අපේ ගෙදර දඬුවම් ක්රම කීපයක් තිබුණි. ප්රධාන දණ්ඩනය පේර කෝටුව වූ අතර ( වත්ත පුරාම පේර පැල තිබීමත් මේකට හේතුවක් වෙන්නට ඇත), දීර්ඝ කාලීන දඬුවම් අතර සාලේ සුරුවම ඉස්සරහා දණගසා සිටීම ප්රචලිතම එකක් විය. තාත්තා තඩි ගන්නා තුරු ඔළුව නොසොල්වා සිටීම හෝ පහුකලක තාත්තාගේ හිසේ සුදු කෙස් ගස් ගැලවීම හෝ තාත්තාගේ පිටේ කසන තැන හරියටම කැසීම වැනි භයානක දඬුවම් නොවුවත්, දණගසා පමනක් නොව අත් දෙකත් දික්කරාන දණගසා සිටීම නම්..... ඔය සමාර අපේස්සකයින් රැස්වීමක කතා කරනවාට වඩා අසීරු එකක් බව කිවමනා නොවේ.
පාසල් නිවාඩුවට වරක්වත් මේ ඉරියව්වෙන් රතු ලාම්පුවෙන් එළියවුනු ක්රිස්තු තුමන්ගේ දිව්‍ය හෘදය එක්ක තනිපංගලම් වීම අපේ පුංචිකාලවල මිහිරිතම මොහොතවල් සේ සදා සිහිපත් කරන්නට පුළුවන.
ඉතින් ඔහොම දණගහලා කුරුසේ ඇණ ගහලා හිටපු දවසක, අනෙක් උන් හැම එකාම සීසීකඩේ වත්තේ පිටියේ ගෙදර ඉස්තෝප්පු දිගේ දුව පනින සද්ද අහලා අහලා ඇතිම වුනු වෙලාවක අහල පහලින් ගිය පොඩි නංගීට කතාකර, පපුව රිදෙනවා කියා අම්මාට පණිවිඩයක් යැව්වෙමි.
එසැණින් මා එතෙක් කල සියළු යාච්ඤාවන්ට පිලිතුරු ලැබුණේය.... "කෝ කොතනද?" අහාන ආපු අම්මාට පෙන්නූ පරිදිම, මුළු පපුවම පුරා සිද්ධාර්ථය ගාලා, එදා රාත්රියම සාලේ පැදුරක නිදා ගන්නටත්, පහුවදා දොස්තර ෆීලික්ස් ප්රනාන්දුගේ ක්ලිනික් යන්නටත් තරමට මට දේවාශිර්වාද ලැබී තිබුණි. එයා නම් "මේක මසල් පේන් එකක් වගේ, වින්ටජෙනෝ ටිකක් ගාලා දවසක් දෙකක් බලන්ඩ" කිව්වා මිස මං හිතාන උන්නු හැට්යට, එක්ස්රේ අරගෙන ශල්‍ය කර්මයක් කරන්නට හෝ නේවාසිකව රෝහල් ගත වන්නට නිර්දේශ කලේ නැත.
තව දවසක් දෙකක් විතර ඒ රිදිල්ල තියා ගන්නට මා සමත් වූ නිසා, හවසට කරෝලිස් මුදලාලිගේ කඩෙන් පාන් ගෙනියන බැසිල් බාප්පා කැට බනිස් අරන් අපේ ගෙදරත් ආයේය.
ළමයෙක් වුණාම සිද්ධාර්තෙ ගාගෙන පැදුරක ඇලවෙලා ඉන්නෙකේත් සීමාවක් ත්යෙන හින්දා...ම ලෙඩේ සනීප කරගන්නට සිද්ධ වුණත්, සතියකට විතර පස්සේ ආච්චිලාගේ ගෙදර ග්ය වහාම උන්දෑ ඇහුවේ "ඇන්ජලා පපුවේ රිදිල්ල හොඳටම හොඳැයිද දැන්" කියලාය.
අපටත් දේවාශිර්වාද තිබුණු කාලයක් තිබුණා මෙයා....!