Saturday, May 27, 2017

ජීවානුහරණයට ක්ලෝරීන්

Share it Please
ගංවතුර කාලයට මතක්  වෙන  දෙයක්. 2016 තියපු සටහනක්.

මේක සුනාමි කාලේ ලිං වල ජීවානුහරණය සදහා ක්ලෝරීන් බ්ලීච් සාදා ගන්න අපි යෝජනා  කරපු සරල උපක්‍රමයක්. ගංවතුරින් පසු පිරිසිදු කිරීම් සදහාත් ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන් හිතන නිසා මෙතන එල්ලන්න හිතුවා. සීමිත පිරිසක් සදහා.
රසායන විද්‍යාව පිළිබදව යම් තරමක දැනීමක් ඇති අයට අත්හදාබලන්නට පුළුවනි. මට දැනගන්න ලැබුණු තරමින් වෙළදපල පරිමාණයෙන් ක්ලෝරින් බ්ලීච් නිපදවන ආයතන කීපයක් දැන් ලංකාවේ තිබෙනවා. ඒ නිසා ප්‍රථම පියවර එවැනි නිෂ්පාදනයක් ලබාගත හැකිද යන්න සොයා බැලීම විය යුතුයි.
සාමාන්‍ය ලුණු ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයෙන් සෝඩියම් හයිපක්ලෝරයිට් ද්‍රාවණයක් සාදා ගන්නට පුළුවන්. සාන්ද්‍රණය වෙනත් ක්‍රමවලින් නිපදවන වෙළද පලේ ඇති ක්ලෝරින් ද්‍රාවණ තරම්ම නූනත්, විශබීජ නාශකයක් ලෙස ප්‍රමාණවත් ක්ලෝරින් ප්‍රමාණයක් අඩංගු ද්‍රාවණයක් වැඩි කරදරයකින් තොරව සාදා ගත හැකියි. මේ ක්‍රියාවලියේ දී නිපදවෙන ක්ලෝරීන් 'වායුව' කෙලින්ම ආශ්වාස කිරීම මාරාන්තික විය හැකියි. ඒ නිසා, අසල වාතයට මුදා හැරෙන ක්ලෝරීන් ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න. විදුලි පංකාවක් අහලක තියාගෙන වායු සංසරණය වැඩි කිරීම යොදාගත හැකි එක් ආරක්ෂක උපක්‍රමයක්. නිපදවෙන අනිත් වායුව හයිඩ්‍රජන්. ගිනි ගැනීම වාගේම ස්ඵෝටනය වන වායුවක්. කිසි ආකාරයක ගිනි පුලිඟු ඇතිවන කාර්යයක්, ලඟ පාතක කරන්න එපා. සිගරට් බීම විශේෂයෙන්ම. විදුලි පංකාව මෙහිදීත් ප්‍රයෝජනවත්.
ලුණු ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයේ දී, එක් ඉලෙක්ට්‍රෝඩයක් (අැනෝඩය) මත ක්ලෝරීන් නිපදවෙන අතර, අනික් ඉලෙක්ට්‍රෝඩය (කැතෝඩය) මත හයිඩ්‍රජන් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවෙනවා. ක්ලෝරින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාවෙන් සෝඩියම් හයිපක්ලෝරයිට් හා හයිප ක්ලෝරස් අම්ලය හැදෙනවා.
අපේ සරල උපකරණය, විදුලි පන්දම් කෝෂයක කාබන් කූරු දෙකක් ඉලෙක්ට්‍රෝඩ ලෙස යොදාගන්නවා. මේ පින්තූර වල අැත්තේ එවැනි කාබන් කූරු දෙකක් ප්ලාස්ටික් පිහියක දෙපැත්තේ සෙලෝටේප් වලින් අවුණලා හදා ගත්ත සරල මෙවලමක්.
ලුණු ද්‍රාවණය සෑදුවේ වතුර මිලි ලීටර 100 කට ලුණු ග්‍රෑම් 25ක් දියකරලා. ලුණු සාන්ද්‍රනය 25% පමණ වීම වැදගත්.
වෝල්ට් 9 බැටරියක් පාවිච්චි කර විනාඩි 15 පමණ විද්‍යුත් විච්ඡේදනය කල පසු ලැබෙන ද්‍රාවණය මිලි ලීටර 500කට තනුක කලවිට එහි ක්ලෝරීන් සාන්ද්‍රණය ලීටරයට මිලිග්‍රෑම් 300 පමණ වූවා. අාහාර පිසින උපකරණවල විෂබීජ නාශනයට නිර්දේශ කරන්නේ ලීටරයට මිලිග්‍රෑම් 200 පමණ සාන්ද්‍රනයක්.
වැදගත් දෙයක් නම් විද්‍යුත් විච්ඡේදනය සිදුවන කාලය පුරාම ද්‍රාවණය කැලතීමයි. නැත්නම් නිපදවෙන ක්ලෝරින්, වායුවක් ලෙස පිටවී යන්නට පුළුවනි. එමෙන්ම භාජනයට මුහුණ ලංකිරීමෙන් වලකින්න. ක්ලෝරින් වායුව නිසා.
අවශ්‍ය අවම වෝල්ට් ගනන හතරක් පමණ. සාමාන්‍ය 1.5 කෝෂ තුනක් යොදාගන්නත් පුළුවනි. පවර් පැක් එකක් පාවිච්චි කරන්නත් පුළුවනි, නමුත් කොපමණ විදුලි ධාරාවක් අැදෙනවාද යන්න ගැන පරිස්සම් වෙන්න. උවමනාවට වඩා ප්‍රබල විදුලි ධාරාවක් අැදුනොත් ගිනිගැනීමක් මෙන්ම පවර් පැක් එක පිච්චී යාමත් වෙන්න පුළුවන්.
සිදුවන ප්‍රතික්‍රියා පිළිබද විස්තරයක් මෙතන-
http://chemed.chem.purdue.edu/…/topicr…/bp/ch20/faraday.php…
අාහාර පිසීමට භාවිතාවන භාජන ජීවානුහරණය පිළිබද සටහනක් මෙතන-
http://ucfoodsafety.ucdavis.edu/files/26437.pdf







3 comments:

  1. මේ ක්‍රම ටිකක් හරි රසායන විද්‍යාව දැනුමක් ඇති අයෙක් මිසක් අනිත් ය කරන එක ටිකක් අනතුරුදායක වගේ නැත්ද?

    ReplyDelete
  2. ටිකක් කලබල දවස් නිසා මෙතැනට එන්න වෙන්නේ යලට මහට වීම ගැන කමන්න.
    මේ විද්‍යුත් විච්ඡේදන වැඩ මං අත්හදා බැළුවේ සාමාන්‍ය පෙල දී විතර. ඒ පමණ විද්‍යා දැනුමක් මේ වැඩේට ප්‍රමාණවත්ය යන්න මගේ නම් අදහසයි. වාතාශ්‍රය ඇති එලිමහනක වැඩ කිරීම, විදුලි පංකාවක් තිබීම වැනි දේ පිලිපදිනවා නම් බරපතල අනතුරක් වීමේ හැකියාව අවමයි.
    වැදගත්ම දේ ඕනෑම දෙයක් පමණට වැඩි වීම අනතුරකට මුල බව දැන හඳුනාගෙන හිඳීමයි.
    දැන් ගඟේ වතුර ගං වතුර වුනේත් එහෙම නෙ.

    ReplyDelete

Blogroll

About