Sunday, February 11, 2018

එහෙත් ඡන්දෙ .... එහෙත් ඡන්දෙ ... මිලානෝ පැත්තෙද ඉන්නෙ?

Share it Please
මෝදරගේ වාස්ලා, මෝදර ඉඳලා හැමිල්ටන් ඇල දිගේ ඇවිත්, ගිං ඔය දිගේ ඇවිල්ලා, නයිනාමඩමේ හණතොටුපල තොටුපල හරියේ බැහැලා, ඉස් ඉස්සෙල්ලාම මහ ගේ හදාන තිබුණේ, අම්මලාගේ කුඹුරු කෑලි වලට උඩහින් වත්තේ, මහා රූස්ස සියඹලා ගහක් තිබුණු තැනට චුට්ටක් මෙහායින් කියා, අපේ අම්මාගේ ඉතිහාස කතා වල කියවෙනවා මට මතකය. රෑ පාන්දර, ඇහැ පියාගන්ඩ බැරිකමට නැගිටලා ඇවිත් තේ කෝපි හදන අම්මා, පොරවන් හිටපු සරොං පොරෝනාත් පොරෝගන ඇවිත් මේසෙ වටේ වාඩිවෙන අපට කියන ඔය ඉතිහාස කතා, සෙල්ලිපි වලින්වත්, මහා වංශය, දීප වංශය, චූල වංශය, පල්ලියේ පොත වාගේ ඉතිහාස කතා පොත් වලවත් ලියැවී නැති, කටින් කට එන කටකතාම හින්දා, ස්ථිර සාක්ෂි නං හොයා ගන්නට අමාරුය.

දැන් ආයේත් කල්පනා කර බැළුවාම, හැමිල්ටන් ඇල හැදුනේ ලන්දේසි ආවාටත් පස්සේ නිසා, භක්තිමත් කතෝලිකයෝ වුනු මෝදරගේ වාස්ලා, ඔය ඇල දිගේ හණ තොටුපලට පල්ලං බහින්නට ඇත්තේ ලන්දේසි කාලේ බවත්, සමහරවිට ලන්දේසි ආණ්ඩුවේ අඩං තේට්ටං හින්දා වෙන්නට ඇති බවත් හිතේ. තාත්තා නිසා ප්‍රනාන්දු වූ මට කවමදාකවත්, මෝදර පැත්තේ ඇවිදලා, එහේ තාමත් මෝදර ගේ ලා ඉන්නවා ද නැද්ද හොයා බලන්නට හිතුණේත් නැති බැවින්, අම්මාගේ අර කතාවේ හරි වැරදි බලන්නට කවමදාකවත් බැරි විය. එහේ නැතිවුනත්, නයිනාමඩමේ නම් අම්මලාගේ පරම්පරාව වූ මෝදරගේ වාස්ලා ඇති තරම් සිටිති.

හයවෙනි පංතියට ජෝශප්වාස් විද්‍යාලයට ඇතුළු වූ මගේ පංතියේත් අපේ අම්මලාගේ කට්ටියේ මෝදරගේ වාස් කෙනෙක් සිටියේය. මගේ පංතියේ හිටි මගේම නෑයා වූ, නිරංජනුත් මමත්, මට මතක හැටියට, දහවෙනි පංතියේ දී, වෙන්වෙන තුරුම, එක ඩබල් ඩෙස්ක් එකේ දෙපැත්තේ වාඩිවී හිටි හොඳම යාළුවෝ වූයෙමු. වැඩි කතා බහ නැති, නිරහංකාර ළමයකු වූ නිරංජන් මගේ හොඳම යාළුවාය යන්න අපේ ගෙවල් වල අයත් ඉතා ඉහලින් අගේ කල දෙයක් විී තිබුණි.

අක්කලාම කීප දෙනෙක් හිටි නිරංජන්ගේ අත් අකුරුත්, ඉස්කෝලේ පොත්වල වැඩත්, කවදත් මගේ වැඩ වලට වඩා පිළිවෙලට රටාවට සිද්ධ වෙයි. ගේබ්‍රියල් සර්ගේ භූගෝලය පාඩමේ දී අඳින්නට වෙන සිතියම් වල, මූද හරිය ලස්සණට ඉරි කෑලි හිටින්නට, පොතේ පිටුවට යටින් වේල් කෑල්ලක් තියා නිල්පාටින් පාට කරන විදිහ, මට කියා දුන්නේ නිරංජන් ය. විද්‍යා පාඩම් පොතේ, ඉලැක්ට්‍රික් බෙල් එක හදන කාලේ, කොහෙන් හෝ කවුරු හෝ ගෙනැවිත් දුන් ඒකටම හරිගැස්සූ දුනු පත්තක් අරන් ඇවිත්, හරියටම සද්දෙට වැදෙන බෙල් එකක් හදා තිබුණේත් නිරංජන් ය.

අපි දෙන්නාගේ අනිත් යාළුවා වූ වෙන්නප්පුවේ වැව අයිනේ ගෙවල් තිබුණු කිංස්ලි ඒ දවස්වල ගෙදර මිදුල පිරෙන්නම මාළු ටැංකි හදලා මාළු ඇතිකරන වැඩක් කරමින් සිටියේය. ඉස්කෝලේ ඉවර වී කිංස්ලිලාගේ ගෙදරත්, එතනින් ගිහින්, වැව අයිනේ කජු පුහුලං කැලෑවටත්, ඒ කිට්ටුවම පදිංචිව හිටි, ලවුඩ්ස්පීකර් කුලියට දුන් රේමන්ඩ් අයියලාගේ ගෙදරත් අපි ගිය ගමන් බිමනුත් මට මතක තියේ.

ඒ ගමන් බිමන් එහා මෙහා වී, ඕ ලෙවල්, ඒ ලෙවල් වී, කොළඹ කැම්පස් කාලේත්, පහුව අපි එහා මෙහා වුනත්, ගමේ පල්ලියේ දී, මග තොටේ දී මුණ ගැහෙන, දැක්ක තැනක් වේ නම් දුවං ඇවිත්, අත පතගා බදා ගෙන ආදරෙන් නෑදෑකං කියා කතා කරන නිරංජන්ලාගේ අම්මා, නිරංජන් ඉතාලි ගිය කතාත්, ඉතාලියේ විස්තරත්, ලේලිගේ මිණිපිරිගේ කතාත්, කියා කතාකර ඇති මුත්, ඒ කාල වලින් පස්සේ, නිරංජන් හා වචනයක් කතා කරන්නට ලැබුණේ නම්, එක දවසක හදිසි ගමනක් අතරතුරක, පාර අයිනේ වාහනය නවත්තාගෙන ගතකල පුංචි මොහොතක දෙකකදී ය.

එකම පංතියේ එක ඩෙස්කයේ දෙපැත්තේ වාඩිවී හිටි යාළුවන් වුනත්, අපි හැමෝම ලොකු මහත්වී දරුමල්ලන් හදා වඩා, අපේ ගමන් යමු. ඒත් අර නෑදෑකම්, මිත්‍රකම් ලේසියෙන් එහා මෙහා වෙන්නේ නැත. දිරාපත් වෙන්නේ ද නැත.

කලක හිට මුහුණු පොතෙන් දුක සැප බෙදා ගන්නා නිරංජන්, මේ මාර්තු මාසයේ මෙවර ඉතාලියේ පැවැත්වෙන පළාත් ඡන්දය සඳහා ලොම්බර්දියා පළාත වෙනුවෙන් PD පක්ෂයෙන් තරඟකරයි.

මගේ මේ පුංචි සටහන කියවන ඔබ හෝ ඔබ දන්නා අඳුනන කවුරුන් හෝ, ඒ පලාතේ ඉන්නවා නම්,  මගේ යාළුවා වෙනුවෙන් ඔබේ පුංචි කතිරය පාවිච්චි කරන්නැයි මගේ ඉල්ලීමයි මේ. අපේ යාළුවන්, විශේෂයෙන් නිරංජන් වගේ යාළුවන් වෙනුවෙන් මේ වගේ පුංචි උදව්වක් ඉල්ලන්නට, අපි නම් සල්ලි ගන්නේ නැත.


"මෙවර ඉතාලියේ පැවැත්වෙන පළාත් ඡන්දය සඳහා ලොම්බර්දියා පළාත වෙනුවෙන් PD පක්ෂයෙන් තරඟකිරීමට ශ්‍රී ලාංකිකයෙකු වන නිරන්ජන් වාස් මහතාට අවස්ථාව උදාවී ඇත. ඒ ශ්‍රී ලංකා පොදුජන කේන්ද්‍රය වෙත PD පක්ෂය විසින් ප්‍රධාන කරන ලද අපේක්ෂක දූරයෙනි. පළාත් ඡන්දයක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීමම සතුටට කරුණකි. මෙවර ඡන්දය කොට්ඨාශ මට්ටම පදනම් කරගනිමින් පැවැත්වෙන නිසා ඔහුට ජයග්‍රහනය කිරීමට අවශ්‍ය වනුයේ මිලානෝ දිස්ත්‍රික්කයේන් පමණි. එබැවින් අපි සියළු දෙනා එක්ව ඔයුගේ ජයග්‍රහණය තහවුරු කර ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ගේ ඉදිරි ගමන සුරක්ෂිත කර ගමු."



2 comments:

  1. හණතොටුපල , නයිනමඩම පැත්තේ ඉතිහාසය ගැන තව ලියන්න.

    Buona fortuna, Signore Waas !

    ReplyDelete
  2. කුලියපිටියටත් අපේ කතෝලික පිරිස ආව කියන්නෙ දංකොටුව, බෝලවත්ත පැත්තෙ ඉඳල වගා කරන්නලු. ඒකත් ඔය වගේම ඉතිහාස කතාවක් තමයි. මම නවකතාවෙදි ටිකක් ඒ ගැන ලිව්වා.

    ReplyDelete

Blogroll

About