු සොයාගැනීම් කරා වුව යොමුවෙන්නට තරම් සාර්ථක විය හැකි අධ්‍යයනයන් කිරිමේ අවස්ථාවත් තිබෙන බවය. මේ තර්කය ගොඩ නගන්නට පාදක කර ගනු ලැබුුුයේ, එතුමා ඉහතින් විදුහල්පති ධූරය හෙබ වූ පාසලක විද්‍යා ගුරුවරියක්, සිසුන් හා එක්ව කරනු ලැබූ එවැනි පර්යේෂණ දාමයක ක්‍රියාකාරකම් හා ප්‍රතිඵල විය. මේ පාසැල කිසියම් උඩරට ප්‍රදේශයක පාසලක් වූ අතර, එම පර්යේෂණය පලාතට වැදගත් වූ බෝගයක් යැයි සිතිය හැකි, බෝංචි සම්බන්ධව කෙරුනක් බව ද සඳහන් විය. එකම ගැටළුව වූයේ කහපාට බෝංචිවල ප්‍රචලිත නාමය 'බටර් බෝංචි' බව විදුහල්පති තුමාගේ මතකයේ පැහැදිලිව සටහන් වී තිබුණත්, කොළපාට බෝංචි වර්ගයේ, ප්‍රචලිත නාමය නම්, දෙතුන් වරක් උත්සාහ කලත් මතකයට නගා ගැනීමට නොහැකි වීම යි.
එවැනි ප්‍රශ්නවලට උත්තර දැනගෙන හිටියත් මැදින් පැන අත්වැල් ගායනය අපේ ඉස්කෝල වල ඒ දවස්වල පැවති චර්යා ධර්ම පද්ධතියට තරම් නොවන දෙයක් බැවින් ද, එයිටත් වඩා එහෙම ඉලිප්පීම, නවයේ දහයේ සොක්කන් වූ අපට නම් තරම් නොවනම දෙයක් වූ බැවින් ද, ලඟ සිටි නිරංජන්ගේ කනට කර 'මුරුංගා බෝංචි' කියනවාට වඩා ක්‍රියාවක් කරන්නට මට පුළුවන් වූයේ ද නැත. නොදැනම හිටියා ද මන් දා, නැත්නම්, වැඩ පෙන්නන්න ගොස් වච්චල් වෙන්නට බයේ ද මන් දා, එදා ගුරු මේසයේ එහා පැත්තේ, ප්‍රින්සිපල් සර් දෙපැත්තේ වාඩි වී සිටි, අපේ විද්‍යා සර්ලා මිස්ලා ටත් මුරුංගා බෝංචි නාමය පසක් වූයේ ද, නැත.
පැන්ටලියන් සර්ගේ වේවැලේ සුමට ස්පර්ශය මා පසක් කෙරුවේ ඔයි රැස්වීමෙන් දවස් කීපයකට පස්සේ ය. ඉස්කෝලේ උඩ තට්ටුවේ අපේ පංතියේ සිට, පහල තට්ටුවේ විද්‍යාගාරයට යන්නට, දෙන්න දෙන්නා පෝලිමට හැදී, පඩිපෙල බහින අපේ පංතියේ කොල්ලන්ගේ සතුටු සාමිචි කතා බහේ, සංඛ්‍යාත පරාසය, සාමාන්‍ය මිනිස් ශ්‍රව්‍ය පථයෙන් ඔබ්බට විහිදීමේ ප්‍රතිඵලය වූයේ, පඩිපෙල පාමුල එහා කාමරයේ කාර්යාලය පවත්වාගෙන ගිය විදුහල්පති තුමාව නිරායාසයෙන්ම, ඉස්තෝප්පුවට ලඟා කර වීමය. නිකම්ම අත්දෙක වන වනා ගමන්යෑම, තරම් නොවූ බැවින්, එයා ආවේ, වේවැලත් වඩම්මවා ගෙනමය.
එසේ සැදී පැහැදී සිටියත්, මෙවැනි අවස්ථාවල නිරනුමානයෙන්ම සිද්ධවනාකාරයට, ආයුධ සන්නද්දවූ එවන් අයෝමය පුරුෂකායක් යාන්තමට නෙත ගැටුනු වහාම, අපේ කොල්ලන්ගේ සියළු එෆ්. එම්. නාලිකා වල විදුලිය කප්පාදු වීම හේතුවෙන්, වාචාල කමට කටමැත දොඩව දොඩවා පඩිපෙල බැස්ස එකදු කොල්ලෙක්වත් අල්ලා ගන්නට එතුමාට අවස්ථාවක් ලැබුනේ නම් නැත.
මූණ විතරක් පෙන්නා පසුබැසීම නුපුරුදු දෙයක් වූ නිසාදෝ මන්දා, කොලු පේලිය ඉස්තෝප්පුවේ නැවැත්වූ විදුහල්පති තුමා, පංති නායකයාට ඉස්සරහට එන්නැයි අණ කල අතර, අළුත් පංතියේ මොනිටර් විදිහට, ඒ ආරාධනය පිළිගෙන, ඉදිරියට පැමිණ, "මේ තරම් සියුමැලි ද වේවැල්..." පාඩම ඉගෙන ගන්නට සිදුවුනේ පංතියේ සියළු දෙනාම පේලියට ගිය පසු, පස්සෙන්ම ආ මටය.
පැන්ටලියන් සර්ගේ වේවැල් පාරවල් හතර පහ, මට දරාගන්නට බැරි වේදනාවක් නොවූ නමුත්, ඒ හැමේකක්ම, පන්තියේ කොල්ලන් බොහෝ දෙනෙකුගේ හිත් හරහා ද වැදුනු බව නම් හැමෝගේම මුහුණු වල සටහන් වී තිබුණා අදටත් මතකය. පසු වේලාවල පසුතැවිලි කතා කියූ බොහෝ දෙනෙකු අතරින්, කඳුළු පිරි දෙනෙතින්, "මං කිව්වා මුන්ට... මං කිව්වා මුන්ට... ඇහුවෙ නෑ නේ" කියූ පුල්ලේ ගේ මුහුණ කවදාවත් මට අමතක වන්නේ නැත.
ඉස්කෝලේ ඉස් ඉස්සෙල්ලාම පැන්ටලියන් සර්ගෙන් වේවැල් පාරක් ලද එකා මමයැයි සිතන එක චුට්ටං ආඩම්බරයක් නොවෙනවාම නොවෙන නමුත්, එයින් වැඩි කාලයක් යන්නට කලින්, දැනුම මිනුම තරඟ, සිංහල දින, ඉංග්‍රීසි දින තරඟාදියත්, සාමාන්‍ය පෙල ප්‍රතිඵලත් නිසා, එතුමාත් යම් තරමක ආඩම්බරයකින් කතා කරන ශිෂ්‍යයෙක් වෙන්නට පුළුවන් වීම ගැන නම් එයිටත් වඩා ආඩම්බරයක් හිතේ තිබෙයි.
ඔය සිදුවීම් වලින් පස්සේ දවසක, මොකක් හෝ කරුණකට විදුහල්පති කාර්යාලයට ගිය අවස්ථාවක, චුට්ටක් ඉන්නය කියා, කට්ටියෙන් වෙන්කරලා, "අර විද්‍යා සංගමේ රැස්වීම දවසේ, තමුසේ මගේ කතාව අස්සේ, ලඟ හිටපු ළමයාට 'මූ බොරු කියනවා' යි" කිව්වා නේ දැයි පැන්ටලියන් සර් ඇහූ අවස්ථාවේ "නෑ, එහෙම දෙයක් කිව්වේ නෑ" කියනවාට වඩා අගමුල ගලපා ගැනීමට මට නොහැකි වූ අතර, මේ විශ්ලේෂණයට මුරුංගා බෝංචි වල සම්බන්ධතාවය පසක් වුනේ, එයින් කාලයකට පසුව ය.
කවදාකම හෝ, සර් එක්ක කතාබහ කරන වෙලාවක, මේ කතාවල් කියන්නට හිතේ තියාගන හිටි නමුත්, කටයුතු සිද්ධ වූ හැටියෙන්, ඒකට කවමදාකවත් අවස්ථාවක් ලැබුණේ නම් නැත. ආයේ කිසිම දවසක ලැබෙන්නේත් නැත.
එදා විද්‍යා සංගමය අමතා, පැන්ටලියන් සර් කිවූ, බෝංචි කතාවෙන් යම් ධෛර්යයක් ලැබ, පොතේ පතෙන් බාහිර ක්‍රියාකාරකම් කිරීමට යොමුවූ විද්‍යා ගුරුවරුන් කිහිප දෙනෙක් ගැන මතක අතර, ඒ අංශයෙන් ඉදිරියටම ගිය, පොල් මීරා වලින් සුදු සීනි නිපදවන ක්‍රමවේදය නිර්මාණය කල 'සීනි මිස්' යැයි අපේ කොල්ලන් හැඳින්වූ මිස් තෙරෙස්ගේ නම නම් මෙතන ලියා තැබිය යුතුමය.