Friday, May 22, 2020

බේබි මහත්තයා ‌ගේ තානාපති පත්වීම....

Share it Please


"මන්ත්‍රීවරු මිල වෙච්ච ආකාරය..., මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙ මිල ගණන් කැඳවීම් කලාන‍ෙ. හරියට මේ ටෙන්ඩර් දැම්ම වගේ තමයි උනේ මං හිතන්නෙ.. ඉතින් ඒකෙදි... මං පුද්ගලිකවම දන්නව සමහර අය මිලියන් පන්සීය ඉල්ලුවයි කියල මට දැන ගන්ඩ තියෙනව. සාමාන්‍යයෙන්, මගෙ දේශපාලන ජීවිතේ මම මේ... ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුටවත් මේ... රුපියලක්වත් දීලත් නෑ, දෙන්ඩ කතා කරලත් නෑ, දෙන්නෙත් නෑ. මන්ත්‍රීවරුන්ට... රුපියල් ශත වලින්.... වටිනාකම් ඇතිවුනා...  කියන කථාව මම ඇහුවෙ, ඉස්සෙල්ලම හැට හතරෙ ලේක් හවුස් පණතට සී. පී. ද සිල්වා මහත්මයා සහ කණ්ඩායම බණ්ඩාරනායක මැතිණිගෙ ආණ්ඩුවෙන් වෙන්වෙලා ගියාට පස්සෙ. මේ තත්වෙදි මං හිතන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයට එකසිය දහතුන හදාගන්ඩ බැරිවෙච්ච කාරණෙ වුනේ ඔය... මිල ගණන් ඉහලයාම. ඒ උඩ තමයි මේක...  මේ විදිහෙ තත්වයක් ඇති වුනේ...  මේ අවුලක් ඇති වුනේ...; නැත්තං, මහින්ද රාජපක්ෂ මහත්තයට එකසිය දහතුන හදාගන්ඩ තිබුණ නං; මේ මාස එකහමාරක් මේ ප්‍රශ්නේ මෙහෙම ඇදෙන්නේත් නෑ..., ‍මෙහෙම දේශපාලන අර්බුධයකුත් නෑ.., මෙහෙම දේශපාලන නොසන්සුන්තාවයකුත් නෑ....." - මෛත්‍රිපාල සිරිසේන (2018 දෙසැම්බර්)

අපේ තාත්තාගේ මහප්පා, නයිනාමඩමේ ඉත්තවන් රාළහාමි ය. එයා ‌‌‌ගේ පුතා වූ හියු ප්‍රනාන්දු, ස්වාධීනව ඡන්දය ඉල්ලා නාත්තණ්ඩිය ආසනයෙන් පනස් හයේ දී, ශ්‍රීමත් ඇල්බර්ට් එෆ්. පීරිස් ව පරද්දා පාර්ලිමේන්තු ගියේය. ඔය කියන කාලයේ වෙන්නප්පුව කියා ආසනයක් නොතිබුනු අතර, දෙයියන්ගේ ලෙඩක් හැදිලා ගෙදර ඇඳේ හිටත්, දහ අවුරුද්දක් වයස්වූ දූ සිඟිත්ත, අයිවි ආන්ටිව රැස්වීම් වල කතා කරන්ඩ යවලා කෙරුණාය කියන ඔය ඡන්දය දකින්නට මා නම් ඉපදිලාවත් හිටියේ නැත.

හියු ප්‍රනාන්දු
එයිටත් වඩා, ජන්මාන්තර යූ.ඇන්ඩ් පී. කාරයින් වූ අපේ තාත්තලාගේ කට්ටිය, ඇල්බර්ට් පීරිස් මහත්තයාගේ පිරිවර වූ නිසාත්, ඒ කාලේ කඩවසම් තරුණයා ව උන්නු අපේ තාත්තාත් රූපකාය අතින් චුට්ටක් හියු මහත්තයා වගේ වූ නිසාත්, එයා නැග්ගේ නම් ඇල්බර්ට් එෆ්. පීරිස්ගේ ඡන්ද රැස්වීම් වේදිකා වලටය. එහෙම නගිද්දී.... 'මේං හියු ප්‍රනාන්දුත් මෙදා පොටේ අලියට සපෝට්' ය කියලා එනවුන්ස් කරපු එව්වා ගැන කයිවාරුත් මම අසා තිබෙමි.

අර බණ්ඩාරනායක මහත්තයා කියා තිබෙනාකාරයට දේශපාලනයත් ගලන ගඟකි. එයිටත් වඩා ගංවතුර කාලයට උතුරලා මඩ ගොහොරු වන්නාවූ ගඟකි. ඔය එව්වා මෙව්වා හින්දා, පණස් හයේ ස්වාධිනෙන් ගිය හියු ප්‍රනාන්දු, බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩුවට සම්බන්ධ වූයේය. මෙව්වා ගැන ඉතිහාසය හරියාකාර දන්නේ නැතත්, ඔය කියන කාලවල, පාර්ලිමේන්තුවේ කථානායක පදවිය දරපු, ඒ හින්දාම පක්ෂය අතෑරලා ස්වාධීන වුනු මන්ත්‍රීවරයාට විරුද්ධව ඊළඟ ඡන්දයේදී, අනෙක් දේශපාලන පක්ෂ, අපේක්ෂකයින් ඉදිරිපත් නොකරන සිරිතක් තිබුණා කියාත්, ඇත්තටම සිරිලංකා වුනත්, සිරිලංකා කියා නොඉල්ලා හියු ප්‍රනාන්දු ස්වාධීන වුනේ ඒ හින්දා වෙන්නට ඇති කියාත් යාන්තං සැකයක් මගේ හිතේ තිබෙයි.

අනික් අතට තමුන් රස්සාවෙන් ගුරුවරයකු වූවත්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ සඟ කෑල්ල, බහුතරය කත‍ෝලික වූ, අපේ ගම් පලාත්වල ඒ තරංම ලේසියෙන් දිරවන ජාතියේ ඇපල් ගෙඩියක් නොවූ නිසාත්, මේ විදිහෙන් ස්වාධීන වීම එක්තරා වාසියක් වෙන්නටත් ඇත. ඔයින් පස්සේ පණස්හයේ විප්ලවයට වෙඩි වැදී, ඊලඟට ආ, හැටේ ඡන්දයේ දී වෙන්නප්පුව ආසනයෙන් ෆෙස්ටස් පෙරේරා පරදවා පාර්ලිමේන්තු යද්දී අත ලකුණින් තරඟ කල හියු, සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ කථානායක ධූරයට පත්ව, හැටහතරේ අග ලේක්හවුස් ජනසතු පනත ගෙනා රාජාසන කථාවට එරෙහිව, සී.පී.ද සිල්වාලාත් එක්ක, මැතිණිගේ පිටිපස්සට පිහියෙන් ඇනලා ආණ්ඩුව වට්ටවන්නට, කථානායකට උරුම තීරක ඡන්දය පාවිච්චි කළේය.

ඒ පෙරළියෙන් පස්සේ හියු මහත්තයා, අතෙන් අලියාට මාරුවී පාකිස්ථානයේ තානාපති හැටියට පත්ව ගිය අතර, හැට පහේ ඡන්දයෙන්, හියුගේ පුරප්පාඩුවට අත ලකුණින් තරඟ කරපු අගුස්තීනු ෆොන්සේකා අලියාගෙන් න‍ොමිනේෂන් ලැබූ  වෙන්නප්පුවේ ෆෙස්ටස් පෙරේරාට පරාද විය.

හැට පහේ ඡන්දය ලංකා ඉතිහාසයේ එක්තරා ආකාරයකට, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගොස් හදාගත් ශ්‍රීලනිපයත් සමග නැගී ආ අර කලින් සඳහන්වූ පණස් හයේ කූඨ ප්‍රාප්ත වූ, පංචමහා බලවේගය‍ේ හුලං බස්සා, රටේ නායකත්වය සිය උරුමය සේ හිත‍ේ තියාන හිටි ධනපති රදළ හා ඉහල මධ්‍යම පංති ක‍ොට්ඨාස සිය ආධිපත්‍යය නැවත තහවුරු කරගත්තාවූ අවස්ථ‍ාවක් ල‍ෙසද සිතිය හැකිය.

ෆෙස්ටස් පෙරේරා

ඔය චන්දය කාලයේ එක් එක් ගම්පලාත්වල යමක් කරන්නට කියන්නට පුළු පුළුවන් අයගේ ගෙවල් වල හවස් යාම‍වල්වල  තිබුණු වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසය‍ේ යූ.එන්.පී. සංවිධායක මණ්ඩලවල සමහර රැස්වීම්වලට අපේ තාත්තා එක්ක මටත් යන්නට වුනේ, මට මතක හැටියට කොල්ලන් දෙන්නාවම ගෙදර දාලා ගියොත්, පොඩ්ඩියක් වූ ලොකු නංගීවත් බලාන අපි දෙන්නාව ආම්බාං කරන්නට අම්මාට තිබුණු අසීරුකම් නිසා වෙන්නට පුළුවන.

එවකට අවුරුදු අටක විතර කොල්ලෙක් වූ මට හොඳින්ම මතක තියෙන්නේ, මා ඔය අයිනේ අස්සයින් දෙන්නෙකුත් හිටි මහා විශාල මන්දීරයක පෝටිකෝව පිරෙන්නට පුටු තියා කට්ටිය වාඩිවී සිටි රැස්වීමක මැදක් හරියේ සම්මාදම එකතු කරන්නට වටේට යැවුණු, කළු ට‍ොප්හැට් එකය. ඒකට දැමුනේ කවරය. කවර කිව්වේ බරට මුදල් හෝ චෙක්පත්, පුරවා, දායකයාගේ නම ගම ලියාපු කවරය.... නිරනුමානවම, ඔය ගණන් හිලව්, ඡන්දයෙන් පස්සේ ඉතා වැදගත් වෙයි. ඒවා ප්‍රදේශීය හයිකාර පිරිස, රටේ නායකත්වයට සම්බන්ධ කරන්නාවූ, රැහැන්; වඩාත් නිවැරදිව කි‍වහොත් තෝන් ලණු; වෙයි.

මෙවැනි සංවිධානයන්ගේ සම්බන්ධීකරණයට වඩාත් උචිත පිරිස වූයේ පලාත්බද ධනවතුන්ගේ දූ පුතුන්ව ඉපිද, එවකට ප්‍රචලිත ඉංග්‍රීසි පාසල්වලින් අධ්‍යාපනය ලබා, රටේ ‘රාජ්‍ය භාෂාව‘ වූ ඉංග්‍රිසියෙන් කතාබහ කරන්නට මෙන්ම, රාජ්‍ය තන්ත්‍රයේ ඉහල තැන්වලට බය නැතුව ගිහින් බොහෝවිට ‘අයිසේ‘ හෝ එයිටත් එහාට ගොස් ‘යූ බගර්‘ මට්ටමින් කතා බහ කරන්නට තරම් හයිය තිබෙන සම්බන්ධකම් හා පෞරුෂයක් හදා ගත්තු පිරිසය. නිරනුමානයෙන්ම, නයිනාමඩමේ කොහුමෝල් පොල්මෝල් හිමි ව්‍යාපාරික, මෝනි ගම මහත්තයාගේ ලොකු පුතාව ඉපිද, කොළඹ සැන් බෙනඩික් කොලීජියේ, නුවර කටුගස්තොට සැන් ඇන්තනිස් කොලීජියේ පාසල් සමය ගතකල අපේ තාත්තා, ඔය කියන පැලැන්තියට කෙලින්ම ගැලපෙන චරිතයක් වූයේ ය.

ඡන්දය දිනා පාර්ලිමේන්තුවේ තනතුරු බෙදාගෙන ගම්බිම් බලා යන්නට කොළඹ පුත්තලම් පාරේ ආ එජාප මැති ඇමති ගොල්ල පිළිගැනීමට,  බස්නාහිරෙන්, වයඹ වෙන්කරන මා ඔය පැන්න හැටියේ, තෝප්පුව හංදියේ අති විශාල උත්සවයක් සංවිධානය වූ අතර, පාලම අයිනේ උණ පඳුරු වල එල්ලා තිබූ රතිඤ්ඤා වැල් අඩුම ගානේ අඩි හතලිහක් පණහක් වත් දිගට තියෙන්නට ඇත. පාලමෙන් එහා පැත්තේ දී, වාහන වලින් බැස්ස, මැති ඇමැත්තයින්ට බෙල්ල පිරෙන්නට මල් මාල දමා, පාළම උඩින් මෙහා පැත්තට ගෙනාවේ අලි ඇතුන්, නැට්ටුවන් බෙර කාරයින්, පිනුම් ගසන්නන්, සංගීත කණ්ඩායම්, සරඹ කණ්ඩායම් ආදී මෙකී නොකී විච්චූරණ සියල්ල අඩංගු වූ මහා පෙරහැරකිනි. වේදිකාව තිබුණේ  පාලම පැත්තට ඇලේට මූණ ලා තෝප්පුව හන්දියේ  මූද පැත්තේ මුල්ලේය. දැන් එතන කෝප් සිටියක්ය කියා ගූගල් සිතියම කියයි.

ඔය කියන උත්සවයේ, පාරේ කට්ටිය හැසිරෙව්වේ, මැද්දෑවේ කළුගස් තිබුණු සුදු රැවුලත්, කළු කණ්නාඩි දෙකත් නිසාම මට අමතක නොවන, බීඩ් සුවාමි ය. මෙගෆෝනයක් කරේ එල්ලාගත් ෆාදර් බීඩ්, කට්ටිය පෙළ ගස්සන්නට අණ දෙමින්, මහ පාර මැද්දේ ජයග්‍රාහී කඩිනමකින් එහා මෙහා යනවාත්, ඒ අතර වාරයේ හමුවන මුණ ගැහෙන දන්නාඳුනන කට්ටියට කට පුරා හිනා වී ඇයි හොඳයි කියනවාත් මට මතක තියේ. රතිඤ්ඤා වැල් පත්තු වුනේ, සැරින් සැරේටය.... එක් එක් ආසනවල අළුත් මන්ත්‍රීලා වේදිකාවේ මයික්‍රපෝනය ලඟට එද්දී, ඒ ඒ ආසනවල රතිඤ්ඤා වැල් පත්තුවුනා වෙන්නට පුළුවන. ඔය අස්සේ, පෙරහැරට ආ, අලි ඇතුන්, වේදිකාව ඉස්සරහට ඇවිත්, අළුත් ආණ්ඩුවේ අපේ නියෝජිතයින්ට දණ නමස්කාර කිරිල්ලකුත් සිද්ධ වූ බවත් මතකය.

එදා එතන හිටි මැති ඇමති රොත්ත අතරින්, තිස් හතර හැවිරිදි නීතීඥ ෆෙස්ටස් පෙරේරා, බොහෝවිට ලාබාලම එක්කෙනා වෙන්නට ඇත. එදා රැස්වීම අමතන්නට, ඡන්දය නොඉල්ලුවත්, ආණ්ඩුව පෙරලූ වීරයා වූ හියු ප්‍රනාන්දු ආවාදැයි මට නිච්චියක් නැත. නෑවිත් ඉන්නට හේතුවක් නැතිය කියා නම් සිතෙයි. දුම්මලදෙණියේ පන්සල් හන්දිය කිට්ටුව රැස්වීමක, හියු ප්‍රනාන්දු කතා කරනවා අසාගෙන කල්පනාකාරීව බලාසිටි තාත්තාගේ මුහුණ නම් මගේ සිතේ ඇඳී තිබේ. මට හිතෙන හැටියට ඒ රැස්වීම බොහෝවිට, හැටපහේ ඡන්දයට පෙර, ෆෙස්ටස් පෙරේරාට සහයෝගය ලබාගැනීමට සංවිධානය කල එකක් විය යුතුය.

නාත්තණ්ඩිය ආසනය ජයගත් තලත්තෑනි දේශපාලකයා වූ, ඇල්බට් එෆ්. පීරිස්, හැටපහේ ආණ්ඩුවේත් කථානායක වූයේය. එදා තෝප්පුවේ රැස්වීමේ දී,  ඇල්බට් පීරිස් මහත්තයා, කථානායක හින්දා පාර්ලිමේන්තුවේ කථාකරන්ඩ බැරි වුණත්, පළාතට වැඩ කරන්නට ඒක බාධාවක් නොවේය වාගේ කතාවක් කිව්වාත් මතකය. මොන මොන විදිහේ අතයට පිණුම් සිදුවුනාදැයි නොදන්නා නමුත්, ඔය වකවානුවල පක්ෂ දේශපාලනය දේශපාලන පක්ෂයට පක්ෂපාතී වීමේ දේශපාලනයක්ව තිබීමත්, 1951 සිට 56 වෙනතුරුත් කථානායක වූ, එවකට හැටපස්වෙනි වියේ පසුවූ, මහරැජිණ අතින්  ඕ.බී.ඊ. නාමධාරීව ශ්‍රීමත්වූ, පට්ටියපතිරන්නැහැලාගේ ඇල්බට් ෆෙඩ්රික් පීරිස් මැතිඳුන්ට නැවතත් කථානායක ධූරයම භාර ගන්නට හේතුවන්නට ඇත.

එසේ වුවත්, අවුරුදු දෙකකින් විතර, ඇල්බට් එෆ්. පීරිස් මයාට, කථානායක කම අත හරින්නට සිදුවිය. එතුමා නවසිය හැටහතේ සැප්තැම්බරයේ අභාවප්‍රාප්ත විය. හමුදා සෙබළුන් හතර දෙනෙක් රයිෆලයත් අල්ලාගෙන, බිමට බරකර ගත් හිසින්, නොසැලී නොසෙල්වී හුස්මත් නොවට්ටා, ගල් රූප සේ ඉන්නවා මා මුලින්ම දැක්කේ, ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහත්තයාගේ දේහය,  නාත්තණ්ඩියේ එතුමාගේ නිවසේ තැන්පත් කර තිබූ දිනයේ ය. එදා එතුමාගේ අන්තිම ජයග්‍රහණය දවසේ, වෙන්නප්පුව ආසනය දිනා, තෝප්පුව හන්දියේ වේදිකාවේ හිටි, තරුණ නීතිඥයා, තමුන්ගේ ගේ කිට්ටුවෙන්ම වාගේ වෙන්නප්පුවේ ඉදිකල ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණය හැරෙන්නට, එතුමාගේ නම සඳහන් වෙන තැන් තවත් තියේදැයි නොදනිමි.

බලයේ ඉන්නා ආණ්ඩුවකට අතුරු මැතිවරණයක් යනු, විශේෂයෙන් අතේ තිබුණු ආසනයක අතුරු මැතිවරණයක් යනු එක්තරා ආකාරයක හිසරදයක් වෙයි. හත් කට්ටියකගේ හවුල් ආණ්ඩුවක් වූ හැටපහේ ඩඩ්ලි ආණ්ඩුව නාත්තණ්ඩියේ එ.ජා.ප. පුටුවට අළුත් මූණක් එල්ලා අවදානමක් ගන්නට නොසිතුවා වෙන්නට පුළුවන. එසේත් නැතහොත්, ආණ්ඩුව පෙරලූ හිලව්වේ ණයට තානාපති කමක් අරන් සීන් එකෙන් අයින් වෙන්නට තරම්, හියු ප්‍රනාන්දු ලද බොළඳ නොවූවා වෙන්නටත් පුළුවන. ඔය කියන වකවානුවේ අපේ පළාත් වල අතට ඡන්දය දුන්නේ අලින්ට කඹුරන ඇත් ගොව්වන් මිස අලි නොවන බැවින්, එසේ තානාපති කමට මහජන නියෝජිත කම වික්කා නම්, ඒක අදටත් හිරිකිතව ලියවෙන අපරාධයක් ද වන්නේය. අනෙක් අතින්, ඉස්කෝල ආණ්ඩුවට අරගත්, සිරිමා ආණ්ඩුව පෙරලා දැමූ වීරයා වීම, ‍කතෝලික ඡන්ද ඇද ගැනීමේ චුම්බකයක් වුනායි හිතන්නට ඉඩ ඇතත්, නාත්තණ්ඩිය ආසනයට ඒ සාධකය කොයිතරම් බලපෑවා ද යන්න සැක සහිතය.

ඉතින්, නාත්තණ්ඩියට එ.ජා.ප. අපේක්ෂකයා වෙන්නට, හියු ප්‍රනාන්දු ආපහු දේශපාලනයට ආයේ ය. ඒ එද්දී ගෙනා සංකේත දෙකක් තිබුණි. එකක් රත්තරන් පාටට හුරු ෆොක්ස්වැගන් කාර් එකකි. අනික බෙන්ස් කාර් එකකි. සිරිමා ආණ්ඩුවෙන් තිත තැබූ, අළුත් වාහන ගෙන්නිල්ල, එහෙන් මෙහෙන් එක දෙක වැහි බිංදු හැටියට නැවත ඇරඹුණු ඔය කාලයේ, අළුත්ම වාහන අංක පහ ශ්‍රී වූ  අතර, පහ ශ්‍රී විස්සයි විස්ස වූ, ෆොක්ස්වැගන් බීටලය, අර බෙන්ස් එකටත් වඩා කැපී පෙනෙන වාහනයක් වූයේ, ඒ කාලේ නාඹර තරුණ වයසේ සිටි, හියු ප්‍රනාන්දුගේ කනිටු පුත්, රියෙන්සි ප්‍රනාන්දුගේ වාහනය ලෙසයි. රියෙන්සි, එවකට නයිනාමඩමේ තරුණ කණ්ඩායමේ නායකයෙක් වී යැයි හැඳින්වුවද වරදක් නොවේ.

මහප්පාග‍ේ පුතා වූ මුත්, ඒ තාක් කල් ජන්මාන්තර දේශපාලන විරුද්ධකාරයා වූ, හියු ප්‍රනාන්දු අලියා ඉස්සර කරගෙන මේ විදිහෙන් නාත්තණ්ඩියට ප්‍රාදුර්භූත වීම නෑදෑ හිතවත්කමුත් අතැර දා යූ ඇන්ඩ් පී දේශපාලනය කල අපේ තාත්තාට නම් ඇල්ලුවේ නැත. එයා සියළු කරුණු කාරණා ගලපා, තවත් කීප දෙනෙකුගේත් දායකත්වයෙන්, මේ පැරෂූට් වැඩේට විරුද්ධව එ.ජා.ප. නායක කාරකාරාදීන්ට ලියුමක් ලිව්වාය කියාත් මගේ මතකයේ තිබේ. මෙව්වා, ලඟින් ඉන්දවාගෙන තේරුම් බේරුම් ඇතුව කියා පහදා දුන් කාරණා නොව, ලොකු අයගේ ඔඩොක්කුවල, පය පාමුල බිම දිගාවී ඉන්නා වෙලාවල, ඇහේ කණේ වැදී සටහන්වූ කාරණා බැවින් ඔව්වායේ සත්‍යවාදී බව නම් සහතික කරන්නට බැරිය. එමෙන්ම, මේ සිද්ධිවල අපි නොදන්නා, තිරය පිටුපස කතා හා අතීත සිද්ධීන් කොතෙකුත් තියෙන්නට හැකි බැවින්, මෙහෙම දෙයකුත් වුනා කියන්නාවූ කාරණය මිස, එව්වා හරි ද වැරදිද හොඳද නරක ද වැනි විශ්ලේෂණ විග්‍රහ, හිතීමේ හෙවීමේ වැදගත් කමක් නැත.

දේශපාලන තීන්දු තීරණ ගැනෙන්නේ දේශපාලන උවමනා එපාකම් අනුවම මිස, ජනතා හිත සුව සඳහා නොවන බවට සාක්ෂි ලෝකයේ ඕනෑම රටක දේශපාලන ඉතිහාසය තුලින් සොයාගන්නට පුළුවන. එහි අවසාන ඉලක්කය සෑම විටම බලය රැකගැනීම වන අතර, මහා පරිමාණයෙන් සාකච්ඡා කෙරෙන්නාවූ හෝ ක්‍රියාත්මක කෙරෙන්නාවූ සමාජ සංවර්ධන හා සුබ සාධන කාර්යයන්ගේ ප්‍රමුඛත්ව නිර්ණය කෙරෙන සාධකය වන්නේ ද, ඒ ක්‍රියාමාර්ග තුලින් බලය ලබා ගැනීමට හෝ රැක ගැනීමට ලැබෙන්නාවූ රුකුලේ ප්‍රමාණය වෙයි.

හියු ප්‍රනාන්දු, නවසිය හැට අටේ නාත්තණ්ඩිය අතුරු මැතිවරණය ජයගෙන ඩඩ්ලි ආණ්ඩුවේ, වාණිජ හා වෙළඳ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට සම්පූර්ණ නිල කාලය වූ පස් වසර පිරූ ප්‍රථම රජය වූ හැට පහේ ඩඩ්ලි රජය එයින් අවුරුදු දෙකකට පසුව හැත්තෑවේ මැතිවරණයට මුහුණ දෙන්නේ, අවුරුදු පහක් තිස්සේ, යටපත්ව තිබූ, පණස්හයේ රැල්ලත්, රටේ ප්‍රධාන වාමාංශික ප්‍රවාහයන් වූ, එන්. එම්. ගේ සමසමාජය හා කේනමන් ගේ කොමියුනිස්ට් පක්ෂත් අත්වැල් බැඳගත් ප්‍රතිවාදී පෙරමුණකටය. මේ අළුත් තුන්හවුල එක් අතකින් ඒ වනවිට දේවත්වයට ඔසවා තිබූ බණ්ඩාරනායක නාමය හා බණ්ඩාරනායක  ප්‍රතිපත්තිත්, අනික් අතින් 'සා දුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියාව් අන්තිම සටනට සැරසියාව්' කිවූ දෑකැති මිටි කොඩියත් අමෝරාගෙන සිටියේ ය. මේ සියල්ල පසුපස සිටින ධනවාදී නූල් සූත්තරය ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා විජේවීරගේ චේ ගුවේරා කාරයින් රට පුරා රැස්වීම් මාලාවක් සංවිධානය කලත්, ඔවුන් ඒ මැතිවරණය තරඟ නොකල අතර, එයට ප්‍රධාන හේතුව ප්‍රශ්නයට පිළිතුර සන්නද්ධ විප්ලවයක් පමණක්මය යන්න ඇදහීම බව රට පසක් කරගන්නේ එයිනුත් වසරකට පසුවය.

හැටපහේ සිට හැත්තෑව වෙනතුරු, වෙන්නප්පුව සුළු නගර සභාවේ මැම්බර් කමත්, ගොවිකාරක සභා හා තරුණ සංගම් ආදී නා නා ප්‍රකාර දේශපාලන ව්‍යාපාරාදියේ පදවි තානාන්තරත් රස්සාව කරගත්තු බේබි මහත්තයාට, ඔය අවුරුදු පහේ දී, කස කාරයින් යවන්නේ පාරේ ඉඩ හදවා ගන්නට මිසක්කා, පෙරහැර යන මාර්ගය තේරීමට නොවේය යන්න ඉත සිතින් පහදා ගන්නට ඕනෑ තරම් අවස්ථාවන් ලැබී තිබුණේ ය.
ඔයින් මෙයින්...  කියන්නට තියන දේ කියන්නට, සුද්දාග‍ේ ඉංගිරිසි මෙන්ම, වැල්ලේ කුණුහරුපත් හොඳාකාරව දැනහිටි, කටින් වාගේම අතින් පයිනුත් කතා කරන්නට බය නැති 'බේබි', දෙදාහේ ඡන්දයට පෙරහැර පටන්ගන්නා කාලය වෙද්දී, එජාප යාන්ත්‍රණයේ හෙලවෙන දතක් වී සිටියේය.

මේ කාල වකවානුව ඇතුලත, එකම පක්ෂයකට, එකම ආණ්ඩුවකට පංගාර්තුව හිටියත්, මේ ඇවැස්ස අයිය මලෝ දෙන්නා අතර, යම් යම් රාජකාරි කටයුතු වලදී මුණ ගැහුනු තැන් වලදී සිදුවුනු ඇයි හොඳයි කීමු ත්, ගමේ පවුලේ මගුල් තුලා මරණ වලදී හමුවූවොත් කෙරෙන සාමිචිත් මිස එයින් එහා ගිය යාළු මිත්‍රකම් කෙසේ වෙතත් නෑදෑ කම් කීමේවත් යම් දියුණුවක් වූවා යි මට මතකයක් නැත.

ලිප පත්තුවී ‍තැටිය රත්වෙන කාලය එද්දී, නා නා ප්‍රකාර යෝජනා කතා බහ අරන් අපේ ගෙදරට එන පණිවිඩකාරයින් අතරට 'හියු මහත්තයා' ගේ පණිවිඩ කාරයෙකුත් එක්කාසු වී සිටියේය. සතියකට දෙතුන් සැරයක් ලැබුණු මේ පණිවිඩ වලින් කියවුනේ, බේබි මහත්තයාට තානාපති කමක් දෙන්නට හියු මහත්තයා කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ ගැන කතා බහ කර ගන්නට ඇවිත් හමුවෙන්නැයි කියූ බවත් ය.

මේවා, නිකම්ම අරයා මේම කියන්ඩ කිව්වා ජාතියේ පණිවිඩ නොවේ. ඒවාට පිටු දහ පාලොහක පෙරවදන් ද, පිටු තුන්සීයක හාරසීයක පසු වදන් ද අඩංගු වෙයි. ඒ අතර වාරයේ කතන්දරයට හූමිටි තියන්නට තාත්තා දමන වචනයක් දෙකක් හින්දා, අර පිටු තුන්සීයෙන් දෙසිය පණහක් විතර ආපහු පෙරලීමත් සිදු වෙයි. මේවා එන්නේත් අපේ බාප්පලාගේ ගෙදර, බාප්පලාගේ පොල්මෝලේ ලියන මහත්තයා, එයාට එන්න වාහනේ පදවාන එන රියදුරු මහත්තයා ආදී වශයෙන් සමාජ ජාල අඩවි ක්‍රියාකාරිකයින් හත් අට දෙනෙකු හරහා හින් දා, අපේ ගෙදර අය වචනයක්වත් අහන්නට කලින්, ප්‍රාදේශීය දේශපාලන ප්‍රවෘත්ති විකාශන සියල්ලේම වාග‍ේ, හියු මහත්තයා, බේබි මහත්තයාට තානාපති කමක් දීලා යි හෙඩ්ලයින් වැ‍ටී තිබේ.

මට මතක හැටියට, ඔය, 'අතීතයේ ගිලිහී ගිය....සතුට රැගෙන යලි වඩින්න.... ආරාධනා... ආරාධනා...' රැල්ලේ තවත් පියවරක් ලෙස දවසක්, කොහේ හෝ පූර්ව ඡන්ද රැස්වීමක් ප්‍රචාරණය කරමින් ගිය ලවුඩ්ස්පීකර් බැඳපු මෝටර් රථයක්, අපේ ගේ ඉස්සරහ කොළඹ හලාවත මහපාරේ නතර කර, 'එක්සත් ජාතික පක්ෂයේ පථා‍ක යෝධයෙක් වූ' අපේ තාත්තාගේ ශ්‍රී විභූතිය පිළිබඳව වර්ණනාවක ද යෙදුනේය. අම්මා නම් කිව්වේ ඔය එනවුන්සර්, නයිනමඩමේ විස්සෝප පල්ලියේ සංක්‍රිස්තියන් හැටියටත් කටයුතු කල, විලියොං අයියාග‍ේ පොඩි පුතා, කොලින් කැමල් කියාය.

මේ කියන කාලයේ, සා.පෙ. පංතිවල හිටි මට, 'අපි පිටරට ගියොත්' වාගේ මාතෘකා යටතේ නා නා ප්‍රකාර සිතිවිලි කල්පනා පහල නොවුනාමත් නොවෙයි. එසේ නමුත් දේශපාලනයේ පොරොන්දු, අපරොන්දු හා කැරට් අල පිළිබඳව සැලකිය යුතු දැනුමක් තිබූ අපේ ගෙදර අය එවැනි දේවල් ගැන හීන මැවූයේ වත්, ඉඳහිටක කියවුණු සාවඥ විහිළු තහළුවක් මිස, කිසිම ගැඹුරකින් කතා බහ කලේත් නැතියැයි මගේ මතකය යි.

බේබි මහත්තයාටත් උඩ පැනගෙන ගිහින් තානාපතිකම අරන් එන්නට තරම් ගායක් තිබුණේ නැත. මේ ගොඩපෙරකදෝරු යෝජනාවල තේරුම, ඒ වෙද්දීත් සමහර හවස් ජාමයක, අපේ ගෙදර අන්ධකාර ඉස්සරහ සාලයේ වාඩිවී, සිරි ලංකාවෙන් වෙන්නප්පුවට නොමිනේෂන් ලබා හිටි අගුස්තීනු ෆොන්සේකා එක්ක කෙරුණු කතා බහ, සාකච්ඡා ගැන, ඉවක් ඉඟියක් මෙදා පොටේ ජාම බේරා ගන්නේ කොහොමදැයි කල්පනා කරන, අලි මොල වලට සේන්දු වී තිබිම බව එයා දැන ඉන්නට ඇත.

හියු මහත්තයා හමුවෙන්නට බේබි මහත්තයා දෙවරක් ගිය බව මතකය. එයින් එක් වරක් කොළඹ ගෝල්ෆේස් හෝටලයේ හෝ එවැනි තැනක බව කියනවා මතකය. කමක් ඵලක් ඇති තීරණයක් තීන්දුවක්, අඩුම ගානේ පවුල් පවුල් අතර නෑදෑ සම්බන්ධකම් චුට්ටක් වැඩි දියුණු වෙන තරමේ වත් පියවරක් ඒ හමුවීම් වලින් ඵල දැරුවේ නැත. එදා ක්‍රියාත්මක වූ දේශපාලන යාන්ත්‍රණය තුල, බාප්පාගේ මල්ලීට තානාපති කමක් දී තම මැතිවරණ ජයග්‍රහණය ස්ථිර කරගන්නට තරම් හයි හත්තියක්, අතෙන් පාර්ලිමේන්තු ගිහින් අලියාට පැන්න හියු ප්‍රනාන්දු ට නොතිබුණා වන්නටත් පුළුවන.

අපේ තාත්තා, මා දන්නා කාලයේ සිට ඇඳි සුදු කලිසම කෝට් එක ගලවා තියා, නිල් ඉර පොප්ලින් ජාතික ඇඳුම හැඳ, නයිනාමඩමේ ගංගොඩ පල්ලිය පැත්ත‍ේ පැවැත්වුනු අගුස්තීනු ෆොන්සේකා ගේ ඡන්ද රැස්වීම් වේදිකාවකට ගොඩ වූයේය. එදා හිට එයා ජාතික ඇඳුම් කාරයකු වූ අතර, ඒ හැත්තෑවේ නිල් රතු රැල්ලට අසුවූ, ෆෙස්ටස් අංකල්, ඊළඟ අවුරුදු හතෙන් වැඩි හරියක් ගත කලේ ගෙදර ගේට්ටුව ලඟ පාරේ යන එන්නන් එක්ක කතා බහ කරමින්ය. නෑ කමට මගේ මහප්පා කෙනෙක්යැයි කියන්නට හැකි හියු අංකල් මට මතක හැටියට ඒ අවුරුදු හත බොහෝ දුරට ගෙව්වේ, නයිනාමඩමේ ජනතාව අතරය කියා මගේ මතකයයි. නාත්තණ්ඩිය ආසනය, අතෙන් ඡන්දය දිනූ, ප්‍රෝටස් තිසේරා ට ගියේ ය.

හැත්තෑ හතේ දී, ඩඩ්ලි එලවා එජාපය අතට ගත් ජේ.ආර්. තුනට කැඩුණු තුන් හවුල පරාජය කර පත්තිරිප්පුවට නැගි වේලාවේ, නාත්තණ්ඩියේ අළුත් අලියා, හැරල්ඩ් හේරත් විය.

අපේ තාත්තා, බේබි මහත්තයාට, ඔය දූපතෙන් එළියට පය තියන්නට අවස්ථාවක් ලැබුණේ නැත.







2 comments:

  1. නියමයි ලොකු අයියා.. හීනයක් වගේ මේ කාලේ.. පෙස්ටස් පෙරේරල කියන්නේ ජෙනුයින් දේශපාලක පැලැන්තියේ අන්තිම පුරුක්. ධීවර ඇමති ඉන්න කාලේ මම අමාත්යන්ශේ දී දැකල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අගය කලාට තුති. රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම පාහේ දේශපාලනය පහුගිය කාලයේ වේගයෙන් වෙනස් වුනායි හිතෙනවා.

      Delete

Blogroll

About