Friday, December 2, 2016

ප්‍රතිමතවාදී කුකුල්ලු දෙන්නා| දේශපාලනික උපමා කතාවකි - බූන්දි

Share it Please
The Ideological Chickens- ප්‍රතිමතවාදී කුකුල්ලු දෙන්නා| දේශපාලනික උපමා කතාවකි.

පරිවර්තනය-
Sandakantha | සඳකාන්ත
බූන්දි, සෙනසුරාදා, නොවැම්බර් 17, 2012 18:43:28



කිටි කිටියේ තදකර ඔබා තිබූ හිරකූඩුවලින් එළියට ඇද කම්හල් බාල්ක ඔස්සේ ඇදීයන දම්වැලේ රැඳවුනු යකඩ කොකු වල දෙපයින් එල්ලන්නට පෙරත් උහු දෙදෙන තර්ක කරමින් සිටියෝය. දක්ෂිණාංශික කුකුළාට K-127 කොක්ක හිමිවූ අතර වාමාංශික කුකුළාට K-128 කොක්ක හිමිවිය. උහු දෙදෙන තර්ක කරමින්ම කම්හල් අහස තරණය කරන්නට ගුවන් ගත වූහ. 

"බලන්න" දක්ෂිණාංශික කුකුළා ඇරඹීය "අපේ මිනී වල කපනවා යි ඔබ පුන පුනා තර්ක කළ වෙළඳපොල බලවේග විසින් ම අපිව නිදහස් කරලා දැන්...."

"සහෝදරයා... සහෝදරයා... උඹ කියන්නේ මේක නිදහස කියලාද? උඹ කියන්නේ මෙහෙම යදමින් බැඳ දැමූ දෙපා වලින් යකඩ කොක්කක එල්ලා දැමීම, නිදහස කියලා ද?"

"ඔය ඉතින්... වමේ ඔබලා කවමදාකවත් තෘප්තියට පත්වන්නේ නම් නැහැ. ඔබ ධනවාදී ක්‍රමයේ පිහිටෙන් නොමිලේම ගුවන් ගතවෙලා... අත්තටු හොලවන්නේවත් නැතිව...! නිදහසේ පියාසර කරන ගමන්ම තව අභූත චෝදනා ත් කරනවා; මේ ඉතාම පැහැදිලි සුළුතර අපහසුකම් ගැනත්! මතක තියාගන්න නිදහසට වුනත් මිලක් තියෙනවා. ඒක අපි හැමෝම ගෙවිය යුතුයි. ඔබේ අත්තටුවලට නිදහසේ සුළං වදින විට වත් දැනෙන්නෙ නැද්ද සතුටක්...?"

"සහෝදරයා... මට නිරතුරුවම දැනෙන්නේ මේ යාන්ත්‍රණයේ ලේ තැවරුණු රුදුරු දෑත් මත බලා සිටින අපේ භයානක වූ විනාශයේ සුවඳ පමණයි"වාමාංශික කුකුළා උත්තර දුන්නේය. "අන්ත දක්ෂිණාංශික උඹලාටත් ඒ සුවඳ දැනේවි උඹලා මේ ඒකාධිපති පාලන තන්ත්‍රයේ බෙර පද තාලයට නටන රූකඩ නොවුණා නම්...!"

"ඔන්න... ඔන්න ඉතින්... උඹ ආයෙත් මේ යන්තරය ගැන කුණුහරුපෙ පටන් අරන්... ! උඹලා හැමවෙලේම අසල්වැසි සෑම දෙනාටම සෙතක් වෙන විදිහට තමුන්ගේ වත්කම ආයෝජනය කරන ධනවත් පංතිය පිළිකුල් කරනවා. ඒ මදිවාට උඹලාට ඕනෑ ඔවුන්ගේ මුදල් හොරකම් කරගෙන උඹලාගේ අබලන් කූඩු සරසා ගන්නයි. වාමාංශික උඹලාට ඕනෑ සර්වබලධාරී මාක්ස්වාදී සමාජවාදයක්. උඹලා ඔනෑම තුරුම්පුවක් ගහයි ඒ ටික කරගන්න..!"

"බහු ජාතික සමාගම් වල යකඩ සපත්තු ලෙවකන, හිට්ලර් කාමී දක්ෂිණාංශික උඹලා වගේ ඒකාධිපතියන්ට අනෙක් උන්ගේ මොනම අදහස උනත් පේන්නේ සමාජ වාදය විදිහට. උඹලා අන්ධයි සහෝදරයා... උඹලාට පේන්නේ නැහැ මිත්‍රයා... උඹලා අදහන මිත්‍යා ආචාර ධර්ම සහ නීච ද්‍රව්‍ය වාදය විසින් මේ වහල් කම දෝත් බදා සතුටින් භාරගන්න තරම් උඹලාව රවට්ටලා විත්තිය. මම වැඩ කරන්නේ අත්තනෝමතික රජ දරුවන්ගේ හිතුවක්කාර පාලනයෙන් සියළුම කුකුළන් නිදහස් කර ගන්නයි...!"

"හා... හ්... එහෙම ද? මතක තියාගනින් මම ඉඩ තියන්නේ නැහැ කිසිම දවසක... අපේ ධනවාදී රත්තරන් බිජුවට විනාශ කරන්නට ඉඩ දෙන්න.... තොපි වගේ මාක්ස්ගේ පස්ස ලෙවකන කොමියුනිස්ට් කුක්කන්ට! උඹලාගේ සමාජවාදය මිලියන ගණනක් මරා දැම්මා පහුගිය ශතවර්ෂය පුරාම..."දක්ෂිණාංශික කුකුළා බෙරිහන් දුන්නේය.

"තොපේ... ඒකාධිපතිවාදය අමු අමුවේ මැරුවා මිලියන මිලියන ගණනක් අසරණ ජීවිත පහුගිය ශත වර්ෂයේ දී...!" වාමාංශික කුකුළාද බෙරිහන් දුන්නේය... 

ඒ මොහොතේ දී උන් එල්ලී සිටි කොකු රැඳවුනු දම්වැල ඇදී ගොස් කුකුල්ලු දෙන්නාම බිත්ති මුල්ලකින් වටයක් ගැසූහ. වාමාංශික කුකුළා, මුහුණට එල්ල වූ සුළං පහරකුත් සමග එය දැක්කේය...! 

"යන්තරය... යන්තරය...!"
"ඔන්න ඉතින් ආයෙමත්...!"
"නෑ නෑ... හැබෑවටමයි කියන්නෙ... හැරිල බලපන්... හැරිල බලපන්!"


හැරී බැළූ දක්ෂිණාංශික කුකුළා කුකුළන් එල්ලූ යකඩ දම්වැල අරලිය මල් ඇඳ විසිතුරුව පාට කර තිබූ විශාල යන්ත්‍රයක් තුළට ඇදී යන ආකාරය දැක්කේය. යන්ත්‍ර දොරටුවේ සවිකර තිබූ, ප්ලාස්ටික නළයකින් නොනවතින මල්ටි බැරල් තුවක්කුවකින් මෙන් කුකුළු හිස් ඉගිල වුත් අසල ඇති ප්ලාස්ටික් බාල්දිවල එකතු වෙමින් තිබුණි. තමන් සේන්දු වන්නා වූ හැරවුම් ලක්ෂ්‍යය පැහැදිලිව වටහාගත් දක්ෂිණාංශික කුකුළා මෙසේ කීය.

"දන්නවද, සමහර දේවල් ගැන ඔහේගේ අදහස් හරි වෙන්න පුළුවන්..."

"අන්න බලන්න මේ සහෝදරයා අවසානයේ දී මගේ ස්ථාවරය පිළිගත්ත හැටි" වාමාංශික කුකුළා කෑ ගැසීය. "දන්නවද ඒකෙ තේරුම... දන්නවද ඒකෙ තේරුම...? අපේ පැත්ත ජයග්‍රාහියි...!"

කුකුළන් දෙදෙනා ම එක විටම වාගේ DecapiPluk n’ Gut 2000™ යන්ත්‍රය තුළට පිවිසෙන විට තෘප්තිමත් සිනහවකින් උගේ මුව සැරසී තිබුණි. 

උපදේශය- 
දේශපාලන වර්ණාවලියේ ප්‍රතිවිරුද්ධ මතවාදී අන්ත වල සිටින්නමෝයි අදහන්නන් වුවද අවසානයේදී බොහෝ විට පොදු අභිමතාර්ථයක් කරා ලඟා වන්නෝය. 

[open.salon.com වෙබ් අඩවියේ පළ වූ The Ideological Chickensදේශපාලන උපමා කතාවේ පරිවර්තනය/ සිතුවම- John Lovett]

2 comments:

  1. අයි සේ, අපි හිතන්නේ ඒ කුකුල්ලු නිකං කොක්හඬලා කෑ ගහනවා කියලනේ. බලාඝෙන ගියාම උන ඒ දේශපාලන සංවාදවල තර්ක විතර්කවල නිරත වෙන සද්දේ නේ!

    ReplyDelete
  2. ඒ අනිත් පැත්තටත් වෙනවා, සමහර මහා දාර්ශනික සංවාද කුකුල්ලු අඩලනවා වගේ කිකිලියො කෙකර ගානවා වගේ ඇහෙනවා දැනෙනවා.

    ReplyDelete

Blogroll

About