Sunday, October 22, 2017

හිත ඇත්නම් පත කුඩා ද?

Share it Please

කවුරු කොහොම කිව්වත් ලිව්වත්, හිත තිබ්බ පමණින්ම පත ලොකු වෙන්නේ නැත. අනික් අතට කොච්චර ලොකු පතක් තිබ්බත් කෝඳුරු බෙට්ටක් තරංවත් හිතක් නැති එකෙකුට ඒ පත පතෙන් වැඩක් වෙන්නේත් නැත. වැඩක් වෙනවාට වඩා තවත් පරාණ රාසියකට අවැඩක් වෙන එකත් සිද්ධ වූ තැන් ඕනෑ තරම් තිබේ.

මේ හිතත් පතත් අතර ගණුදෙනුවේ අපට හරියාකාරව නූගැන්වෙන කොටසක් තිබේ. මෙතැන හිත කියන්නේ පත ලොකුකර ගැනීමේ හිත නැත්තං අභිප්‍රාය මිස, ලොකු පතක් ගැන උදේ හවා හූල්ලමින් දකින මනෝමූලික හීනයක් නොවේ. කොයි වලේ මෙන්ම මේ වලේත් ලේසියෙන්ම වැටෙන්නේ, දා හත දහාට වයසේ පොත්තෙන් ඇටය බේරෙන, පෙති දෙපෙති බේරෙන නාඹර තරුණ හිත් ය. මේකට ප්‍රධාන හේතුව මට හිතෙන හැටියට නං, අපටත් හිතක් තියනවාය යන්න හරියාකාරව සිග්නල් වෙන්නේ මේ වයසේ දී නිසාය. ඉතින් හිත ඇත්තං පත කුඩා නොවෙන්නේ කෝම ද?

මගේ ඔය සමය උදාවෙන්නේ මේ හෑල්ල කියවන බොහෝ දෙනෙක්ට වාගේ ම, උසස්පෙළ තරණය කරලා කොළඹ සරසවි ආ කාල වකවානුවේ ය. අර හිත හා පත මෙන්ම, ගෙදරින් ඇවිත් නවාතැනක නැවතී, තමුන්ගේම ජීවිතයක්, මං කියන්නේ එක්තරා අන්දමකට තමුන්ගේම ජීවිතයක්, ඇරඹීමේ නිදහසත් එකතු වුණාම, අර හිතත් පතත් පුරා නා නා ප්‍රකාර බිතු සිතුවම් මතුවී පෙනෙන්නට ගනී.

මේ ලියන්නේත් කලින් දවසක ලියූ 'අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා' වූ මං ගැනම ය. නැටුං සර්ගේ පාරුවේ පුවක් නිසා, එදා පාරු කවිය පිඹ ගන්නට බැරිවුනත්, හිත ඇත්නං පත කුඩාද අනුව යමින්, මගේ මේ හිල් බටයේ සංගීතය හොයා සැරි සැරීමේ කාරිය නම් නැවතුනේ නැත. ජයකොඩි සර්, සංධවනියෙන් පසු අපට සිංදු වලට මියුසික් පුරුදු කිරීමේ කාරියකුත් කලේ ය. අමරදේවගේ බඹරෙකු ආවයි නිරිත දිගේයා, ගීතය අපේම වාදන වෘන්දය සමග ඉස්කෝලේ සඳුදා රැස්වීමට ගායන කලේ මට මතක හැටියට ඒ කාලේ හයේ හෝ හතේ පන්තිවල මල්ලිලා ය. .

ඔය බඹරා සමග ආ අනෙක් සිංදුව මින්දද හී සර ය. නෑ මේක අනංග කතාවක් නොවේ. තනිකරම මියුසික් ස්ටෝරියකි. මාත් එක්කම ෆ්ලූට් එක පිඹින අපි තුන්දෙනෙක් සිටියෙමු. අනෙක් දෙන්නාගේම නමගම නම් මේ මොහොතේ සිහියට නොඑයි. එයින් හොඳම ෆ්ලූට් කාරයා පිම්බේ හයි ජී, නැත්තං උච්ච සප්තකයේ ස්වර නැගෙන යාන්තං වියතක් විතර වත් දිග නැති, පුංචි ඇඟිල්ලක් විතර නළාවකි. අනිත් අපි දෙන්නාටම තිබුණේ ජී ෆ්ලූට්ය. මේවායේ පහල ස්වර ගාම්භීර ගැඹුරකිනුත් උච්ච ස්වර පසාරු වෙන තියුණු බවකිනුත් පිඹින්නට හිත පත කෙසේ වෙතත්, හොඳට හුළං පිරෙන පපුවකුත්, සියුම්ලෙස පාලනය කලහැකි තොලකුත් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍යතාවයක් ලෙස අපි තේරුම් ගෙන සිටියෙමු. මේ හේතුව හින්දා වෙලාවක් ලැබෙන හැම වෙලේම මේකට හුළං පිඹීම අපේ විනෝදාංශය වූ අතර, එක එක සිදුරෙන් නැගෙන ස්වර සිහිතබා ගැනීමත්, විශේෂයෙන් හිලේ බාගයක් ඇඟිල්ලෙන් වසා පිඹින කෝමල හා තිව්‍ර මා ස්වර හරියටම  ඇල්ලීමත් අපේ අනාගත සිහින විමානවල බිත්ති පුරා වැටී තිබුණු සෙවනැලි බවට පත්වී තිබුණේ ය.

ඉතින් මින්දද හීසර ගහන්නට තැත්කවන කාලය වෙද්දී, බෙග්ගේ සිංදු කෑලිත්, මිල්ටන් පෙරේරාගේ සිංදු කෑලිත් එයිටත් අමතරව අපිම හදාගත් එක් එක් සංගීත ඛණ්ඩයනුත් අපේ ගෙවල්වල උන් තොරතෝංචියක් නැතුව අසා තිබුණි. මතක ඇති එක සිංදුවක් නම් 'කුමාරි ආදර මැදුරේ' ය. ඒක නං අද උනත් ඕනෑවට වඩා හවස්වෙලා ගෙදර යන්න වෙන දවසකට වගේ කියන්නට පුළුවන් ජාතියේ සිංදුවකි. අනුමානයක් නැතුව ප්‍රේමකීර්ති මේක ලියන්න ඇත්තේ අත්දැකීමකින්ම කියලාත් හිතේ.



මේ සියල්ලෙන් පස්සේ කැම්පස් යන කාලේ වෙද්දී, අර පත කෙසේ වෙතත් හිත නං පිරී ඉතිරී, මගේ හිතේත් තිබුනේ එක්තරා විදිහක ෆ්ලූට් කාරයෙක්ගේම හිතිවිලිය. ඉතින් ඇඳුම් කැඩුම් එක්ක මගේ ජී ෆ්ලූට් එකත්, තාත්තා අරන් දී තිබුණු සී ෆ්ලූට් එකත් කොළඹ ආයේ ය. කොමන් රූම් එකේ වැඩිපුර කවුරුවත් නැති හැන්දෑවල, මගේ මින්දද හී සර අහපු රසිකයෝත් එකෙක් දෙන්නෙක් වත් සිටියෝය. දැන් වාගේ අතේ කටේ සාක්කුවේ රුවාගන කණට කළාඳුරු කැට ඔබාගන සිංදු අහන මෙවලම් නොතිබුණු ඒ කාලයේ, යාන්තං හිල් බටයක හුළං අතුල්ලන මටත් අපේ විද්‍යා පීඨයේ සමහරු සංගීත කාරයකුට වගේ සලකන ගතියක් ඇතිවී තිබුණි. මතක ඇති තරමින්, ෆ්ලූට් එක පිම්ඹ අනිත් එකා එරල් ය. ඒත් පිඹිනවාට වඩා, තරමක් පදම් වී, මට කියා සංගීතයක් ගස්සවා එන්ජෝයි කිරීම හතර පස් වතාවක් සිද්ධ වුනා මට මතකය.

ඔයින් මෙයින් පළමු වසරේ අවසාන කාලය වෙද්දී, අපේ බැච් එකේ ෆ්ලූට් කාරයෙක් ලෙස, විශේෂයෙන් මගේ වාදනයක් කවදාවත් නොඇසූ කාණ්ඩ අතර යම් තරමක නමක් දිනා ගන්නට මට හැකිවී තිබුණි. විද්‍යා පීඨයේ වාර්ෂික සංගීත සන්ධ්‍යාව හා අපරදිග නැටුම් සංකලනය වූ තමාෂා ව සංවිධානය කරන්නේ ඒ අවුරුද්දේ ශිෂ්‍ය සංගම් බලය අතේ තියන දෙවන වසරේ සිසුවෝය. මේකට කෑලි දෙකකි. තවමත් එහෙම යැයි සිතමි. මුල් කෑල්ල, නව කලාගාරයේ සිංහල සම්භාව්‍ය සංගීත උත්සවයකි. දෙවෙනි කෑල්ල, කිං ජෝජ් හෝල් එකේ, බෑන්ඩ් එකක් හා නොන්ස්ටොප් සංගීතයකි.

අර නවකලාගාර කෑල්ලට, එදා ආවේ අමරදේව, වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ, සනත් නන්දසිරි, මල්කාන්ති, දයාරත්න වැනි ගායක ගායිකාවෝ ය. එ් ගොල්ලට සංගීතය දෙන්නට ආවේ බොහෝවිට ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයට අනුබද්ධ සංගීතඥයෝ ය. මේ අතරට එකතුවන අපේම අයත් එක්කෙනෙක් දෙන්නෙක් සෙල්ලං පෙන්වීම සිරිතකි. මේ චාන්ස් එක ලැබීමත් ගෞරවයකි. බැචාලා අතර තියෙන්නා වූ, පිළිගැනීමේ සංකේතය කි. ඉතින් කතාව කෙටියෙන් කියනවා නම්, අපේ පළමු වසරෙන් බටනලා වාදකයාව ස්ටේජ් එකට නග්ගන්නට කොහෙන් හෝ තීරණයක් ආයේය. මං හිතන හැටියට නම්,
"උඹලගේ කවුරුවත් නැද්ද මචං"
" අඩෝ... අරූ ෆ්ලූට් ගහනවා නේ ද? උගෙන් අහපන්"
වැනි කුමන්ත්‍රණයක් විය යුතු ය.

හිත ඇති එකා පත හොයා ගත යුත්තේ තමුන් දෑස් මානයට එන අවස්ථාවන් තුලින්ම ය. එහෙව් එකේ මෙහෙම චාන්ස් එකකට බෑ කියා යාළුවන් ගේ හිත් රිදවීම නොමනා නිසා, එදා මම තමාෂා ආවේ ෆ්ලූට් එකත් අරගනය.

ස්ටේජ් එකේ වාඩිවී සිටි සංගීත කාරයින් සිටියේ ගායකයා වාඩි ගන්නා කොට වේදිකා කෑල්ලට පස්සෙනි. ඉස්සරහින් හිටියේ තබ්ලාව වාදනය කල විජේරත්න රණතුංග ය. ඊලඟ අංකයට යන්නට සයිඩි තිරය අහල හිටි මගේත් විජේරත්න රණතුංගගේත් ඇස් හමුවී තිබුණි. හීන් හිනාවක් මතකය. ඉන්පස්සේ ඒ ඇඟිලි එහෙ මෙහෙ යන සුකුරුත්තමට හිත වශීවී ගියේය.

නම ගම වගතුග නිවේදනය කල පසු, නවකලාගාරය දෙදරුම් දෙනවාත් සමගම ගිහින් වේදිකාවේ  වාඩි ගන්නවාත්, ටිකක් ඇදලා පැදලා පලමු ස්වර ඛණ්ඩය පිඹිනවාත් මට මතකය. පිටි පස්සේ වයලීනයකින් ඒකට සප් එකක් දෙන්නට හීන් අඬක් නැගුණු අතර, විජේරත්න රණතුංග, අර හිනාවෙන්ම ඔළුව වනා මා දිරිමත් කරන ගමන්ම, තබ්ලා සප් එකත් ඇරඹී ය.

එයා වරද්ද ගත්තේ එතන දීය සිතමි. මුල් පද පේලි හතර පහේදීම උත්සාහ කලත්, මගේ ම කරගන මා වැයූ මින්දද හීසර වාදනයේ තාල් අල්ලා ගන්නට විජේරත්න රණතුංග ගත් උත්සාහය අසාර්ථක වී ගියේය. මෙයින් අතිශය උද්දාමයට පත් වූ, නවකලාගාරය පිිරී ඉතිරී සිටි ප්‍රේක්ෂක සොයුරු සොයුරියෝ, නොනැවතුනු හූ ඝෝෂාවකින් සිය අනුමැතිය පල කර සිටියහ.  අසරණ වූ විජේරත්න රණතුංග අර හීන් හිනාවත් එක්කම පරාජය භාරගෙන මෙන්, යාන්තං තබ්ලාව අතගාමින් නිහඬ වුනත්, මගේ වාදනය නැවතුනේ නම් දිගටම දිගටම දිගටම.... අන්තිම ස්වරය දක්වාම පිඹලා ය ඉන් පස්සේ ප්‍රේක්ෂකාගාරයටත් ආචාර කරලා නැගිට ඒ මෙනි.

එදා, මොනයම්ම හෝ හේතුවකින්, විජේරත්න රණතුංගයන්ට මගේ වාදනයේ තාල් හරියට අල්ලා ගන්නට ලැබුණා නම්....  කියන කාරණය අදටත් ඉඳහිට හිතට නැගෙයි.

හිත තිබුණාටම පත ලොකු වෙන්නේ නැත....

තාල් ඇතුව නලාව පිඹින්නට ඉගෙන ගැනීමත් අත්‍යවශ්‍යය කාරණයකි..

[ලාංකීය සංගීතඥයින් අතර විශිෂ්ඨතම තාල තරංග වාදකයකු වූ විජේරත්න රණතුංග 2011 සැප්තැම්බර් 17 දා අපහැර ගියේය.]


No comments:

Post a Comment

Blogroll

About